ෆුකුෂිමා අත්දැකීම සහ ලෝක බලවතුන්ගේ පරිසර සංරක්ෂණය

නයනකේශී විජේකෝන් – divaina.lk

එම්. වී. පර්ල් එක්ස්ප‍්‍රස් නැව ගිනිගෙන මුහුදුබත් වීම නිසා ශ‍්‍රී ලංකාවට හා මුහුදු කලාපයට සිදුවූ හානිය තවමත් හරි හැටි ගණන් බලා නැත. ප්ලාස්ටික්, කෝස්ටික් සෝඩා, නයිටි‍්‍රක් ඇසිඞ් ඇතුළු රසායනික කර්මාන්ත පුරයක් බඳු වූ මෙම නැවෙන් සිදුවූ හානියෙන් කොටසක් අප දුටුවේ මුහුදු ජීවීන් රැුසක් මිය යෑම මගිනි. ඒ අනුව කැස්බෑවන් 275 කට වැඩි ප‍්‍රමාණයක්, තල්මසුන් 6 දෙනෙක්, ඩොල්පින් මසුන් 31 ක් ඉකුත් සතිය වනවිට මිය ගොස් ඇති බවට වාර්තා ලැබී තිබිණි.

කෙසේ හෝ මෙසේ සාගරයට සිදුවන රසායනික දූෂණය මගින් අප නොසිතන පරිදි වසර සිය ගණනක්, නැතහොත් පරම්පරා ගණනාවක් මුහුද හානියට ලක්වී අපට ඉමහත් සේවාවක් සලසන සාගරය දූෂණයේ තෝතැන්නක් බවට පත්වීම හා මළ මුහුදක් වීම වළක්වාලනු නොහැකිවනු ඇත. අප මෙසේ කියන්නේ ශ‍්‍රී ලංකාවේ සිදුවූ නෞකා අනතුර ගැන පමණක් සලකා නොවේ. බොහෝ රටවල සමුද්‍රය ආශ‍්‍රිතව සිදුවන හදිසි අනතුරු හේතුවෙන් සාගරය විනාශයට පත්වන අතර, තවත් විටකදී හිතා මතා සිදුකරන විනාශයන් නිසා සිදුවන සාගර දූෂණයද නිසාය. මීට ටික කලකට ඉහතදී සිදුවූ ලෙබනනයේ බීරූට් වාරයේ නෞකාවක පිපිරුම එවන් සිද්ධියකි.

එසේම, තවත් සමහර රටවල් මගින් හිතා මතා සිදුකරනු ලබන සාගර දූෂණයද අතිශය හානිකරය. අද ලෝකයේ බොහෝ රටවල් තම අපද්‍රව්‍ය එකතුකරන කසළ බැහැරලන ස්ථානය ලෙස සලකන්නේ මහා සාගරයයි. එසේ හෙයින් අති විශාල ප්ලාස්ටික් දූපත් රාශියක් සාගරයේ දක්නට ලැබේ. ඒ අතර තවත් එවන් විනාශකාරී සිද්ධියක් පිළිබඳව ජපානයෙන් අසන්නට ලැබේ. එනම්, මීට කලකට ඉහතදී විනාශ වූ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයෙන් අපවිත‍්‍ර ජලය ටොන් මිලියනයකට අධික ප‍්‍රමාණයක් පැසිෆික් මුහුදට මුදාහැරීමේ සැලසුමක් ජපානය අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විකිරණ අඩංගු මෙම අපවිත‍්‍ර ජලය පිරිපහදු කර තනුක කිරීමක් සිදුකර මෙලෙස සාගරයට මුදාහැරීම වියදම් අඩු කර ගැනීමේ අරමුණෙන් සිදුකරන්නක් බව කියනු ලැබේ. කෙසේ නමුත් චීනය සහ දකුණු කොරියාව මෙන්ම ජපානයේ දේශීය ධීවර ප‍්‍රජාවද මෙම කටයුත්තට දැඩි ලෙස විරෝධතා දක්වන බව සඳහන් වේ. න්‍යෂ්ටික ඉන්ධන සිසිල් කිරීම සඳහා භාවිත කරන ලද මෙම ජලස්කන්ධය සාගරයට මුදාහැරීමේ කටයුතු 2022 වර්ෂයේ ආරම්භ කරන බවට ටෝකියෝ මාධ්‍ය වාර්තා කර ඇත.

