
දිවයින කතුවැකිය 2021.06.18
ස්ටේජ් මතට නැග, මයික් 7-8 සවිකරගෙන වෙනදා මහත් උජාරුවෙන් කෑ මොර දෙමින් සමරන ලෝක පරිසර දිනය (ජුනි 05), ලෝක සාගර දිනය ( ජුනි 08) සහ ලෝක සාගර කැස්බෑ දිනය (ජුනි 16) ආණ්ඩුව සහ අදාළ රාජ්‍ය ආයතන මෙවර හිමිහිට ලිස්සා හැරියේ රෙදි ඇඳගෙන මේවා සමරන්නට නොහැකි නිසාය.
නොහොත් එක්ස්ප‍්‍රස් පර්ල් නමැති කාලකණ්ණි නැවක් පැමිණ අපේ ඒ අහිංසක පාරිසරික සතුට නැති කර දැමුවාය.
පොලිතින් හා ප්ලාස්ටික් මගින් ලෝකයේ පස්වැනි තැනට (5) සාගරය දූෂණය කරන රට ලෙස ශ‍්‍රී ලංකාව නම් දරා සිටියද, කැලෑ ටිකක් කැපීම, අනවසරයෙන් වැලි, ගල්, පස් කොන්ත‍්‍රාත්තු ටිකක් සිදු කළාට, රක්ෂිත වනාන්තරයක් මැදින් පාරක් තොටක් දැම්මාට, හරකුන්ට කන්නට රක්ෂිතවල දොර අරින්නට කියා කියන විට ඊට විරුද්ධ වන නිලධාරීන් කොහේ හෝ තූත්තුකුඩියකට මාරු කර දැම්මාට, අපි ඉතා හොඳින් පරිසරය සුරක්ෂිත කරන බව ලෝකයාට පෙන්වූ ජනකොට්ඨාසයකි.
කොටින්ම ජෛව විවිධත්ව සම්මුතිය(1994), මොන්ටි‍්‍රයල් හා වියනා ( ඕසෝන්) සම්මුතිය (1985-87), සයිටීස් (ආරක්ෂිත සතුන් හා ශාකවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ) සම්මුතිය (1979), අනතුරුදායක අපද්‍රව්‍ය මුහුදු සීමා හරහා ගමන් කිරීම පාලනය කරන බාසල් සම්මුතිය (1992), සංක‍්‍රමණික වන සත්ව විශේෂ සංරක්ෂණය කිරීම පිළිබඳ සම්මුතිය (1990), නැව්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම පිළිබඳ සම්මුතිය (1997) ඇතුළු හැට හුටහමාරක් සම්මුතිවලට අත්සන් තබා ඇති ජාතියක් වන අපේ රටට එසේ අත්සන් කර ඇති ගිවිසුම් ගණන වැඩි වී ඇති නිසාම මේ නීති හා රැුකවරණ ඒවා ක‍්‍රියාත්මක කරවන ආයතනවලටම අමතක වී ඇති සැටියක් පෙනේ.
යම් හෙයකින් මේ ගිවිසුමකට අදාළ ආයතනයකින් යම් කරුණක් විමසුවහොත් පොත පෙරළා බලා උත්තර දෙන තුරු පැය ගණන් සිටිය යුතු වේ. නැතහොත් පස්සෙ කියන්නම් කියා අමතක කර දමති. මේ බොහෝ ආයතන ප‍්‍රධානීන් හා ඒවායේ විෂය භාර පුද්ගලයින් ඒ සී දමාගෙන, කකුල් වන වන පිං පඩි ගිලිමින් සිටින නමුත් රටට වැඩක් කරනු පෙනෙන්නේ නැත.
ගිනි ගෙන ගිලූණු එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ කතාන්දරය ගැන ද අපට කියන්නට ඇත්තේ එවන් අමිහිරි කතාන්දරය. තෙල්වලින් සිදුවන දූෂණය නිසා උද්ගත වන අලාභ සඳහා වූ සිවිල් වගකීම පිළිබඳ සම්මුතිය (1997), තෙල්වලින් සිදුවන දූෂණය නිසා උද්ගතවන අලාභ සඳහා වන්දිගෙවීම සඳහා ජාත්‍යන්තර අරමුදලක් පිහිටුවීමට අදාළ ජාත්‍යන්තර සම්මුතිය (1983), තෙල්වලින් සිදුවන දූෂණය නිසා මරණ හෝ තුවාල සිදුවන අවස්ථාවලදී මහ මුහුදේදී මැදිහත්වීමට අදාළ සම්මුතිය (1983), සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (1994) වැනි සාගරයට හා එම දූෂණයට අදාළ ගිවිසුම් රැසක පාර්ශ්වකරුවකු වන ලංකාව ලෝකයේ වැඩිම සම්මුති හා සන්ධාන සඳහා අත්සන් තබා ඇති රට දැයි වෙනම සොයා බැලිය යුතුය.
