විසඳුම් තවමත් නැති අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම නිසා 2019 වසරේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්ද‌ා අනාවරණය කළේය. අලි – මිනිස් ගැටුම නිසා එම වසරේදී මියගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 122 ක් බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

අප රට හැඳින්වෙන්නේ ඉන්දියන් සාගරේ මුතු ඇටය ලෙසය. ලෝක සිතියමේ අබැටක් තරම් වුවද මේ රට සුන්දරත්වයේ පාරාදීසයකි. එමතුදු වුව අප රට වෙළාගත් ප්‍රශ්න අර්බුද පොකුරකින් පිරී ඇත. එක් අතකින් සියවසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතයෙන් මේ බිම අතොරක් නොමැතිව බැට කයි. ඩෙංගු උවදුරෙන් එල්ලවන මාරාන්තික අනතුර ද හිසට ඉහළින් ළඹ දෙමින් තිබේ. රිය අනතුරු වලින් දැයට අහිමිවන පුරවැසියන්ගේ සංඛ්‍යාව මෙන්ම සද‌ාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පුරවැසියන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය මෙනි. කඳුළෙන් සුසුමෙන් ලියැවෙන ජාතියේ දූ පුතුන්ගේ ඉරණම ද නිතිපතා අලුත් වෙයි. අලි මිනිස් ගැටුම ද රටේ අනාගතය ලියවමින් තිබෙන බව කෝපා කමිටුවේ වාර්තාවෙන් කියවෙයි. මෙම ප්‍රශ්නවලට කල්පවත්නා හා දියුණු උත්තරයක් සොයා ගැනීමට රටක් වශයෙන් අප තවමත් අසමත්ය. එමගින් ප්‍රදර්ශනය වන්නේ අපගේ ජාතික ආධ්‍යාත්මය තල්ලු කර ඇති දිළිඳු බවේ ප්‍රපාතයේ ගැඹුර විනා අන් යමක් නොවේ.

සමාජ විද්‍යාවට අනුව යම් ප්‍රශ්නයක් සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනෙන්නේ එම ප්‍රශ්නය සමාජයේ පැවැත්මට අතිශයින්ම බාධාකාරී ලෙස බලපෑම් කරන්නේ නම්ය. අලි මිනිස් ගැටුම ද එබඳු බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනීමට තවත් කල් පමා කළ යුතු නැත. කෝපා කමිටුවේදී අනාවරණය වූ තොරතුරුවලට අනුව අලි මිනිස් ගැටුම නිසා වනඅලින් වැඩියෙන්ම මියයන රට බවට අප රට පත්ව තිබේ. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ සිදුවන රටවල් අතර අප රට දෙවැනි තැනට පත්ව තිබේ. අවශ්‍ය වන්නේ මෙම සංඛ්‍යා ලේඛනවලින් ප්‍රදර්ශනය කරන අඳුරෙන් එළියට ඒමය. එහෙත් සිදුවී තිබෙන්නේ අඳුරෙන් එළියට ඒම වෙනුවට අඳුරෙන් අඳුරට යාමය.

කෝපා කමිටුවේදී අනාවරණය වී ඇති කරුණුවලට අනුව අප රට තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ගණන සාමාන්‍යයෙන් 272 ක් වුවද 2019 වසරේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් තිබේ. එමෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන මිනිසුන් ගණන අලුත් වුවද 2019 වසරේදී එය 122 දක්වා වර්ධනය වී තිබේ. 2021 වසරේ දත්ත තවම ප්‍රකාශයට පත්වී නැත. කෙසේ වෙතත් එම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිළි වන්නේ අලි – මිනිස් ගැටුම නැමැති ගඟුළ දිනෙන් දින පළල් වී ඇති බවය.

අලි මිනිස් ගැටුම අද ඊයේ ඇරඹුණ දෙයක් නොවේ. මෙය දශක ගණනාවක් පුරා පවතින ගැටුමකි. වන අලි ප්‍රහාරයකින් මියගිය තම සමීපතමයාගේ සිරුර වැළඳ ගෙන ඥ‌ාතීන් නගන මර විළාප ඉදිරිපිට බලධාරීන් යම් යම් ප්‍රතිඥ‌ා ලබා දුන්නද ඒවා ජීවමාන යථාර්ථයක් බවට පත් වී නැත. අඟහරු ලෝකයත් තරණය කරන තරමට විද්‍යාව දියුණු වී ඇති ලෝකයක අලි – මිනිස් ගැටුමට විසඳුමක් සොයා නොගෙන ‘පුළුවන් නම් බේරිලා ජීවත් වෙයව්’ වැනි ඉරණමකට ජනයා තල්ලු කර ඇති සෙයකි.

කෝපා කමිටුවේදී අවධාරණය වී තිබෙන්නේ අලි මිනිස් ගැටුම දශක කිහිපයක් තිස්සේ ඉතාම බරපතළ අන්දමින් ක්‍රියාත්මක වන හෙයින් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස්වීමකට බඳුන් විය යුතු බවය. එමෙන්ම විදුලි වැට ඉදිකර අලි ඇතුන් කොටු කිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටුවන්නේ අහිංසක ගැහැනු සතුන් හා අලි පැටවුන් පමණක් බව ද කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්ලේ සඳහන් වන බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අලි මිනිස් ගැටුම ඉබේ නිර්මාණය වූවක් නොවේ. එයට බලපා ඇති සාධක බොහෝය. මිනිස් ක්‍රියාකාරකම් ද එයට හේතු වී තිබේ. අලි වාසභූමිවල ජනාවාස ඉදිකර ගැනීම මෙන්ම ගොවිතැන් සඳහා යොද‌ා ගැනීමද ප්‍රධාන හේතුවේ. අලි වාසභූමි හා අලිමංකඩ සම්බන්ධයෙන් අවබෝධයකින් තොරව හෝ එම කාරණා උවමනාවෙන්ම නොසලකා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාම තවත් හේතුවකි. වන අලින්ට ඇවැසි තරමට ඉඩකඩ නොවීම, ආහාර මෙන්ම ජලය හිඟවීම ආදිය ද වන අලින් ගම් වැදීමට හේතුවේ. ඇතුන් දඩයමේ යන දඩයක්කරුවන් නිසා සිදුවන විනාශයද සුළුපටු නොවේ.

කරුණු කාරණා කුමක් වුව ද මෙම ප්‍රශ්නය ඉබේ විසඳෙන තුරු බලා සිටිය නොහැක. බලධාරීන්ගෙන් ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ එබන්දක්දැයි සැක සිතෙන තරම්ය. එබඳු සැක පහළ වන්නේ අලි – මිනිස් ගැටුම විසඳීම සඳහා මෙතෙක් වියදම් කර ඇති මහ ධන නිධානයෙන් ශත පහක ප්‍රයෝජනයක් නොමැති හෙයිනි. මේ සම්බන්ධයෙන් ද කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබේ. එහෙත් අවධානය පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරණය විය යුතුය.

Chandana Sesath Jayakody

Read Previous

Hemas Partners with Govt plastic waste recycling campaign

Read Next

Indonesia optimistic of reaching net zero emissions by 2060 or earlier

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »