හරිත විප්ලවයේ ලේ තැවරුණු අත් !

ප්‍රභාත් චින්තක මීගොඩගේ – lalnkaleadnews.com

ශ්‍රී ලංකාව ඇතුළු පරිධියේ රටවල කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ලෝක බැංකුව පෙරටු කොටගත් බහුජාතික සමාගම්වල මැදිහත්වීම, වඩා සංවිධිත ආකාරයකට ආරම්භ වූයේ 1960 දශකයේ ඇරඹුණු හරිත විප්ලවයෙනි. ‘ලොව පුරා සාගින්න තුරන්කිරීම’ නමැති ප්‍රකාශිත අරමුණින් යුතුව ඇරඹුණු ‘හරිත විප්ලවයේ’ අප්‍රකාශිත සැබෑ අරමුණු රැසක් තිබිණි.

මෙම අරමුණු හරහා හරිත විප්ලවය පිළිබඳව හඳුනාගනිමින් කෘෂිකර්මාන්තයට ලෝක බැංකුවේ මැදිහත්වීම විග්‍රහ කිරීම පළමුවෙන්ම සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තකි.

දෙවන ලෝක සංග්‍රාමය නිමාවීමෙන් ඉක්බිති ලෝකය පුරා විශේෂයෙන් ම පරිධියේ යටත් විජිත රටවල පැන නඟිමින් තිබූ නව දේශපාලන චලනයන් විසින් කේන්ද්‍රයේ ධනපති රටවල් හා බහුජාතික සමාගම් බරපතළ නොසන්සුන්තාවකට ඇද දමා තිබිණි. ආසියානු – අප්‍රිකානු – ලතින් ඇමරිකානු රටවල් සිය යටත්විජිතභාවයෙන් මිදීම පිණිස ජාතික විමුක්ති අරගල ආරම්භකර තිබිණි. මෙම ලෝක තත්ත්වය තුළ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ප්‍රමුඛ සමාජවාදී කඳවුර වඩ වඩාත් ශක්තිමත් වීමේ අනතුරක් තමන්ට එරෙහිව නිර්මාණය වෙමින් පවතින බව කේන්ද්‍රයේ රටවල් වටහාගෙන තිබිණ. මේ නිසා මෙම තත්ත්වය සියුම් ලෙස දියකර හරිමින් පරිධියේ රටවල් දිගින් දිගටම තම වුවමනාවන් සපුරාගත හැකි ආකාරයෙන් පවත්වාගෙන යා හැකි අන්තර්ජාතික වැඩපිළිවෙළක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දියත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවක් කේන්ද්‍රයේ රටවල් හා බහුජාතික සමාගම් පාර්ශ්වය තුළ පැන නැඟ තිබිණ.

එම වැඩපිළිවෙළ නිල වශයෙන් එළි දුටු අවස්ථාව වූයේ 1963 පැවැත්වූ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සමුළුවයි. එහිදී ලෝකයේ සාගින්න නිවීමේ කටයුත්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබූ අතර, ඒ සඳහා සැලසුමක්ද ඉදිරිපත් කරනු ලැබ සම්මත කෙරිණි. මෙය නම් කෙරුණේ, ‘කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ලෝක සැලැස්ම’ (Indicative World Plan for Agricultural Development) යනුවෙනි. ‘හරිත විප්ලවය’ (Green Revolution) යනු එය හැඳින්වුණු ජනප්‍රිය නාමයයි.

ලෝකය පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් සිටි ජනගහණයට ආහාර සැපයීම සඳහා අස්වැන්න වැඩි කළ හැකි නව බීජ වර්ග, කෘෂි රසායන, පොහොර, කෘෂි උපකරණ ආදිය මත පදනම් වූ කෘෂිකර්මාන්තයක් ඒ සැලසුම තුළින් යෝජනා කෙරිණි. මෙහි අප්‍රකාශිත කාරණය වූයේ හරිත විප්ලවය යනු ඒ වන විට පරිධියේ පැන නැඟ තිබූ හා පැන නඟින්නට විෂයමූල තත්ත්වයන් සැකසෙමින් තිබූ ‘රතු විප්ලවයට’ ප්‍රතිපක්ෂ විප්ලවයක් බවයි.