2011 මාර්තු 11වන දින ජපානයේ ඊසාන දිග වෙරළ තීරයේ රිච්ටර් මාපක 9.0ක භූමිකම්පාවක් සිදුවී මීටර් 15ක සුනාමියක් ඇතිවිය. මේ හේතුවෙන් ඇතිවූ පිපිරීම් නිසා ෆුකුෂිමා බලාගාරය විනාශයට පත්වී බලාගාරයේ ප‍්‍රතික‍්‍රියාකාරක ගොඩනැගිලිවලට හානි සිදුවිය. මෙහිදී සිදුවූ හානිවලින් සිසිලන පද්ධතියට බිඳ වැටීමට ලක්විය. මෙම උණුසුම් වූ ප‍්‍රතික‍්‍රියාකාරක සිසිල් කිරීම සඳහා ජලය ටොන් මිලියනයකට වඩා භාවිත කර ඇති බව වාර්තා වේ.

එම අප ජලය මෙසේ සාගරයට මුදාහැරීමට පෙර විකිරණශීලී මූලද්‍රව්‍ය ඉවත් කරන සංකීර්ණ පෙරීමේ ක‍්‍රියාවලියකට ලක්කරනු ලබයි. නමුත් ටි‍්‍රටියම්ද ඇතුළුව විකිරණශීලී මූලද්‍රව්‍ය තවදුරටත් මේ අපජලයේ අඩංගු බව කියනු ලැබේ. මෙම මූලද්‍රව්‍ය මිනිසුන්ට හානිකර යැයි සලකන්නේ ඉතා විශාල මාත‍්‍රාවලින් පමණක් අඩංගු වුවහොත් බව ඇතැම්හු සඳහන් කරති.

මේ වන විට විශාල ටැංකිවල මෙම අපජලය ගබඩා කර ඇති බවත්, මෙම කම්හලේ මෙහෙයුම්කරු ලෙස සැලකෙන ටෝකියෝ විදුලිබල සමාගම (ටෙප්කෝ* සඳහන් කරන්නේ එම ටැංකිවල ධාරිතාව ඉක්මවන්නට ආසන්න බවයි. මෙම ටැංකි 2022 වන විට සම්පූර්ණයෙන් පිරී යනු ඇති බවද කියනු ලැබේ.

රොයිටර් වාර්තාවකට අනුව විකිරණශීලී ජලය ටොන් මිලියන 1.3ක් පමණ එනම් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක භාවිතයට ගන්නා පිහිනුම් තටාකවල ධාරිතාව මෙන් 500ක් පමණ වන පිහිනුම් තටාක පිරවීමට ප‍්‍රමාණවත් අපජලය මෙහි පවතියි.

ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයෙන් හානි වැළැක්වීම සඳහා ආරම්භයේදී උපස්ථ පද්ධතියක් ක‍්‍රියාත්මක කරන ලදී. භූමිකම්පාවෙන් බලාගාරයට ඇතිවිය හැකි අනතුර යම්තාක් දුරට වළක්වා ගැනීමට හැකි වුණත්, සුනාමියෙන් තවදුරටත් හානි සිදුවිය. ඉන්පසු සිසිලන පද්ධති අක‍්‍රිය වීම නිසා විකිරණශීලී මූලද්‍රව්‍ය ටොන් ගණනක් මුදාහරින්නට සිදුවිය. මෙම සිදුවීම, 1986 රුසියාවේ චර්නොබිල්වල න්‍යෂ්ඨික බලාගාරයක සිදුවූ විකිරණ කාන්දුවෙන් සිදුවූ අනතුරෙන් පසු සිදුවූ දරුණුම න්‍යෂ්ඨික අනතුර ලෙස සැලකෙයි. භූමිකම්පාවෙන් හා සුනාමියෙන් පුද්ගලයන් 18,500ක් පමණ මියගොස් හෝ අතුරුදන් වූ අතර, 160,000කට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි විය.

ග‍්‍රීන්පීස් වැනි ජාත්‍යන්තර පාරිසරික කණ්ඩායම් මෙලෙස විකිරණශීලී අප ජලය සාගරයට මුදාහැරීම පිළිබඳව දිගුකලක් තිස්සේ විරෝධය පළකරමින් සිටී.

ජපාන රජය මෙලෙස හානිකර අපජලය මුදාහැරීමේ සැලසුමක් ක‍්‍රියාත්මක කරමින් පරිසර සංරක්ෂණය පිළිබඳ සිය අසාර්ථක බව ප‍්‍රදර්ශනය කරන බව එරට රාජ්‍ය නොවන සංවිධානද චෝදනා කරමින් තිබේ. ජපාන ධීවර ප‍්‍රජාවද ඊට එරෙහිව කරුණු දක්වා ඇති අතර, මුහුදු ආහාර පරිභෝජකයන් කලාපයෙන් නිෂ්පාදන මිලදී ගැනීම ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි පැවසේ. 2011 සිදුවූ ෆුකුෂිමා ව්‍යසනයෙන් පසු ජපානයේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය. විශේෂයෙන් ජපානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදෙන් අල්ලාගන්නා මත්ස්‍ය ආහාර තම රටවල්වලට ආනයනය කිරීම බොහෝ රටවල් විසින් තහනම් කරනු ලැබීය.

