
එක්සත් රාජධානියෙන් ආනයනය කළ සායනික අපද්‍රව්‍ය අඩංගු බහාලුම්වලට එරෙහිව 2019 ජූලි 22 දින පෙත්සම්කරුවන් විසින් මෙම මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුවක් ගොනු කරන ලදී. මෙම නඩුවේ පෙත්සම්කරුවන් ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ද, වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, Heyleys Free Zone (Pvt) Ltd, Ceylon Metal Processing (Pvt) Ltd සහ නීතිපති නම්කර ඇත.
මෙම නඩුවේ මූලික පරමාර්ථය වූයේ, 1992 දී ශ්‍රී ලංකාව පාර්ශවයක් වූ අපද්‍රව්‍ය සහ ඒවා බැහැර කිරීම පිළිබඳ අන්තර්ජාතික චලනයන් පාලනය කිරීම පිළිබඳ බාසල් සම්මුතියේ (Basel Convention on the Control of Transboundary Movements of Hazardous Wastes and Their Disposal) නියමයන්, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත, 1869 අංක 17 දරණ රේගු ආඥා පනත සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ උල්ලංඝනය කරමින් අනවසරයෙන් එක්සත් රාජධානියේ සිට ලංකාවට ආනයනය කරන ලද සායනික අපද්‍රව්‍ය, පාවිච්චි කරන ලද කුෂන් සහ මෙට්ට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වර්ගීකරණය නොකළ හා අන්තරායකර අපද්‍රව්‍ය සහිත කන්ටේනර් එවූ රට වෙතම ආපසු හරවා යැවීමයි. මන්ද එය අපගේ පරිසරයේ පැවැත්මට හානිකර විය හැකි අතරම රටේ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යයටද හානිදායක විය හැකි බැවිනි.
මෙකී අපද්‍රව්‍ය බහාලුම් නැවත මුල් රටට හරවා යැවීම සඳහා අදාළ පාර්ශවයන් සමඟ විධිමත් ගිවිසුමකට එළඹ එය අධිකරණයට දන්වා සිටින ලෙසත්, අදාළ අපද්‍රව්‍ය නැවත මුල් රටට හරවා යැවීම සඳහා හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙසත් 2020 මාර්තු 04 වන දින ගරු අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කරන ලදී.
ඒ අනුව 2017 සහ 2018 වසර තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද අපද්‍රව්‍ය බහාලුම් 242 ක් එවනු ලැබූ රට වෙතම ආපසු හරවා යැවීමටත්, අදාළ අපද්‍රව්‍ය බහාලුම් නීතිවිරෝධීව මෙරටට ගෙන්වීමට මුල් වූ සියලු පාර්ශවයන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බවටත් වගඋත්තරකරුවන් එකඟ වීමෙන් අනතුරුව පෙත්සම්කරුවන් විසින් 2020 ඔක්තෝබර් 14 වන දින නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී. මෙම නඩුවේ ප්‍රතිඵලයක් වශයෙන් අපද්‍රව්‍ය බහාලුම් සියල්ල නැවතත් මුල් රටට හරවා යැවීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව පියවර ගනිමින් සිටින බවට වාර්තා වේ.