හරිත විප්ලවයේ නිර්මාතෘවරයා ලෙස කේන්ද්‍රයේ රටවල් හා බහුජාතික කෘෂි සමාගම් විසින් පුදනු ලබන නෝර්මන් බෝලෝග්ගේ මේ ප්‍රකාශයෙන් ‘බළලා මල්ලෙන් එළියට පැන ඇති බව’ පැහැදිලිව පෙනේ. “ජනගහණය වැඩිවීම ලෝකයේ සෑම තැනම ජීවන මට්ටම පහත හෙළන්නා වූ අඬු දහයකින් යුත් රකුසකු වැනිය. මෙය ඉතා භයානක යැයි කීමට ගන්නා කෙටි කාලය තුළ මරණයට පත්වන සංඛ්‍යාවට වඩා තවත් පස්දෙනෙකු මෙලොවට බිහි වේ. මේ ප්‍රශ්නය නොවිසඳුවහොත් ආණ්ඩු පෙරළෙනු නියත ය. අභ්‍යන්තරික සමාජ ගැටුම්, විප්ලව බවට පත්වීමටත්, ජාතික විප්ලව අන්තර්ජාතික විප්ලව බවට පත්වීමටත් ඉඩ ඇත.”

සමාජවාදී රාජ්‍ය අතපෙවීමට පෙර පරිධියේ රටවල සාගින්න ‘තුරන් කිරීම සඳහා හරිත විප්ලවය හඳුන්වාදීමට අමතරව ජනගහණය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය ව්‍යාපාරද බිහිකර දෙන්නට මෙකී කේන්ද්‍රයේ රටවල් ප්‍රමුඛ සංවිධාන උත්සුක වූහ.

හරිත විප්ලවය තුළ මුල් කාලයේ දී ප්‍රමුඛ වැඩ කොටසක් ඉටු කරන ලද්දේ රොක්ෆෙලර් සහ ෆෝඩ් යන බහුජාතික සමාගම් විසිනි. මේ සමාගම් ඒ වන විට ඇමරිකාවේ ප්‍රබල බහුජාතික සමාගම් විය. මේවායේ පර්යේෂණාගාරවල වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ නිර්මාණය කෙරිණි. එම නව බීජ හැඳින්වුණේ ‘විස්මිත බීජ’ (Wonder Seed) යනුවෙනි. ඇත්තෙන්ම ඔවුන් විසින් මේ විස්මිත බීජ නිර්මාණය කළේ පරිධියේ රටවල ඒ වන විටත් වගා කරමින් තිබූ ගොවිපොළ බෝග බීජ ඇසුරෙනි.

ඇමරිකා එක්සත් ජනපදයේ US AID පිටිවහල ඇතිව රොක්ෆෙලර් සහ ෆෝඩ් සමාගම්, වැඩි අස්වනු ලබා දෙන එම විස්මිත බීජ වගාකිරීමෙන් ලැබෙන මහත්ඵල මහානිශංස පිළිබඳව අපේ වැනි පරිධියේ රටවල ආණ්ඩුවලට ඒත්තු ගැන්වීය. එමෙන්ම ඇමරිකානු විශ්ව විද්‍යාල සහ US AID ආධාර සහිතව මේ සුබආරංචිය ලොව පුරා පතුරුවාලන්නට සංවර්ධන සේවකයින්ද පුහුණු කෙරිණි. මේ සුබාරංචිය රැගෙන යන්නවුන් පිටුපසින් පැමිණියේ කෘෂි ද්‍රව්‍ය නිපදවන එම බහුජාතික සමාගම්වල අලෙවි නියෝජිතයින්ය.

1966 සිට ඇමරිකාව දිළිඳු රටවලට ආහාර ආධාර දෙන ලද්දේ එම රටවල් හරිත විප්ලවයේ නිපැයුම් ක්‍රම යොදාගතහොත් පමණි. “මෙහි අරමුණ හුදෙක් ඇමරිකන් රසායනික නිෂ්පාදන හා ට්‍රැක්ටර් ආදිය විකිණීම සඳහා වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීම පමණක් නොව ‘සමාජ ස්ථාවරත්වයද’ සහතික කිරීමය” යනුවෙන් සූසාන් ජෝර්ජ් සහ නිගෙල් පේජ් Food for Beginners ග්‍රන්ථයේ සඳහන් කරති.

ලෝකය පුරා වැඩි අස්වනු ලබාදෙන නව ගොවිපොළ බෝග බීජ නිර්මාණය කර ගැනීම සඳහා පර්යේෂණ කටයුතු බහුජාතික සමාගම්වල පර්යේෂණාගාර තුළ සිදුවෙමින් පවතින අතර, ඒවායින් ලැබෙන ‘සාර්ථක ප්‍රතිඵල’ මත එකී සමාගම්වල ලාභද තරවන්නට වෙයි.

එලෙස ලැබෙන ජයග්‍රහණ හරහා ලෝකයට දීර්ඝකාලීනව රසායනික ද්‍රව්‍ය භාවිතය මත පදනම් වන කෘෂිකාර්මික සැලසුමක් නිර්මාණය වෙමින් තිබෙනු දුටු, එවක ලෝක බැංකු සභාපති රොබට් මැක්නමාරා එය ලෝක බැංකුවට සම්බන්ධ ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට සැලසුම් සකස් කළේය.ඔහු ෆෝඩ් නමැති බහුජාතික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකුද විය. හරිත විප්ලවයේ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් සඳහා මැක්නමාරාගේ මූලිකත්වයෙන් ‘ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ පිළිබඳ උපදේශක සභාව’ (Consultative Group on International Agricultural Research – CGIAR) පිහිටුවිණි. රොක්ෆෙලර් පදනම, ෆෝඩ් පදනම, කෙලොග්ස් පදනම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව සහ තවත් සංවර්ධිත රටවල් 34ක මූල්‍යාධාර යටතේ මෙය ක්‍රියාත්මක විණි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ද මෙයට එක් වී ඇත. මෙමගින් නිර්මාණය කරන කෘෂිකාර්මික සැලසුම් ක්‍රියාවට නැංවීම පිණිස මේ වන විට රටවල් 16ක් තුළ මධ්‍යස්ථාන 16ක් පිහිටුවා තිබේ.

සාගින්න තුරන් කිරීමට හා ආහාර සුරක්ෂිතතාවට හරිත විප්ලවය හා වෙළෙඳපොළ ආර්ථිකය තුළින් විසඳුම් සෙවීමට ලෝක මට්ටමේ සැලසුම් සකස් වන්නේ CGIAR පිහිටුවා ගැනීමෙන් පසුවය. නවීන කෘෂිකර්මාන්තයක් පිළිබඳව බහුජාතික සමාගම්වල යෝජනා හා ලෝක බැංකුවේ සැලසුම් මත ලෝක ව්‍යාප්ත වෙළෙඳපොළක් තුළට කෘෂිකාර්මික රටවල් හසුකර ගැනීමට එය උගුලක් බඳු ක්‍රියාවක් විණි.

CGIAR කිසිදු ජාත්‍යන්තර නීතියකට බැඳී නොසිටින නිල නොලත් සංවිධානයකි. ලොව වැදගත්ම බෝග වගා සම්බන්ධයෙන් දැවැන්ත විපර්යාස සිදු කිරීමට මේ සංවිධානය කටයුතු කරයි. CGIAR ආරම්භයේ පටන්ම කටයුතු කළේ තෙවන ලොව රටවල පැවති කෘෂිකර්මාන්තයේ වැදගත් තැන් හඳුනාගැනීමට හා ගොවීන් සම්බන්ධයෙන් පැවති ගැටලුවලට තමන්ට යෝජනා කළ හැකි හා මැදිහත් විය හැකි කරුණු මොනවාද යන්න පිළිබඳවය.