මේ නිසා ජපානය විසින් මෙලෙස විකිරණශීලී අපද්‍රව්‍ය සාගරයට මුදාහැරීමට ගෙන ඇති තීරණය මගින් නැවත එහි සාගරය දූෂණයට හා විස වීමට ලක්වන බැවින් ජපානයේ අසල්වැසියන්ගේ විවේචනයටද හේතු වී තිබේ. මෙම තීරණයට පෙර දකුණු කොරියාවේ විදේශ ඇමැතිවරයාද ඒ පිළිබඳව තම දැඩි නොසතුට ප‍්‍රකාශ කර තිබිණ. චීන විදේශ දඅමාත්‍යාංශයේ ප‍්‍රකාශක ෂා ඕ ලිජියන්ද ජපානයෙන් ඉල්ලීමක් සිදුකරමින් සඳහන් කර තිබුණේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි. එසේම මේ පිළිබඳව ඔහුගේ කනස්සල්ලද ප‍්‍රකාශ කර තිබිණ.

‘‘සාගරය ජපානයේ කසළ බහාලන ස්ථානය නොවේ. පැසිෆික් සාගරය ජපානයේ මළාපවහන පද්ධතිය නොවෙයි. ලෝකයම මේ නිසා වන්දි ගෙවිය යුතු නැහැ. ජපන් බලධාරීන් කියනවා නම් මේ අපජලය බීමට සුදුසු ජලයේ තත්ත්වය දක්වා පිරිපහදු කරන බවට, මුලින්ම කළ යුත්තේ ඔවුන් ඒවා භාවිත කර පෙන්වීමයි.” යනුවෙන් ඔහු ට්විටර් පණිවුඩයක් තබමින් පවසා ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදය ජපානයේ මෙම තීරණයට සහාය දක්වන ආකාරයක් පෙන්නුම් කෙරෙයි.

ජපානය තර්ක කරන්නේ විකිරණශීලී මූලද්‍රව්‍යයන් සියල්ලම පාහේ ඉවත් කිරීමට කටයුතු කරන බැවින්, අපජලය මුදාහැරීම ආරක්ෂිත කටයුත්තක් වන බවයි. විශේෂයෙන් අපජලයේ විකිරණ ඉවත් කරමින් බොහෝ දුරට තනුක කිරීමට ලක්කරන බවද ඔවුන් සඳහන් කරයි. මෙම සැලැස්මට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහාය ලැබී ඇති බවක් පෙන්නුම් කෙරෙන අතර, අපජලය මුදාහැරීම ලොව පුරා වෙනත් බලාගාරවල සිදුකරන අපජලය බැහැර කිරීම්වලට සමාන බවද පවසා තිබෙයි.

‘‘මෙලෙස අපජලය සාගරයට මුදාහැරීම වෙනත් තැන්වලත් සිදුකරනවා. එය ලෝකයට අලූත් දෙයක් නොවේ. මෙහි කිසිදු අලූත් තත්ත්වයක් නොමැත.” යනුවෙන් ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝග්‍රොසි මේ සඳහා හූමිටි තබා ඇත. තවද මේ පිළිබඳ විද්‍යාඥයන් තර්ක කරන්නේ ජලයේ ඉතිරිව ඇති මූලද්‍රව්‍ය මිනිසුන්ට හානි කරවන්නේ විශාල මාත‍්‍රාවලින් පමණක් බවයි. තනුක කරමින් පිරිසුදු කළ ජලයේ විද්‍යාත්මකව හඳුනාගත හැකි අවදානමක් නොමැති බවද ඔවුහු පවසති.

කෙසේ නමුත් මෙලෙස තනුක කරනු ලබන අපජලයේ අඩංගු ටි‍්‍රටියම් විකිරණශීලී වන අතර, එහි ආයු කාලය අවුරුදු 12ක් පමණ බව පැවසෙයි. එයින් අදහස් වන්නේ එය සියවස් ගණනාවකට පවතින්නකට වඩා දශකයකින් පමණ පරිසරයෙන් ඉවත් වනු ඇති බවයි.

