
dinamina.lk – මාපාකඩවැව සමූහ – එච්. එම්. රංජිත් කරුණාවීර
මහියංගණ ‘වේරගංතොට මහවැලි පාලමේ’ ආරක්ෂාව වෙනුවෙන් වැලි කැණීම් සපුරා තහනම් කළ සංවේදී කලාපයේ මාස ගණනක් තිස්සේ සිදු කෙරෙන වැලි ජාවාරම් හේතුවෙන් යළි පාලමේ ආරක්ෂාවට තර්ජනයක් සිදුව ඇත. පසුගිය කාලයේ සිදු කළ නිරන්තර වැටලීම් හේතුවෙන් ජාවාරම් කෙටි කලකට අඩුව තිබුණද, යළි මේ වන විට එම වැලි ජාවාරම් සක්‍රියව ඇත.
නැවත සක්‍රියව ඇති වැලි ජාවාරම වැටලීමට මහියංගණ පොලිසියේ නිලධාරීන් පිරිසක් ඉකුත් 19 වැනි දින සවස මහවැලි ගඟේ විශේෂ වැටලීමක් සිදු කරනු ලැබීය.
මහියංගණ පොලිස් බලප්‍රදේශයේ ‘වගාව’ නම් ගම්මානයේ පිරිසක් විසින් මෙම ජාවාරම නිරන්තරයෙන් සිදු කෙරේ. වේරගංතොට මහවැලි පාලමේ ආරක්ෂාව වෙනුවෙන් පාලමේ සිට පහළට තහනම් කර ඇති කිලෝමීටරයක සීමාවේ දිවා රාත්‍රී දෙකෙහිම මහවැලි ගෙඟ් නීති විරෝධී ආකාරයෙන් බලපත්‍ර රහිතව, මහවැලි ගඟ මැදට වැලි ට්‍රැක්ටර් දමා විශාල පිරිසක් විසින් මෙම වැලි කැණීම් සිදු කරන බවට ගම්වාසීහු නිරන්තරයෙන් පවසති.
1959 වර්ෂයේ ඉදිකරන ලද මහවැලි වේරගංතොට පාලම පසුගිය කාලයේ සිදු කරන ලද අනවසර වැලි කැණීම් හේතුවෙන් පාලමේ ආධාරක කුලුනුවල පාදමේ කොටස් මතුවී පාලමේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවූ අවස්ථාවේ මහවැලි පාලමේ ආරක්ෂාව වෙනුවෙන් මහවැලි පාලමේ සිට ඉහළට කිලෝමීටරයක් හා පහළට කිලෝමීටරයක් වැලි කැණීම සපුරා තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා භූ විද්‍යා පතල් කාර්යාංශය පියවර ගනු ලැබීය.
හානියට පත් පාලමේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පාලමේ ආධාරක කුලුනු 05ක් සඳහා කොන්ක්‍රීට් ඇතිරීම වෙනුවෙන් රුපියල් දෙකෝටි විසිහතර ලක්ෂ පනස්පන්දහස් අටසියයක් රජය විසින් වැය කෙරිණි.
එවැනි වටපිටාවක් යටතේ වැලි කැණීම් සපුරා තහනම් කර තිබියදීත් යළි යළිත් කලින් කලට මෙම අනවසර, නීති විරෝධී වැලි ජාවාරම් ක්‍රියාත්මකව පවතී.
මහවැලි ගඟ මැද තහනම් වැලි කැණීම් තහනම් කළ කලාපයේ වැලි කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු හා වැලි පටවා තිබූ ට්‍රැක්ටරය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා හා වැලි ට්‍රැක්ටරය මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.