
බුද්ධිකා ඉඹුලාන – dinamina.lk
සිලි සිලි බෑග් තහනමේ පළමු අදියර වසර 2022 ජනවාරි මස සිට ආරම්භ කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව අඟල් 10ක් පළළ, අඟල් 5ක් ගැඹුර හා අඟල් 16 උසින් යුත් ප්‍රමාණය හා ඊට අඩු සියලුම ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග් පළමු අදියරේ දී තහනම් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබේ. මෙහිදී ඉහත වර්ගයට අයත් හැඩලය සහිත හා රහිත සියලුම සිලි සිලි බෑග් තහනම් කිරීමට නියමිතය.
අපේ රටේ වාර්ෂික සමස්ත සිලි සිලි බෑග් භාවිතය බිලියන 2ක ඉක්මවා තිබේ. පරිසර අමාත්‍යාංශය එකතු කළ දත්ත අනුව මෙරට සුපිරි වෙළෙඳසල් ජාලයට අයත් සමාගම් ජාල දෙකක් වර්ෂයකට පාරිභෝගිකයන්ට නොමිලේ නිකුත් කරන සිලි සිලි බෑග් ප්‍රමාණය කෝටි 100කි. එක් සුපිරි වෙළෙඳසල් ජාලයකට අයත් එක් සාප්පුවකින් පමණක් දිනකට නිකුත් කරන ෂොපිං බෑග් ප්‍රමාණය ලක්ෂ 5කි.
ඒ අනුව අපේ රටේ සෙසු සියලු වෙළෙඳ ආයතනවලින් නිකුත් කරන ෂොපිං බෑග් ප්‍රමාණය ගත් කළ බිලියන 2 ඉක්මවයි. ගැටලුව වන්නේ සිලි සිලි බෑග් කිසිසේත්ම නැවත නැවත භාවිතා නොකිරිමයි. මේවා පාවිච්චි කරන්නේ එක් වතාවක් පමණි. එමෙන්ම එක්වරක් භාවිතයෙන් පසු ඉවත ලන සිලි සිලි බෑග්වලින් සියයට 100ක්ම පරිසරයට බැහැර කරන අතර, ඒවායින් සියයට 1ක්වත් ප්‍රතිචක්‍රියකරණයට යොදා නොගනී. එම නිසා එක්වරක් පමණක් භාවිතා කරන මෙම සිල සිලි බෑග් අදියර දෙකක් යටතේ තහනම් කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැතිවරයා අවධාරණය කරයි..
මෙම බෑග් වෙනුවට ආදේශක හඳුන්වා දීමට දැනට කටයුතු කරමින් සිටින අතර, විකල්ප තිබුණත් නැතත් මෙම තහනම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අමරවීර මහතා කියයි. විශේෂයෙන්ම රටේ මහජනතාවට පාරිසරික හා සෞඛ්‍යමය වශයෙන් එල්ල වී ඇති තර්ජනය සළකා බලමින් මෙම පියවර ගන්නා බව ඇමැතිවරයා කීවේය.