ටි‍්‍රටියම්වලින් ලැබෙන විකිරණ ශරීරගත වීමේ අවදානමක් පවතින්නේ මත්ස්‍ය ආහාර හරහායි. එය ආහාරදාමයට ඇතුළු වී මුහුදු ආහාර පරිභෝජනය මගින් ශරීරගත වීමේ හැකියාවක් පවතින්නේද යන අවදානම ගැන සැලකිලිමත්වීම වටිනා කාරණයක් බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙහි අවදානම ශුන්‍ය නොවන නමුත් විද්‍යාත්මක එකඟතාව නම් එය මිනිස් සෞඛ්‍යයට තර්ජනයක් නොවනු ඇති බවටද තවත් පිරිසක් පෙන්වා දෙති. 1940, 50 සහ 60 දශකවල එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප‍්‍රංශය විසින් සිදුකරන ලද න්‍යෂ්ඨික අවි පරීක්ෂණ මගින් විශාල වශයෙන් විකිරණ පැසිෆික් කලාපයට මුදාහැර ඇති බවද මේ අතර විද්‍යාඥයෝ උදාහරණ සහිතව පෙන්වා දෙති. එනම්, ඔවුහු ජපානයේ කටයුත්ත සාධාරණය කරති.

කෙසේ හෝ ලොව බලවත් රටවල් මෙලෙස විකිරණශීලී අපද්‍රව්‍ය සාගරයට මුදාහරිමින් සමස්ත ලෝකයට ලබාදෙන්නේ වැරදි ආදර්ශයකි. මන්දයත් බලවත්කම නිසාම ඔවුන්ට සියලූම දේවල් සිදුකරමින් ලෝක සම්මුති බිඳ දමමින් කටයුතු කරනු ලැබේ. ජපානය එසේ සිදුකරන්නට යන්නේ දෙවැනි ලෝක යුද්ධයේදී පරමාණුක බෝම්බයකින් හොඳටම බැටකා අත්දැකීම් ලබා ඇති රටක් විදිහට වීමද විශේෂත්වයකි.

දැන දැන කරන මේ විනාශයට ඉඩ දෙන්න බැහැ…

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරය අනතුරට ලක්වීමෙන් අනතුරුව එහි මෙතෙක් සිසිලනය සඳහා භාවිතා කරපු ජලය මුහුදට මුදාහැරීමේ සූදානමක් තියනවා. ඒ කටයුත්ත නිවේදනය වී තිබෙනවා. මේ සඳහා රටවල් කිහිපයකින්

වගේම, සිවිල් (පාරිසරික) සංවිධාන ගණනාවකින් දැනටමත් විරෝධතා එල්ල වී තිබෙනවා. ඒ වගේම, මම නියෝජනය කරන ‘‘ෆ්‍රෙන්ඞ්ස් ඔෆ් ද අර්ත් ඉන්ටර්නැෂනල්” සංවිධානයේ ජපන් ශාඛාවත් විරුද්ධත්වය දක්වා තිබෙනවා. ඒ සඳහා ඔවුන් ජපන් රජයට හා එහි බලධාරීන්ට ලබා දීම සඳහා විරෝධතා ලියවිල්ලක්ද අත්සන් කරනු ලැබුවා. ශ‍්‍රී ලංකාවේ පරිසර සංවිධානයක් ලෙස අපිත් ඊට අත්සන් තැබුවා. ඒ වගේම, ශ‍්‍රී ලංකාවේ පරිසර යුක්ති කේන්ද්‍රයත් පරිසර සංවිධානයක් ලෙස ජපානයේ මෙම කටයුත්තට විරෝධතාව පළකර තිබෙනවා.

ෆුකුෂිමා බලාගාරය හානියට ලක්වූ මොහොතේ ඇතිවූ න්‍යෂ්ඨික දූෂණය එදා මෙක්සිකෝ කලාපය දක්වා පැතිර

ගියා. එනම්, මුහුදේ විකිරණ මට්ටම ඉතා ඉහළ ගියා. එවන් අත්දැකීම් තිබියදී එම බලාගාරය ළඟ එකතුවී ඇති ජලය මුහුදට එකතුකරන එක ඇත්තටම ප‍්‍රශ්නයක් තමයි. මේ සම්බන්ධව ජපානය තුළින්ම විරෝධතා ඇතිවී තිබෙනවා. ඒ සඳහා අපගේද සහාය පළකරනවා.

ඇත්තටම විකිරණශීලී ද්‍රව්‍ය මිශ‍්‍ර වුණු ජලය මුහුදට මුදා හැරීමෙන් යළිත් මුහුදු ජෛව විවිධත්වයට ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මසුන්ට හානි වෙන්න පුළුවන්. මේ දේ දැන දැනම ඊට අවස්ථාව දෙන්න බැහැ. ඒ සඳහා තමයි අපි මැදිහත් වී සිටින්නේ.

නයනකේශී විජේකෝන්

මුල් ලිපිය කියවන්නන

Chandana Sesath Jayakody

Read Previous

හක්කපටස් ඇතින්නකට මරු කැඳවලා

Read Next

ජලජ ගුවන් ධාවන පථ හදන්න තැන් 150 සොයාගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »