Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ද අර්ත් – FOE ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවේ හේමන්ත විතානගේ ට !

ලොව පුරා රටවල් 75 කට ආසන්න ප්‍රමාණයක පාරිසරක සංවිධාන එකතුවකින් සැදුම්ලත් ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් අර්ත් ජාත්‍යන්තර සංවිධානයෙහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන හේමන්ත විතානගේ මහතා තේරී පත් වී ඇත.2016 වසරේ සිට මෙම 2021 දක්වා පිට පිට දෙවතාවක් මෙම සංවිධානයේ සභාපති තනතුර දැරූ උරුගුවේ ජාතික කැරින් නැන්සන් මහතාගේ ධුර කාලය 2021 ජුනි මාසයේදී අවසන්වීමෙන් පසු Friends of the Earth සංවිධානයේ සභාපති තනතුරට තේරී පත්වූ හේමන්ත විතානගේ මහතා මේ දක්වා එම තනතුරට තේරීපත්වූ එකම ශ්‍රී ලාංකිකයා ද වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාරිසරික සංවිධානයක් වන පරිසර යුක්ති කේන්ද්‍රයේ සමාරම්භකයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වන ඒ මහතා එහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඉතා මෑතක් වනතුරුම කටයුතු කලේය. ශ්‍රී ලාංකික පරිසර ක්ෂේත්‍රයේ සිදුවූ අද්වීතීය ක්‍රියාන්විතයන් මෙන් ම පූර්වාදර්ශී සහ ඉතිහාසගත නඩුතීන්දු රාශියක් ද රටට තිලිණ කිරීමට දායකවූ ඒ මහතා FOE ජාත්‍යන්තර සංවිධානයේ සභාපති තනතුර සඳහා ඒකච්ඡන්දයෙන් පත්වීම ද සුවිශේෂත්වයකි.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන හේමන්ත විතානගේ 1990 දී පරිසර පදනමේ පාරිසරික නිලධාරියෙකු ලෙස සිය දීර්ඝ කාලීන පරිසර සටනට අවතීර්ණ විය . 2004 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ දැනට වඩාත්ම දෘශ්‍යමාන පරිසර සංවිධානය වන පරිසර යුක්ති කේන්ද්‍රය – CEJ ආරම්භ කළේය. 2005-2008 දක්වා ආසියානු සංවර්ධන බැංකුව අධීක්ෂණය කරන සිවිල් සමාජ සංවිධාන ජාලයක් වන පිලිපීනය පදනම් කරගත් NGO Forum on ADB හි විධායක අධ්‍යක්ෂක ලෙස හේමන්ත විතානගේ මහතා කටයුතු කළ අතර කිහිප වතාවක්ම එම සංවිධානයේ ජාත්‍යන්තර කැඳවුම්කරු ලෙස ද තේරී පත් විය. වෙනත් කලාපීය හා ජාත්‍යන්තර ජාල ගණනාවක විධායක නායකත්ව තනතුරු හෙබවූ ඔහු පාරිසරික යුක්තිය උදෙසා අරගල කරන දේශීය සහ ජාත්‍යාන්තර සංවිධාන ගණනාවකම පෙරටුගාමී ක්‍රියාධරයෙකි

“පරිසර දූෂකයන්ට සහ ස්වාභාවික සම්පත් සූරාකන්නන්ට එරෙහි සටනට පුරා වසර 50 ක් තිස්සේ නායකත්වය දෙන ලෝකයේ විශාලතම බිම් මට්ටමේ පාරිසරික සංවිධානයේ සභාපති ලෙස තේරී පත්වීම මට ඉමහත් ගෞරවයකි. ඉදිරි වසර දෙක සඳහා මගේ ප්‍රමුඛතාවය වන්නේ අපගේ දැක්ම හා මෙහෙවරට අනුකූලව සාධාරණ සමාජයක් සඳහා සටන් කරන ලොව පුරා සංවිධාන සහ ප්‍රජාවන් සමග ශක්තිමත් බැඳීමක් ඇතිකරගනිමින් අපගේ අරමුණු සහ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම උදෙසා ක්‍රියාකාරව කටයුතු කිරීමයි. ” යනුවෙන් ඔහු ප්‍රකාශකල බව ජාත්‍යාන්තර වෙබ් අඩවි වාර්තාකරයි.

වර්තමාන ගෝලීය පාලනය සහ බල පද්ධතීන් එවන් යහපත් සමාජයක් කරා යාමට බාධා කරයි. ලෝකය තිරසාර නිෂ්පාදන හා පරිභෝජන මට්ටම් ඉක්මවා යමින් සිටින අතර පාරිසරික ගැටළු විසඳීමෙහි ලා කඩිනම් ක්‍රියාශීලීත්වයකින් හා ප්‍රමාණවත් කැපවීමකින් යුතුව දායකවීමට බොහෝදෙනා අසමත්ව සිටිති. ගෝලීය කෝවිඩ් -19 වසංගතය මගින් වර්තමාන පාරිසරික, සමාජ-ආර්ථික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසාධාරණයන් තවදුරටත් හෙළිදරව් කර තිබෙන අතර අපගේ ආහාර පද්ධතින් සහ ස්වාභාවික සම්පත් පාලනය පැහැර ගැනීම මෙන්ම ඒවා සඳහා ව්‍යාජ විසඳුම් ලබාදීමට යෑම හේතුවෙන් සහ දේශගුණික විපර්යාස හා ජෛව විවිධත්ව පිළිබඳ අර්බුද වඩාත් උග්‍ර සහ නරක අන්තයන් කරා තල්ලුකර දමා ඇත. මෙම ගැටළු විසඳීම සඳහා වඩාත් අවංක හා අර්ථවත් උත්සාහයක් ගෝලීය ආයතනවලින් සහ ජාතික රාජ්‍යයන් වෙතින් අවශ්‍ය වේ. සමස්ත පද්ධතීයේ වෙනසක් සිදුකිරීමෙන් තොරව මෙය සිදුකල නොහැක. ඒ උදෙසා ක්‍රියාකරන ප්‍රජාවන් සහ සංවිධාන සමඟ ජාත්‍යන්තර සහයෝගිතාව ගොඩනැගීමට දිගින් දිගටම කටයුතු කරන බව Friends of the Earth සංවිධානය හේමන්ත විතානගේ මහතාගේ පත්වීම වෙනුවෙන් නිකුත් කල පුවත්පත් නිවේදනයේ සඳහන්වේ.

Chandana Sesath Jayakody

Read Previous

Hemantha Withanage elected as new chair of Friends of the Earth International

Read Next

කාබනික පොහොර සටනට ඉන්දීය සහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!