
ෂර්ලි උපුල් කුමාර – බීබීසී සිංහල
.X-PRESS PEARL නෞකාවේ අනතුරින් පසු මියගිය කැස්බෑවන් 60කට වැඩි පිරිසකගේ, ඩොල්ෆින් හත් දෙනෙකුගේ සහ නිල් තල්මසෙකුගේ සිරුරු ශ්‍රී ලංකා වෙරළට ගොඩගසා තිබිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විමර්ශනයට ලක්වී තිබේ. ඒවා සම්බන්ධයෙන් වෙන වෙනම අධිකරණ නියෝග ලබා ගෙන අත්තිඩිය සහ උඩවලව පශු වෛද්‍ය ඒකක විසින් අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ මේ දිනවල සිදු කරනු ලැබේ.
මුහුදු ජීවීන් මිය යෑමට පටන් ගෙන දින ගණනාවක් ගතවුව ද එම මරණ වලට නිශ්චිත හේතුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ නැත.
දේශපාලනඥයන් සහ විද්වතුන් ඒ ගැන විවිධ අදහස් පළ කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසූ අදහසක් ගැන සමාජ මාධ්‍යවල වැඩි අවධානයක් යොමුව තිබේ.
‘වාරකන් කතාව’
බහාලුම් 1486ක් ප්‍රවාහනය කරමින් තිබියදී අනතුරට ලක් වූ X-PRESS PEARL නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 81ක් තිබිණි. ඉන් මුහුදට එකතු වී වෙරළට ගසා ගෙන ආ අපද්‍රව්‍ය, වැලි සමග ටොන් දහසක් පමණ මේ වනවිට එකතු කර තිබේ. ඒ අතර තිබූ කුඩා ප්ලාස්ටික් කොටස්, මිය ගිය මසුන්ගේ කරමල් සහ ශරීරය තුළ තිබිය දී සොයා ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ..
ඒ අතර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පළ කළ අදහසක් ජුනි 16 වැනිදා මාධ්‍ය ඔස්සේ මෙලෙස වාර්තා කර තිබුණි.
”අපේ පැත්තෙන්, වෙරළ සංරක්ෂණය පැත්තෙන්, ආරක්ෂා කිරීම පැත්තෙන් උපරිම වශයෙන් කටයුතු කරලා තියෙනවා. මුහුදේ සිද්ධවන දේ අපිට සම්පුර්ණයෙන් පාලනය කරන්න බෑ. මේ වාරකන් කාලේ බොහෝ අනතුරු වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම පරිසරවේදියෙක් නෙමෙයි. නමුත් මම දැක්කා සමහර පරිසරවේදීන් සමාජ ජාලා වල කියනවා, සමහරු මාත් එක්ක සෘජුවත් කියලා තියෙනවා වාරකන් කාලයට සත්තු අනතුරට ලක් වෙනවා. වාරකන් කාලයට ගොඩබිමට සතෙක් ගහගෙන ආවම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නේ නෑ. නමුත් මේ වෙලාවේ නැවේ අනතුර තියෙන නිසා හැම කෙනෙක්ම මේක සෘජුව සම්බන්ධ කරන්න බලනවා ඒකට. නමුත් මම හිතන්නේ වඩා සුදුසු දේ තමයි හොඳ දැනුවත් පරිසරවේදියෙකුගෙන් අහන එක මේක අසාමාන්‍ය තත්ත්වයක් ද කියලා ” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළේය.
මියගිය මුහුදු ජීවීන් මෙලෙස වාරකන් සමයේදී වෙරළට ගොඩගැසීම සාමාන්‍ය තත්ත්වයක් දැයි බීබීසී ය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය. එහිදී ඔවුන් පැවසුවේ මෙය වාරකන් කාලයේ සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර X-PRESS PEARL නෞකාවේ අනතුරෙන් පසු දක්නට ලැබෙන විශේෂ තත්ත්වයක් බවය.