එනමුත් කුමන හෝ ආපදාවකදී ඊට වන්දි ගැනීමට හෝ නීතිමය කටයුතු කරන්නට යෑමේදී තටමන තැටමිල්ල ද වෙන කුමන හෝ රටකට වඩා ඇත්තේ ශ‍්‍රී ලංකාවටම විය යුතුය. අඩුම තරමින් මීට පෙර බොහෝ අපහසුවෙන් වතුර ගසා නිවා දමන ලද නිව් ඩයමන්ඞ් නැවෙන් වන්දියක් ගන්නට අපට හැකි වුණාද, ඒ කොපමණක්ද, ඉල්ලූ තරමට ලැබුණේද, ඉහත සම්මුති පරිදි කටයුතු කර එහි වාසි ජනතාවට අත්කර දුන්නේ ද යන්න පිළිබඳ වගේ වගක් නැත. නිලධාරීන් හා බලධාරීන් ඒ පිළිබඳව කටයුතු කර ඇත්තේ ද ඉතා සීරු මාරුවට ය.
කොටින්ම මේ දවස්වල නැව ගැන හරි දෙයක් අහගන්නට නිලධාරියෙක් නැතිය. උන්ගේ කටවල්වලට ඉබි යතුරු දමා ඇත. නාරා ද, මීපා ද, පරිසර අධිකාරියේද කිසි කෙනෙක් හරි ප‍්‍රකාශයක් දෙන්නේ නැත. නැවේ තෙල් තියනවා කියන්නෙත් නැත, නැහැ කියන්නෙත් නැත.
කෙසේ හෝ භාණ්ඩ (රසායන) වර්ග 170 කින් පමණ සමන්විත කන්ටේනර් 1486 ක් රැගත් එක්ස්ප‍්‍රස් පර්ල් ඇත්තේ දැන් මුහුදුබත් වීය. එයින් සිදුවී ඇති පාරිසරික හානිය මෙතෙකැයි කියන්නට බැරි බව රහසක් නොවේ. පරිසර දිනය, සාගර දිනය අත්හැර දැමුවත් සාගර කැස්බෑවන්ගේ ආරක්ෂාව පිළිබඳව ලෝකයක් කතා කරන මෙවන් මොහොතක අපට සිදුව ඇත්තේ දින දින ගොඩ ගසන කැස්බෑවන්, ඩොල්පින් හා අනෙකුත් සමුද්‍ර ජීවීන් බදාගෙන හඬන්නටය.
මේ වනවිටත් කැස්බෑවන් 50 කට ආසන්න ප‍්‍රමාණයක් මේ නාවික ව්‍යසනය නිසා මියගොස් ඇත. වසර 300 ක් පමණ දිවිගෙවන හා දැඩි ලෙස ආරක්ෂා කළ යුතු සත්වයකු වන කැස්බෑවා, උන් ගැන කතා කරන කාලයේදීම අපේ රටේදී මෙසේ ව්‍යසනයකට ගොදුරුවීම ගැන අප ලජ්ජා විය යුතුය. එසේම සංක‍්‍රමණික වන සත්ව විශේෂ සංරක්ෂණය කිරීම පිළිබඳ සම්මුතිය (1990) මගින් අප කැස්බෑවන් හා කුරුල්ලන් සුරකින්නට ගිවිස ගෙන ඉන්නා රටකි. අඩුම තරමින් මෙවන් පරිසර විනාශයන් සඳහාවත් අදාළ දූෂකයාගෙන් වන්දි (දූෂණයේ පිරිවැය) ලබාගෙන ඊට අදාළ සුරක්ෂා වෙනුවෙන් පරිසරයට යමක් කළ හැකි බව අපගේ හැඟීමයි.