හාල් මිල වැඩිවීමේ ප්‍රධාන සාධකය

lankadeepa.lk

මෙරට අඥාන, ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලකොට කියා හෝ කෘෂිකර්මාන්තයට අදාළ තීරණ තාර්කික අයුරින් නිසි වෙලාවට ගත යුතු බව ඔවුන්ට ඒත්තු ගන්වන්නට නොහැකි වීම ගැන මෙරට මිලියන විසිදෙකක් වූ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂයෙන් ගොවි ප්‍රජාව වෙනුවෙනුත් මා ගැනමත් දැනෙන්නේ දැඩි සංවේගයක් මෙන්ම ලජ්ජාවකි. අවම වශයෙන් 1948 නිදහස දිනාගත් දා පටන් (මදකට අනෙකුත් ආර්ථික අංශ පසෙක තැබුවහොත්) මේ දක්වා අත්විඳි වඩාත් විනාශකාරීම වූ තත්ත්වයක් කරා මේ වනවිට අප රටේ කෘෂිකර්මාන්තය ගමන් කරමින් සිටියි.

කෘෂිකර්මාන්තයට වඩාත් වැදගත් මූලිකම යෙදවුම් දෙකක් වන පළිබෝධ නාශක හා කෘත්‍රිම පොහොර වර්ග ආනයනය තහනම් කරන්නට 2021 අප්‍රේල් 27 වැනිදා රජය ගත් අතිශය අවාසනාවන්ත ආසර්ථක  තීරණ හමුවේ ශ්‍රී ලංකාවේ ඇතැම් විද්වත්හු විද්‍යාඥයෝ සමාජ ක්‍රියාකාරීහු හා ගොවීහු සිය කනස්සල්ල පළ කරමින් හඬ නැගූහ.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට යම් නෛතික පසුබිමක් 2021 මැයි 6 වැනිදා නිකුත් කළ (අංක 2226/48) ගැසට් නිවේදනයෙන් ලැබිණි. එම ආනයන තහනම බල පැවැත්වූයේ මින් පෙර (2021) යල කන්නය ආරම්භ කළ විගසමය. ඒ වනවිට කෘෂි රසායන යම් ප්‍රමාණයක් හා රසායනික පොහොර යම් ප්‍රමාණයක් ආනයනය කර තිබිණි. 2020/21 මහ කන්නයේත් ඉතිරි වී තිබුණු යම් රසායනික පොහොර ප්‍රමාණයක් වී නම් සහ පසුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා අනෙක් අය දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ආනයනය කළ රසායන පොහොර තිබුණි නම් ඒවා (2021) මින් පෙර යල කන්නයට උපකාරී විය.

2021 වසරේ මුල වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව GAP (Good Agricultural Practices – යහපත් කෘෂි පැවතුම්) සහතික කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට සියලු සැළසුම් යොදා තිබිණි. එසේම  ජාතික අස්වනු ඵලදායිතාව නැංවීම උදෙසා නිශ්චිත කෘෂිකර්ම තාක්ෂණික ක්‍රම ජනප්‍රිය කිරීමේ වැඩසටහන්ද සැලසුම් කොට සූදානම්ව  පැවතුණේය. 1948 නිදහස ලබා ගත් දා පටන් දශක හතකට වැඩි කාලයක් තිස්සේ  වර්ධනය කරගනු ලැබූ විද්‍යාත්මක පර් යේෂණ හා අත්දැකීම් අනුව වසරකට පෙර කාලය දක්වා රටේ කෘෂිකර්මාන්තය යම් දැක්මක් වෙත දිශාවකට ඉදිරියට යමින් තිබිණි. එහෙත් ගනු ලැබූ මුළුමණින්ම විද්‍යාත්මක නොවූ  තීරණය හේතුකොටගෙන ඒ සියල්ලේ ප්‍රගතියට දරුණු පහරක් එල්ල වූයේය. එම අනුවණ තීරණය ගැනීමේදී විදේශ විනිමය හිඟවීම පිළිබඳ කාරණය ඉදිරියට දැමුවේ නැත. මෙම රජයේ කාලය තුළදී  කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කරන අවස්ථාවේ මෙම රචකයා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පත් කළ 13 දෙනාගෙන් යුක්ත කමිටුවේ එක් අයෙක් විය. එහිදී රටේ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි කෘෂිකර්මාන්තයෙන් උපරිම දායකත්වය ලබා දෙනු සඳහා තාක්ෂණික පැකේජය ලෙස හුවා දක්වනු ලැබුවේ GAP වැඩසටහනයි.

2008 වර්ෂයේ පටන් ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය ස්ථාවර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කළ අතර අපට පරිභෝජනය කළ හැකි ප්‍රමාණයටත් වඩා රටේ සහල් නිෂ්පාදනය වන ප්‍රවණතාවක් ඇතිවී තිබුණි. 2008 සහ 2011 යන ලෝක ආහාර අර්බුද දෙකේම ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයක පසූ වූයේය. 2010 සිට 2019 දක්වා ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයේ දකුණු ආසියානු රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉහළම ස්ථානයේ වැජඹුණේය. එවකට සමස්ත අවශ්‍යතාවෙන් සහල් ආනයනය කළ ප්‍රමාණය සියයට 1ක් විය. එවැනි ආනයන ප්‍රධාන වශයෙන් කළේ  සංචාරක කර්මාන්තය හා බාස්මතී වැනි විශේෂ සහල් වර්ග මිලදී ගැනීමේ ක්‍රය ශක්තිය ඇති පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සඳහාය.

කෙසේ වුවද 2016 සහ 2017 වර්ෂවල දේශගුණ වෙනස්වීම් අපගේ කෘෂිකර්මාන්තයට අහිතකර ලෙස බලපෑවේය. සමහර විට 1948 න් පසුව පැමිණි දරුණුම  නියං සමය යයි කිව හැකි නියං සමයකට රට මුහුණ පෑවේය. පිට පිට මහ කන්න තුනක් අසාර්ථක වූ අතර එවකට සිටි රජය රටේ සහල් අවශ්‍යතාවට මුහුණ දීම සඳහා මෙට්‍රික් ටොන් 700000 පමණ ආනයනය කළේය. 2017 සම්පූර්ණ අවශ්‍යතාවෙන් සියයට 29ක් පමණ (මාස තුනහමාරක් සම්පූර්ණ රටේ පරිභෝජනය උදෙසා) ආනයනය කරන්නට සිදුවිය. ශ්‍රී ලංකාව 2018 වනවිට යළිත් යථාතත්ත්වයට පත්වී නැවත වරක්  අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නිෂ්පාදනය විය. එම ප්‍රවණතාව පසුගිය 2021 වසරේ යල කන්නය දක්වා නොකඩවා පැවතුනි. වී වගාව සඳහා 2021 වසර අති විශේෂ වසරක් විය. අපට වඩාත් හොඳ අස්වැන්නක් එම වසරේ ලැබුණේය.

2021 දී 2020-21 මාස් කන්නයෙන් මෙ.ටොන් 3061394 ක අස්වැන්නක් ලැබුණු අතර 2021 යල කන්නයෙන්  මෙ.ටො. 2088486ක අස්වැන්නක් ලැබිණි.  ඒ අනුව මුළු වාර්ෂික අස්වැන්න මෙ.ටො. 5149880 ක් වූයේය. 2021 සහල් අස්වැන්න ඉහළ යාමට සාධක බොහෝමයක් බලපෑවේය. 2020 ලොක් ඩවුන් කිරීම් තිබුණද ශ්‍රී ලංකා රජය ගොවි ප්‍රජාවට ඔවුන්ගේ කුඹුරුවල නිදහසේ වැඩ කරන්නට ඉඩ දුන්නේය. එය ඉතාමත් හොඳ පියවරක් විය. මෙම තීරණය කලට වේලාවට කෘත්‍රිම පොහොර  හා කෘෂි රසායන (පළිබෝධ නාශක ආදිය) කෘෂි යෙදවුම් පැවතීම යන සාධකය සමග එක්වූයේය. ඊට විද්‍යාඥයන්ගේ බුද්ධිමතුන්ගේත් දායකත්වය ලැබුණු අතර විශේෂයෙන් ගොවි ප්‍රජාව ඒ වනවිට පැවති යථාර්ථය හොඳින් අවබෝධ කර ගත්හ. 2021 අප්‍රේල් 27ට පෙර ගත් ප්‍රතිපත්තිමය තීරණ, 2021 දී බොහෝ දුෂ්කර බෝගවලින් හොඳ අස්වැන්නක්  ගන්නට දායක වූයේය.

එහෙත් මේ වනවිට 2021-22 මාස් කන්නයේ  ශ්‍රී ලංකාවේ සහල් අස්වැන්න සාමාන්‍ය මාස් කන්නයක අස්වැන්නට වඩා සියයට 40-45 පහත වැටීමක් පෙන්නුම් කරයි. මෙම අස්වනු පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ දේශපාලනඥයන් විසින් ප්‍රතිපත්ති නියාමනය අනුව මුළුමනින්ම කෘත්‍රිම පොහොරවලින් කාබනික පොහොර වෙත මාරුවීමය. ඝන හෝ ද්‍රව කාබනික පොහොර බෝග  මත ක්‍රියාකාරීවන ආකාරයක් නිවර්තන පරිසරය තුළ කාබනික ද්‍රව්‍යවලට අත්වන ඉරණමත් දැන දැනම කාබනික  පොහොරවලින්  පමණක් බෝගයක් එක් එක් වර්ධිත අවස්ථාවේ නිවැරදි පෝෂණ ප්‍රමාණය ලබාදිය නොහැකි වූ විට ලැබෙන අනිවාර්ය  ප්‍රතිඵලය මෙයයි. විද්වතුන්ටත් කෘෂි විද්‍යාඥයන්ටත් මෙම අස්වැන්න ලැබෙන බව කල්තියා පුරෝකථනය කිරීම අසීරු කටයුත්තක් නොවූවද ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ ඔවුන්ගේ සමීපතමයෝ පිළිබඳව සලකා නොබැලුවෝය.

2020-21 මහ කන්නයේදී බඩඉරිඟු නිෂ්පාදනය හොඳින් සිදුවූ අතර මෙ.ටොන් 415000කට වඩා ලැබිණි. 2021 යල කන්නයේදී ද මෙ.ටෙ. 50,000කට නිෂ්පාදනය විය. කෙසේ වුවද 2021-22 මාස් කන්නයේදී ද කෘත්‍රිම පොහොර හා පළිබෝධ නාශක නොමැතිවීම හේතුවෙන් බඩඉරිඟු  අස්වැන්න විනාශ වී ගියේය. විද්‍යාඥයන් සහ එම වෘත්තියේ නියැලුණු අය මාස් කන්නයේ බඩඉරිඟු නිෂ්පාදනය කිලෝග්‍රෑම් 60,000ක් පමණක් බව පුරෝකථනය කර තිබේ. එය 2020-2021 මාස් කන්නයේ ලැබූ අස්වැන්න හා සසඳා බැලූ විට දැවැන්ත පහත වැටීමකි.

සත්වාහාර කර්මාන්තයට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා බඩඉරිඟු ආනයනය කිරීමට නෙබෝදා රජය තීරණය කළේය. දේශීය වෙළඳපොළේ නිරන්තරයෙන් ඉහළ යන කුකුල් මස් මිල ඉහළ යන නිෂ්පාදන වියදමට දෙස් දෙන්නකි. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ සත්ව ආහාර හිඟයක්, සත්වාහාර සැකසීමට අවශ්‍ය යෙදවුම් මිල ඉහළ යාමත්ය.

අතාර්කික අයුරින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයට ගෙවන්නට සිදුවී ඇති වන්දියේ තරම මෙයින් පෙනී ගියේය.

තේ වගා අංශයේ කටයුතු අගේට සිදුවෙමින් තිබුණි. 2021 සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 299ක් වූයේ පැවැති කාලගුණ තත්ත්වයට හා යම් කෘත්‍රිම පොහොර තොගයක් ආනයනය කරන්නට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගත් වෑයමට පින්සිදු වෙන්නටය. 2020 වසර හා සැසඳූ විට තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙසේ කිලෝග්‍රෑම් මිලියන 21ක වැඩිවීමක් සිදූවයේ ඉහත කී අවාසනාවන්ත තීරණය බලපැවැත්වීමට පෙර අවුරුද්දේ පළමු මාස පහේදීය.