වසර දහස් ගණනක් තිස්සේ රටවල ශිෂ්ටාචාරය හා බැඳුණු පාරම්පරික කෘෂිකාර්මික ක්‍රම දියුණු කිරීමට චිරස්ථායී ක්‍රම ලෙස තවදුරටත් පැරණි භාවිතයන් නුසුදුසු බව පෙන්වා නව තාක්ෂණික ක්‍රම යොදාගැනීමට ඔවුන් විසින් උපදෙස් දෙන ලදී. මේ ක්‍රමයේදී පැරණි දැනුම අවිද්‍යාත්මක හා මිථ්‍යා ආකල්ප ඔස්සේ පවතින්නක් යැයි දිගින් දිගටම පෙන්වා දෙනු ලැබූ අතර, නොදියුණු රටවල පවතින ගෝත්‍රික මානසිකත්වය කෘෂිකාර්මික සංවර්ධනයට බාධාවක් යැයිද පැවසිණි.

ශ්‍රී ලංකාවේ වී පර්යේෂණ

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් කෘෂිකර්මය මත පදනම් වූ රටක් වූ අතර, එම කෘෂිකර්මයෙන් වැඩි කොටස වී ගොවිතැන වූයේය. සියවස් ගණනාවක් තිස්සේ අඛණ්ඩව වී වගා කිරීම නිසා විවිධ වූ සුවිශේෂ හැකියාවන් සහිත වී ප්‍රභේද රැසක් ලංකාව සතුව පැවතිණි. “දේශීය වී දර්ශ ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව රන් ආකරයකි.” යනුවෙන් එක් විශේෂඥයකු පවසා ඇත්තේ එබැවිනි. එවකට ශ්‍රී ලංකාවේ දේශීය වී වර්ග 2800ක් පමණ තිබූ අතර, එම ප්‍රමාණය මුළු ලෝකයේම පැවති වී වර්ගවලින් 23%ක පමණ ප්‍රතිශතයකි.

අපේ දේශීය වී වර්ග පොදුවේ පෝෂණ මට්ටම අතින් ඉහළම තලයේ තිබුනාට අමතරව එම වී වර්ග තුළ ජානගතව සුවිශේෂ හැකියාවන් පැවතිණි. 1960 දශකයේ බතලගොඩ වී පර්යේෂණායතනය හා සම්බන්ධව කටයුතු කළ කෘෂිකර්ම පර්යේෂක පෝල් එඩ්මන්ඩ් පීරිස් පවසන ආකාරයට, “උසස් උද්භිද විද්‍යාත්මක ගුණ ඇති වී වර්ග අපේ දේශීය වී ප්‍රභේද අතර බොහොමයි. හොඬරවාළු හොඳ උදාහරණයක්. එයට යකඩ මළ විෂවීමටත්, ගංවතුරට ඔරොත්තු දීමටත් හැකියාව තිබෙනවා. දෙවරැද්දිරි තවත් හොඳ වී ප්‍රභේදයක්. ඒ නම සෑදී ඇත්තේ ‘දෙවරක් – දිවි’ යන පද එක්වීමෙන්. ගංවතුරට යටවන වී වරක් දිවි හානි වුවත් යළි නැඟී සිටින්නට මේ ප්‍රභේදය සමත් වෙනවා. දහනල නම් දේශීය වී විශේෂය කූඩිත්තන්ට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්තයි…” ඊට අමතරව දේශීය වී වර්ග තුළ අන්තරගතව පැවති ගුණයන් ලෙස නියඟයට ඔරොත්තු දීම, ගොඩ වගා කළ හැකි වීම, පළිබෝධකයින්ට ඔරොත්තු දීම ආදිය දැක්විය හැකිය. මෙම වී වර්ග කාලාන්තරයක් තිස්සේ ලංකාවේ ගොවිබිම්හි සුරක්ෂිතව පැවතිණි.

නමුත් 60 දශකයේදී හරිත විප්ලවයේ අන්ධකාර සෙවනැල්ල ශ්‍රී ලංකාවේ ගොවිබිම් මතටද පතිත වන්නට වූයේය. සූරිය ගුණසේකර මහතා සඳහන් කරන ආකාරයට, ප්‍රෝටීනවලින් සරු දේශීය වී වර්ග කුඹුරෙන් ඉවත් වී ගොස් සුදුහාල් කුඹුරට ප්‍රවිෂ්ට වීම හුදෙක් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් පමණි. එය ඇරඹුණේ 1967 දීය. එවක ආහාර හා කෘෂිකර්ම ආමාත්‍යවරයා සහ එක්සත් ජනපදයේ ෆෝඩ් පදනම අත්සන් කළ ගිවිසුමකින් ලංකාවේ වී ගොවිතැන නවීකරණය කිරීමට ෆෝඩ් පදනමට භාර කිරීම සිදුවිණ. 1967 අන්තර් ජාතික සහල් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව මගින් කළ විවෘත ආයාචනය පරිදි ෆෝඩ් පදනම ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කිරීමට ඉදිරිපත් විය.

මේ අනුව 1967 දී ශ්‍රී ලංකාවේ වී ජාන සම්පත් සුරැකීමේ වැඩසටහන් පෙළ ගැසෙන්නට වෙයි. බතලගොඩ, මහඉලුප්පල්ලම, බෝඹුවල යනාදී වී අභිජනන මධ්‍යස්ථානවලදී මෙරට දේශීය වී වර්ග රැස් කිරීම ආරම්භ වේ. මෙසේ ඉපැරණි වී වර්ග සොරාගැනීමේ ක්‍රියාදාමය මෙරට තුළ පමණක් සිදු වූවක් නොවීය. ඉන්දියාව සහ පිලිපීනය මේ මංකොල්ලයට ගොදුරු වූයේය. මේ ආකාරයට වී වැනි බෝගයක ජාන සම්පත හිඟකමින් පෙළෙන කාර්මිකකරණය වූ රටවල ජාන කොල්ලකරුවන්ගේ ගොදුරු බිම් බවට ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ ගොවි බිම් පත් විය.

විශාල රටක් වන ඉන්දියාවේ විවිධ පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන ආකාරයට ඒ රටේ ගොවීන් විසින් සකස් කොටගෙන වගා කරමින් තිබූ 12,000ක් පමණ වී වර්ග සියල්ල එකතු කොට අන්තර්ජාතික සහල් පර්යේෂණායතනයට දුන්නේ ආචාර්ය එම්.එස්. ස්වාමිනාදන්ය. ඔහු හරිත විප්ලවයේ පුරෝගාමියකු ලෙස සලකනු ලැබේ.

වැඩි අස්වනු ලබා දෙනවා යැයි කියූ IR නමින් යුත් නව වී ප්‍රභේද නිර්මාණය කරන ලද්දේ පිලිපීනය මූලස්ථානය කොටගත් අන්තර්ජාතික සහල් පර්යේෂණායතනය (IRRI) විසිනි. එම නව වී ප්‍රභේදවල ලක්ෂණය වූයේ ඒවා වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබන්නට නම් විශාල වශයෙන් රසායනික පොහොර හා රසායනික පළිබෝධ නාශක යෙදිය යුතු වීමයි.