අවුරුද්දේ පසු භාගයේදී පසුගාමී අත්දැකීම විඳින්නට සිදු නොවූයේ නම් අපට පහසුවෙන්ම තේ කිලෝ ග්‍රෑම් මිලියන 320ක නිෂ්පාදන ඉලක්කට යා හැකිව තිබණි. අපේක්ෂා භංග වූවා පමණක් නොව 2021 අවසාන මාස 3 තුළ නිෂ්පාදන කරනු ලැබුවේ තේ කිලෝග්‍රෑම් මිලියන 12කට  පමණ ප්‍රමාණයකි. අප ඩොලරයක අවම මිලට ඒවා අලෙවි කළ හැකිවෙයි. ශ්‍රී ලංකා තේවල ගුණාත්මක බව අවතක්සේරු කරන්නට නොව ගණන් බැලුවත් 2021 අවසන් මාස තුනේ අපට පමණක් විදේශ විනිමය, ඩොලර් මිලියන 25ක් උපයා ගත හැකිව තිබුණි. ඒ කතාව එතැනින් නිමා වන්නේ නැත. 2022 පෙබරවාරියේ තේ නිෂ්පාදනය 2020 පෙබරවාරි මාසයට වඩා සියයට 20කින් පහත වැටී 2009 (කි.ග්‍රෑම් 12.8) වර්ෂයෙන් පසුව වාර්තාවූ අවම නිෂ්පාදනය බවට පත්වූයේ  කිලෝග්‍රෑම් මිලියන 18.16 ලැබෙමින්ය.

කෘතිම පොහොර හා පළිබෝධ නාශක ආනයනය කිරීමේ තහනම අවසානයේ 2021 නොවැ. 30 වැනිදා 2256/23ගැසට් පත්‍රයෙන් ඉවත් කරන ලදී. කෙසේ වුවද ලෝක වෙළඳ පොළේ කෘෂි යෙදවුම් ඉහළ යන්නට පෙර නිසි කලකට ඒවා ආනයනය කිරීමට තිබූ අවස්ථාව අපට මග හැරුණේය. අපගේ ප්‍රතිපත්ති සම්පාදකයෝ, ගොවි ප්‍රජාව, බුද්ධිමතුන්, විද්‍යාඥයන් ආදී සියල්ලන්ටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂි ආර්ථිකය අනෙකුත් පර් යේෂණ ආයතන, සහ රටේ දශක ගණනාවක් පුරා ආහාර හා සත්ව ආහාර නිෂ්පාදනය  අත් කරගත් ප්‍රගතිය ආදී සියල්ලටත් පිටුපෑවෝය. ඒ නිසා මුදල් කන්දරාවක් නැති නාස්ති විය. සිදුවූ පාඩුව නැවත පියවා ගත නොහැකි තරම්ය.

මේ සිදුකළ පාපයෙනුත් දෝෂයෙනුත් ගැලවී අතසෝදා ගැනීමට ගත හැකි හොඳම පියවර ගොවීන්ට වන්දි ගෙවීම යයි ඇතැම්හු සිතති. 2020 දී ශ්‍රී ලංකාව පුරා මුළු වසරටම කෘත්‍රිම පොහොර ආනයනය කරන්නට වැයවූ මුළු වියදම රුපියල් බිලියන 36ක්ම තිබියදී මහ කන්නය උදෙසා පමණක් වී වගාකළ ගොවියන්ට රුපියල් බිලියන 40ක් ගෙවා දැමීම කිසිවකුට ආඩම්බර විය හැක්කක් නොවන්නේය. එය ආර්ථිකය හා සමස්ත ක්‍රමයම නොසලකා හැරීම පිළිඹිබු වන කදිම උදාහරණයකි. සියලුම අනිවාර්ය අහිතකර බලපෑම් තිබියදී රජය 2022 යල කන්නය තුළදී ද එම මූලධර්මයම අනුගමනය කරන ලකුණු පෙන්වූයේය. රජය සිදුකළ බාධාව සිදු නොකොට සාමාන්‍ය අයුරින් කෘෂිකර්ම කටයුතු නවතින්නට ඉඩහැරියේ නම් 2021/2022 මාස් කන්නයේදී, 2022දී මෙරට ආහාර සුරක්ෂිතතාව අතින් යහපත් තත්ත්වයක පවතින්නට ඉඩ තිබුණේය. එසේ වූයේ නම් ගෝලීයව වෙනස් වෙමින් පවතින දේශපාලන තත්ත්වය යටතේ ඊළඟ යල කන්නයට අපට හොඳින් මුහුණ දෙන්නට හැකියාව තිබිණි. අවම වශයෙන් අපට ආහාර ආනයනය සඳහා වැය වෙන වියදම අඩුකර ගැනීමේත් කාබනික පොහොර (එයින් ශ්‍රී ලාංකික පරිසරයට පෙරටත් වඩා හානි සිදුවිය හැකිය) ආනයනයට යන වියදම අඩු කර ගැනීමේත්) හැකියාව තිබිණි.

මෙරට කාබනික/ හරිත කෘෂිකර්මික මගේ ගෙන යන්නට රජය ගත් තීරණයේ අත්වන අහිතකර ප්‍රතිඵල යථාර්ථයක් ලෙස පැහැදිලි කර දීමට විද්‍යාඥයන් සහ විද්වතුන් ඉදිරිපත් වීම දෙස ඇතැම් සමාජ කැමැත්තෙන් නොබැලූ බවද අපට පෙනෙන්නට තිබුණේය. දේශපාලන ධුරාවලියේ ඉහළින් කුමන නියමයන් ආවද ඒවාට සහයෝගය දෙමින් ඒවා ක්‍රියාත්මක කොට රජයට පක්ෂපාතී බව පෙන්වන්නට ඔවුන්ට අවශ්‍ය වන්නට ඇත. නැතහොත් සැබෑ අහිතකර ප්‍රතිඵල දැන දැනම රජය අසමත් වනු දකින්නට ඇතැමෙකුට අවශ්‍ය වන්නට ඇත. අතාර්කික වෑයම් සියල්ල දැන් අසමත් වී තිබේ. විද්‍යාඥයන් සහ විද්වතුන් කල්තියා පුරෝකථනය කළ අහිතර ප්‍රතිඵල දැන් ඉහළ මට්ටමින්ම යථාර්ථය බවට පත් තිබේ. එම අවාසනාවන්ත ප්‍රතිඵල අත්වන  ප්‍රවේශය 2022 යල කන්නයේත් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවේ වී වගාවටත් තේ  නිෂ්පාදනයටත් අනෙකුත් ආහාර හා සත්ව ආහාර නිෂ්පාදනවලටත් වැදිය හැකි දරුණුම පහර වදිනු නිසැකය. එවිට තවදුරටත් මිල ඉහළයාම්, ආහාර හිඟවීම්, තේ ප්‍රමුඛ කෘෂි අපනයන ආදායම් පහළ වැටීම් සිදුවීම වැළැක්විය නොහැකිවේ. එවිට ජාතික ආහාර සුරක්ෂිතතාව උදෙසා ඉහළින්ම දායකවන්නට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තබා ගත් සියලු ඉලක්ක සිහින බවට පත්වන සියලුම ලකුණු පහළ වේ.

රජයේ කෘෂි වැඩපිළිවෙළ ආරම්භ කළේ වස විසෙන් තොරව රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීම සඳහාය. එහෙත් ශ්‍රී ලංකාවට ආනයනය කරන සහල් හා අනෙකුත් ආහාර ද්‍රව්‍යවල ගුණාත්මක බව තහවුරු කරන්නට රජය කිසිම උත්සාහයක් නොදරන බව පෙනී යයි. එය කෙතරම් දුක්ඛිත තත්ත්වයක්ද? අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රධාන ආහාරය උදෙසා වෙනත් රටක් කෙරේ විශ්වාස තබනවුන් බවට ශ්‍රී ලාංකිකයන් පත්කර තිබේ. රටේ කෘෂි කර්මාන්තයට එවැනි  හානියක් කරතැයි කිසියම් ශ්‍රී ලාංකිකයකු සිහිනෙකින්වත් සිතන්නේ කෙසේද?

(***)
2022/මාර්තු 23 Daily FT පුවත්පතේ පළවූ
The manmade Agriculture disaster in Sri lanka
ලිපියේ  පරිවර්තනය
සමන් පුෂ්ප  ලියනගේ

News Source

Chandana Sesath Jayakody

Read Previous

රිදීමාලියද්ද ගොවිබිම් අක්කර 65,0000 ක් – සිංගප්පූරුවට විරෝධය පා ජනතාව පාරට

Read Next

නීතියට පයින් ගසා නුවර වැවේ වෙට්ටු දාන සේමසිංහ

Leave a Reply

Your email address will not be published.

Translate »