මේ වන විට නිපදවා ඇති පොහොර හා පළිබෝධනාශක විශාල වශයෙන් අවශ්‍ය වැඩි අස්වැන්නක් දෙන වී වර්ග නිපදවා ඇත්තේ ආසියාකරයෙන්ම සොයාගත් සාම්ප්‍රදායික වී වර්ග ඇසුරෙනි. වගා කිරීමට අවශ්‍ය බීජ නිපදවන දැවැන්ත බහුජාතික සමාගම් මෙසේ නිපදවන නව බීජ වී වර්ග විශාල මිල ගණන්වලට ආපසු ආසියානු ගොවීන්ටම විකුණති. ඒ පසුපස එන පොහොර හා පළිබෝධනාශක නිපදවන බහුජාතික සමාගම්ද තම මඩි තරකර ගනිති. ජාන සම්පත් සංරක්ෂකයින් පවසන්නේ අන්තර්ජාතික සහල් පර්යේෂණායතනය විසින් පිලිපීනය ඇතුළු ආසියාතික රටවල ගොවීන් බීජ හා කෘත්‍රිම පොහොර නිපදවන සමාගම්වල වහලුන් කර ඇති බවයි.

මෙම නව වී ප්‍ර භේදවල විස්මිතභාවය ගැන එවකට බොහෝ අය උදම් ඇනූහ. එවකට අන්තර්ජාතික සහල් පර්යේෂණායතනයේ (IRRI) අධ්‍යක්ෂවරයාද වූ එම්.එස්. ස්වාමිනාදන් පසුකාලීනව මෙසේ පවසා තිබිණ. “අවුරුදු හතර පහකට වඩා සාර්ථකව වගා කළ හැකි වී වර්ගයක් ඝර්ම කලාපීය රටවල නිපදවීම දුෂ්කරය. වසර පුරා වගාකරන විට රෝග හා කෘෂි උවදුරු ඇතිවීම වළක්වන්නට නොහැකිවා පමණක් නොව වැඩි දියුණු කළ වී වර්ගවල ස්වභාවය නිසා නිරන්තරයෙන් අලුත් කෘමි උවදුරු ඇතිවන්නටද පිළිවන.” ස්වාමිනාදන්ගේ මේ කතාව Illustrated Weekly of India සඟරාව උපුටා දක්වා තිබුණේ විලි ලජ්ජා නැති කතාවක් කීමක් වශයෙනි.

ලොව අද වෙසෙන ජනතාවගෙන් අඩකගේම දෛනික ආහාරය බත්ය. මින් වසර 8000කට පමණ එපිටදී ආසියාව තුළ දී ගෘහාශ්‍රිතකරණය කරන ලද දා සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ගොවීන් විසින් දියුණු කරන ලද වී ප්‍රභේද ගණන 100,000 ඉක්මවයි. මේවා හරිත විප්ලවය තුළ දී වැනසුණි.

හරිත විප්ලව බලපෑමට ලක්වන්නට පෙර යුගයේ අපේ රටේ ගොවීන් තමන්ගේ වී වගාවේ ඵලදාව මැන්නේ වී ඇට ප්‍රමාණය මත පමණක් නොවේ. ලැබෙන පිදුරු ප්‍රමාණය, අස්වනු කල් තබා ගැනීමේ හැකියාව, පෝෂණ ගුණය ආදී වූ බොහෝ ගුණාංග පිළිබඳව ඵලදාව මැනීමේදී සලකා බැලිණි. ඇතැම් දේශීය වී වර්ගවල ඵලදාව වී ඇට ප්‍රමාණය අනුව බැලුවත්, හරිත විප්ලවය තුළින් නිමැවුණු ‘විස්මිත වී’ වර්ගවලට සමාන තත්ත්වයක පැවතුණි. නමුත් රාජ්‍ය මැදිහත්වීම් තුළින් ‘විශේෂඥයින්’ ලබාදුන් උපදෙස්වලට නතු වී ගොවීහු නව වී වර්ගවලට වඩ වඩාත් සමීප වූහ. හරිත විප්ලව තාක්ෂණය ලංකාවේ ගොවිබිම් මත අණසක පතුරුවන කාලය වන විට දේශීය වී වර්ගවල ඵලදාව පහත මට්ටමක තිබුණේ බීජවල අඩු ශක්තිය නිසා නොව, ගොවිතැන් ක්‍රමවල තිබූ යම් යම් අඩුපාඩු හේතුවෙන් බව දැන් වන විට හඳුනාගෙන තිබේ. නමුත් අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් හමාරය.

මෙරට ගොවිබිම්හි රෝපණය වූයේ නව වී ප්‍රභේද ය. මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස මෙසේ සඳහන් කරයි. “නූතන සොයාගැනීම් අනුව හෙළිවන මූලික සත්‍යයක් නම් මිනිසා විසින් වරණය කෙරුණු වී ප්‍රභේද පළිබෝධ උවදුරුවලට පහසුවෙන්ම ගොදුරු වන බව යි. මේ අර්බුදයේදී කෘෂි රසායන යනුවෙන් පොදුවේ හැඳින්වෙන කෘත්‍රිම පොහොර හා පලිබෝධ නාශක භාවිතය අනිවාර්ය වීම ස්වාභාවිකය. එහෙත් අපේ වැනි දිළිඳු රටකට කෘෂි රසායන භාවිතයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ වැය වන මුදලට සරිවේද? ඔරොත්තු දේද?” (ගොංකමක් වූ ගොවිකම – මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස)

වර්තමානයේ ගොවීන් වගා කරන වී ප්‍රභේදවල අස්වනු ප්‍රමාණය වැඩි බව සාපේක්ෂ ඇත්තකි. නමුත් මේ වී වගාවන්ගේ නිසි ඵල ලැබීමට නම් නිසි ලෙස නඩත්තු කිරීම අත්‍යවශ්‍යය. අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය අවශ්‍ය වන්නේ ඒ සඳහාය. අවසානයේ ලැබෙන වී අස්වනු ප්‍රමාණයේ වටිනාකම හා කෘෂි රසායන වෙනුවෙන් වැය කළ මුදල අතර අනුපාතය සසඳා බලන විට එය ගොවියාට සැලකිය යුතු තරම් වාසිදායක අනුපාතයක් නොවන බව පෙනේ. 1990 වන විට නූතන වී ප්‍රභේද ආසියාවේ වී වගා කර තිබූ බිම්වලින් 74%ක් වසා පැතිර තිබුණි. ශ්‍රී ලංකාව, පිලිපීනය, චීනය හා මලයාසියාව වැනි රටවල වී වගා බිම් සියල්ලම පාහේ නව වී ප්‍රභේදවලට පවරා දී තිබිණි.

මෙරට ගොවිබිම්වලට නව වී ප්‍ර භේද හඳුන්වාදීමට, ඒවා කෙරෙහි ගොවීන්ගේ අවධානය යොමුකර ගැනීමට එවකට ආණ්ඩුව සුවිශේෂ උපක්‍රම ක්‍රියාවට නැංවීය. ආණ්ඩුව වැඩි අස්වනු දෙන අභිජනන වී වර්ග වගා කොට පොහොර කෘෂි රසායන යොදා ආදර්ශ කුඹුරු යාය ඇති කරන ලදී. ඒ සඳහා නිලධාරී පැළැන්තියක් ඇති කරන ලදී. නොමිලේ බීජ, පොහොර, කෘෂි උපකරණ හා උපදෙස් ලබා දෙන ලදී. සහනාධාර ලබා දෙන ලදී. වැඩි අස්වනු රැස්කළ ගොවීන් තෝරා ඔටුණු පළඳවන ලදී. ගොවි රජවරුන් ලෙස ඔවුන් නම් කරන ලදී. අවසානයේ බහුජාතික සමාගම් ජයගත්තේය. රජය විසින් මුල් වටයේදී ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය අභිජනනය කළ IR8 වී බුසල් 10,000ක් ගොවීන් අතර බෙදා දෙන ලදී. 1969 දී අක්කර 19,000ක වගා කෙරුණු IR8 වී ප්‍රභේදය 1970 දී අක්කර 65,000ක වගා කෙරිණි.

මෙරට පවතින විවිධ වූ පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන වී ප්‍රභේද 567ක් පමණ 1924දී මෙහි වගා කරනු ලැබූවත් 1960න් පසුව අප රටට හඳුන්වා දුන් ‘දියුණු කරන ලද වී වර්ග’ නිසා, එතෙක් ලංකාවේ පැවති වී වර්ග සියල්ලම පාහේ වඳ වී ගොස් ඇති බවත්, දැනට අප රටේ වගා කරන්නේ වී වර්ග 5-10 අතර ප්‍රමාණයක් පමණක් බවත් ආචාර්ය ගාමිණී සේනානායක පවසයි.

අපේ වැනි රටවල් සතුව සියවස් ගණනාවක පටන් පැවති විවිධ සුවිශේෂ හැකියාවන් සහිත කෘෂිකර්මය වනසා දැමීමේ ලෝක බැංකුවේ දැනුවත් කුමන්ත්‍රණය හරහා කෘෂිකර්මය රසායන ද්‍රව්‍ය මත යැපෙන තත්ත්වයකට පත්කිරීම සහ බටහිර රටවල ක්‍රියාත්මක වන ඉඩම් පරිභෝජන රටාවක් මෙන්ම, ආහාර පරිභෝජන රටාවක්ද අපේ වැනි පරිධියේ රටවල් මත පැටවීම සිදු විණි. බහුජාතික සමාගම්වල නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමේ හා එම වෙළෙඳපොළ දීර්ඝකාලීනව පවත්වාගෙන යාමේ ප්‍රමුඛ වුවමනාව මේ තුළ වූයේය. ලෝකය එකම නිදහස් වෙළෙඳ කලාපයක් බවට පත්කිරීම සඳහා ආසියානු හා අප්‍රිකානු රටවල ආර්ථිකයන් පදනම් වී ඇති දේශීය කෘෂි කර්මය හා කෘෂි සංස්කෘතිය බිඳ දැමීම, අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු වන කටයුත්තක් බව ලෝක බැංකුව විසින් වටහාගනු ලැබ තිබිණ.

මෙහිදී නව බීජ වර්ග, කෘෂි රසායන, යන්ත්‍ර සූත්‍ර (ට්‍රැක්ටර්) ආදී නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ නිමවා ගැනීම මුල් කටයුත්ත වූයේය. කෙටි කාලීනව බලන විට මේවා මගින් අස්වැන්න වැඩි වීම මුල් යුගයේ සිදු වූ බව සත්‍යයකි. එහෙයින්ම මේවා සීමාන්තික පැසසුම්වලටද ලක් වූයේය. නමුත් දීර්ඝ කාලීනව පුළුල් අරුතකින් සලකා බලද්දී මේවා මගින් සිදු වී ඇති විනශය ගිණිය නොහැකි තරම් දැවැන්තය.

වරක් NEWYORK TIMES පුවත්පත සඳහන් කර තිබුනේ රසායනික පොහොර භාවිතය, ට්‍රැක්ටර් භාවිතය, ජාවාරම්කාර සමාගම් විසින් නිපදවන ලද බීජ හඳුන්වා දීම ආදී කටයුතු කිරීමෙන් පසුව ඉදිරිකාලයේ සාගතයට මුහුණ දෙන රටවල් අතරින් ශ්‍රී ලංකාවද එකක් වන බවයි.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

Chandana Sesath Jayakody

Read Previous

Data recovered as ship with chemicals sinking off Sri Lanka

Read Next

කාබනික පොහොර (අසූචි යැයි සැකකෙරෙන) කන්ටේනර් තුනක් ඉන්දියාවෙන් කොළඹ වරායට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »