
dinamina.lk
කැලණිය විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති, මහාචාර්ය ඒ.ජී.අමරසිංහ
වායු දූෂණය පාලනයට ප්‍රමාණවත් තරමේ නීති රාමුවක් තියෙනවා
වායු දූෂණය පාලනය තනි පුද්ගල වගකීමක්
අධික ශීත දේශගුණයට හේතුව ක්ෂුද්‍ර ද්‍රව්‍යමය අංශු වායුගෝලයට ඇතුළු වීමයි
වායු දූෂණය පාලනය ගැන මහ ජනතාව දැනුම්වත් නෑ
වර්තමානය වන විට වායු දූෂණය මෙරට ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම රටකටම මෙහි අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ දූවිල්ල පිළිබඳ ප්‍රශ්නය ද මෙවැනි තත්ත්වයකි. විවිධ මානව ක්‍රියාකාරකම් වායුගෝලයට අහිතකර අන්දමින් බලපාන ආකාරය, එයින් මානව සෞඛ්‍යයට මෙන්ම රටේ ආර්ථිකයට ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල ආදි කරුණු රැසක් සම්බන්ධයෙන්, කැලණිය විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති, මහාචාර්ය ඒ.ජී. අමරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
l වර්තමානයේ වායු දූෂණය යනුවෙන් කතාබහට ලක්වන සංසිද්ධිය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?
පෘථිවි වායුගෝලයේ වායුවල ස්වාභාවිකවම පවතින වායු වර්ගවලට අමතරව, වායුගෝලීය සංයුතිය සැලකිය යුතු ලෙස අහිතකර ආකාරයට වෙනස් වීම වායු දූෂණය ලෙස සලකන්න පුළුවන්. වායුගෝලයට ඇතුළු වන වායු නොවන ද්‍රව්‍ය සහ අහිතකර වායු වර්ග කාණ්ඩ 35කින් පමණ වායුගෝලය දූෂණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් 2000 වසරේදී ප්‍රකාශයට පත් කළ ‘යුරෝපය සඳහා වූ වායු තත්ත්ව මාර්ගෝපදේශයේ’ දක්වා තියෙනවා. ඒ අතර, ජල බිංදු, බැක්ටීරියා වර්ග, ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම් වැනි බැර ලෝහ, දුම්, දූවිලි, දැලි වැනි දෑ අයත්ව තිබෙනවා. මෙවැනි දෑ අතර වායු නොවන ද්‍රව්‍යමය අංශු ක්ෂුද්‍ර වායුගෝලයට ඇතුළු වීම, සැලකිය යුතු වායු දූෂණ ක්‍රමයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ දිනවල ශ්‍රී ලංකාවේ අහස වලාකුළුවලින් බර වීමටත්, සූර්යාලෝකය දවස පුරාම නොලැබි යෑමටත්, අධික ශීත දේශගුණික තත්ත්වයක් ඇති වීමටත් බලපෑවේ මේ ක්ෂුද්‍ර ද්‍රව්‍යමය අංශු වායුගෝලයට ඇතුළු වීම බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඒ අනුව දැන් පවතින වායු දූෂණය හැඳින්විය හැක්කේ වායුගෝලය වලාකුළක් ලෙස සකස් වීම සඳහා වායුගෝලයට ඇතුළු වූ ක්ෂුද්‍ර ද්‍රව්‍යමය හෙවත් අංශුමය දූෂණය (Micro Particle Air Polution) ලෙසයි. වායුගෝලයට ඇතුළුවන මේ ක්ෂුද්‍ර අංශු, පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා අංශු ලෙස වායුගෝලයේ පවතිනවා. මෙවැනි අංශුවක විශාලත්වය මයික්‍රෝ මීටර් දශම ගණනක සිට මයික්‍රෝ මීටර් 50ක් පමණ විය හැකියි. මයික්‍රෝ මීටර් එකක් යනු මීටරයෙන් දසලක්ෂයෙන් පංගුවක් හෝ මිලිමීටරයකින් 1/1000ක ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපගේ කෙස් ගසක පළල දළ වශයෙන් මයික්‍රෝ මීටර 70ක් පමණ වෙනවා. එබැවින් මයික්‍රෝමීටර 2.5 -10.0 යන විශාලත්වයෙන්, විෂ්කම්භයෙන් යුතු ද්‍රව්‍යමය අංශූන් පියවි ඇසට පෙනෙන්නේ නැහැ. එසේ වුවත් මෙහි අංශු කෝටි ගණනක් වායුගෝලයට ඇතුළු වීමෙන් පසු, වලාකුළක් ලෙස දිස්වීමේ හැකියාවක් පවතිනවා.
l වායු දූෂණය වෙන්නේ කෙසේ ද? ඒ සඳහා මානව කටයුතුවල දායකත්වය මොන වගේද?
වායු දූෂණය වීම ස්වාභාවිකවම මෙන්ම මිනිසා විසින් ඇති කරන කටයුතු මඟින් සිදු වෙන්න පුළුවන්. ස්වාභාවික ක්‍රියාවලියක් වන ගිනිකඳු පිපිරීම, සමුද්‍ර තරංග බිඳීම ආශ්‍රිතව ලුණු අංශු වායුගෝලයට එකතු වීම, දූවිලි හා දුම (ලැව් ගිනි ඇතිවීමෙන් ඇතිවන දුම) යනාදියත්, ශාක හා සත්ත්වයන්ගේ ස්වාභාවික ක්‍රියාවලිය මඟින්, අපද්‍රව්‍ය වායුගෝලයට ඇතුළු වීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම මිනිසා සිදු කරන කැලෑ ගිණි තැබීම්, දර භාවිතයෙන් ආහාර පිසීම, ගල් අඟුරු භාවිතයෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම, අධික ලෙස දුම් පිටවන රථ වාහන භාවිතය, ගල් කඩන යන්ත්‍ර භාවිතය, ගල් කැඩීම, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම හා එමඟින් ඉදිකිරීම් කටයුතු සිදු කිරීම මෙන්ම සුවඳ විලවුන් භාවිතය, විවිධාකාර තීන්ත වර්ග හා වෙනත් ස්ප්‍රේ වර්ග භාවිත කිරීම මඟින් ද වායු නොවන ද්‍රව්‍යමය අංශු වායුගෝලයට ඇතුළු වීම සිදු වෙනවා. මේ තත්ත්වය මානව කටයුතු වෙනස් වීමත්, ස්වාභාවික සංසිද්ධිවල බරපතළ පරිවර්තනයක් සිදු වන අවස්ථාවලදී බහුලවම සිදු වෙනවා. ඒ වගේම භෞතික සංවර්ධනය සඳහා වන කැලෑ ගිනි තැබීම්, බලශක්ති නිෂ්පාදනය, ඉදිකිරීම්, කෘෂිකාර්මික කටයුතු සහ ගොඩබිම, මුහුද හා ගුවන් ප්‍රවාහන කටයුතු මඟින් නිරන්තරයෙන්ම ද්‍රව්‍යමය වායු දූෂණය ප්‍රධාන වශයෙන් සිදු වෙනවා. ඒ වගේම කර්මාන්තශාලාවල සිදු කරන කටයුතුවලින් ද්‍රව්‍යමය අංශු වායුගෝලයට එකතු වීමත් සිදු වෙනවා.
l වායුගෝලීය දූෂණය නිසා මානව සෞඛ්‍යයට මෙන්ම රටේ ආර්ථිකයට ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල මොනවාද?
වර්තමානයේ අවධානයට යොමු වී තිබෙන ද්‍රව්‍යමය වායු දූෂණය (Micro Particle Air Polution) ඇති වන්නේ වායුගෝලයට දරා ගත හැකි ද්‍රව්‍යමය අංශු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළු වීමෙනුයි. සාමාන්‍යයෙන් වායු ඝන මීටරයකට මයික්‍රොමීටර් 0.1 සිට 1.00 දක්වා වූ ද්‍රව්‍යමය අංශු මයික්‍රො ග්‍රෑම් 50ක් පමණ හෝ මයික්‍රොමීටර් 2 – 50 දක්වා විශාලත්වයෙන් යුක්ත ඒවා ඝන මීටරයට මයික්‍රොග්‍රෑම් 60ක් පමණ ඇතුළු වීම පාරිසරික හෝ සෞඛ්‍යමය හෝ ගැටලු තත්ත්වයක් ඇති නොවන තත්වයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
එසේ වුවත්, වර්තමානයේ මේ අගය ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ 200-300 දක්වා ඉහළ අගයක් ගන්නවා. මෙවැනි තත්ත්වයක් යටතේ විවිධ පාරිසරික ගැටලු මෙන්ම සෞඛ්‍ය ගැටලු ඇති වීම දැනටමත් අත්දැක තිබෙනවා. පාරිසරික ගැටලු යටතේ දිවා කාලයේදී සූර්යාලෝකය නොලැබීම ආශ්‍රිත ගැටලු ප්‍රධානයි. ඒ වගේම, දින 2-3 සූර්යාලෝකය නොලැබීමෙන් අධික සීතල කාලගුණික තත්ත්වයක් ඇති වීම, ශාක වර්ධනය සීමා වීම, ශාකවල ඵල හට ගැනීම හා ඵල වර්ධනය වීම සීමා වීම, අස්වැන්නට හානි වීම, ශාකවලට ඇති වන දිලීර රෝග, කෘමි උවදුර හා ශාක විනාශ වී යෑම ප්‍රධානයි. මෙයට සමගාමීව හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ වාස භූමි හා ජීවන චක්‍රය අඩාළ වීමෙන් සෙසු පාරිසරික චක්‍ර අකර්මණ්‍ය වීම මඟින් කෙටි කාලීන මෙන්ම දිගු කාලීන පාරිසරික අසමතුලිතතාවක් ඇති වෙනවා. ඒ මඟින් ජෛව නිෂ්පාදනය හා ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකියි.
අපට පියවි ඇසින් දැකිය හැකි වූයේ සමහර ප්‍රදේශවල ගවයින්, කුකුළන්, එළුවන්, සුනඛයන් වැනි සතුන් මිය යෑම පමණි. ඒ වගේම, මානවයාට මුහුණ දීමට සිදු වන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් වෙන්නේ, වායුගෝලය තුළ ඇති ද්‍රව්‍යමය අංශු ආශ්වාස කිරීමෙන් පෙණහලුවලට ඇතුළු වීම හා පෙණහලුවලින් රුධිරවාහිනී පද්ධතියට ඇතුළු වීමයි. මේ තත්ත්වය ශ්වසන රෝග වැලඳී ඇති රෝගීන්ට, ගර්භණී කාන්තාවන්ට, කුඩා දරුවන්ට, වයෝවෘද්ධ පුද්ගලයන්ට, වෙනත් රෝගවලින් පෙළෙන අයට දැඩි ලෙස බලපෑම් ඇති කරන බව වෛද්‍යවරු පැහැදිලි කර තිබෙනවා.
මෙවැනි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ඇති වීම මඟින් ආර්ථිකයට ඇති වන ප්‍රධාන ගැටලු රැසක් තිබෙනවා. ආහාර නිෂ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව අඩු වීම, ආහාර සුරක්ෂිතතාවට අහිතකර ලෙස බලපෑම් ඇති කිරීම, මිනිසාගේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව අඩු වීම කැපී පෙනෙනවා. එමඟින් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩාළ වීමෙන්, රටේ වත්මන් හා අනාගත සංවර්ධනයට අහිතකර ලෙස බලපෑම් එල්ල වෙනවා. එසේම ද්‍රව්‍යමය අංශු, යකඩ වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවලට හානි කිරීමටත් බලපානවා. එමඟින් ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්, වාහන හා යන්ත්‍ර සූත්‍ර යනාදියේ ආයු කාලය අඩු වීමටත් විවිධ ආකාරයෙන් බලපෑම් ඇති කරනවා.
l ඉන්දියාවේ වායු දූෂණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉතාම සමීපයේ පිහිටා ඇති රටවල් දෙකක්. ඉන්දියාව හා සලකා බැලීමේදී ඉතා කුඩා දිවයින් රාජ්‍යයක්. ඉන්දියාවට දකුණින් ශ්‍රී ලංකාව පිහිටා තිබීම හේතුවෙන් හා විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ දෙවැනි අන්තර් මෝසම් දේශගුණයේ ක්‍රියාත්මක වන ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා මුදුන් වී තිබීම හේතුවෙන් පොළොවේ සිට ඉහළ වායුගෝලයට සුළං ගමන් කිරීමක් සිදු වෙනවා. මේවා සංවහන වායු දහරා ලෙස හඳුන්වනවා. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව ඔස්සේ සුළං හැමීමක් සිදු වෙන්නේ නැහැ. සුළං හැමීමේ ස්ථාවරත්වය නිසා ඉන්දියාව දෙස සිට ශ්‍රී ලංකාවට ගලා එන වලාකුළු එතරම් ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පිටතට ඉවත් වෙන්නේ නැහැ. කෙසේ වුවත් දෙසැම්බර් මස සිට පෙබරවාරි මාසය දක්වා ක්‍රියාත්මක වන ඊසාන දිග මෝසම් සුළං හේතුවෙන් ඉන්දියාව දෙස සිට ශ්‍රී ලංකාවට සුළං හැමීමක් සිදු වෙනවා. එබැවින් ඉන්දීය අර්ධද්වීපයේ පවතින වලාකුළු ශ්‍රී ලංකාව දෙසට ගමන් කිරීමක් සිදු වෙනවා. එබැවින් ඉන්දියාවට ඉහළින් පවතින අංශුමය ද්‍රව්‍ය සහිත වලාකුළු ශ්‍රී ලංකාව දෙසට පැමිණීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ලෝකයේ අනෙකුත් කලාපවලින් ඉන්දියාව දෙසට පැමිණි ද්‍රව්‍යමය වායු සහිත අංශු රැගත් වලාකුළු ද, ඉන්දියාවේම නිර්මාණය වන වලාකුළු ද, ශ්‍රී ලංකාවට ලැබීමේ හැකියාවක් පවතිනවා. එබැවින් මේ ද්‍රව්‍යමය අංශු බහුල වලාකුළු සම්බන්ධයෙන් ඉන්දියාවට ඒවා අයත් යැයි ප්‍රකාශ කිරීම හෝ නිගමනයකට එළඹීමේ හෝ සාධාරණත්වයක් පවතී ද යන්න සැක සහිතයි. එවැනි තීරණයක් ගැනීම සඳහා ගැඹුරින් විද්‍යාත්මකව අධ්‍යයනයක් සිදු කළ යුතුයි.
l ශ්‍රී ලංකාවේ වායු දූෂණය සිදු වන ආකාර හා ඊට බලපා ඇති ප්‍රධාන සාධක මොනවාද ?
ශ්‍රී ලංකාවේ වායු දූෂණය සඳහා බලපාන ප්‍රධාන සාධකය වන්නේ නිසි නඩත්තුවකින් තොරව, නිසි ප්‍රමිතියකින් තොරව අධික ලෙස වාහන භාවිතය (අධික දුම සහිත), කැලෑ ගිනි තැබීම, අපද්‍රව්‍ය ගිනි තැබීම, ප්‍රමිතියකින් තොරව දර උඳුන් භාවිතය, කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය, තාර හෝ කාපට් අතුරා නොමැති බොරලු සහිත මාර්ග භාවිතය, ගල් ඇඹරීම, සිමෙන්ති නිෂ්පාදනය හා පරිහරණය, අනාරක්ෂිත ලෙස නිවාස සහ වෙනත් ඉදිකිරීම් කඩා දැමීම ප්‍රධානයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය ආශ්‍රිත සමුද්‍රවල අධික ලෙස සමුද්‍ර තරංග බිඳීම මඟින් ද වෙනත් විවිධාකාර කර්මාන්ත ආශ්‍රිතව ද ඇති කරන අහිතකර ප්‍රතිවිපාක හා වෙනත් මානව ක්‍රියාකාරකම් මේ සඳහා බලපානවා. මානව කටයුතු මඟින් සිදු වන මේ අහිතකර තත්ත්වය ඇති වීම සඳහා බලපාන විශේෂම කරුණු දෙකක් විදියට, වායු දූෂණය වන ආකාරය පිළිබඳ මහ ජනතාව ප්‍රමාණවත් ලෙස දැනුම්වත් නොවීම හා වායු දූෂණය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති රීති පිළිනොපැදීම හඳුන්වන්න පුළුවන්.
l වායු දූෂණය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිමය හා ආයතනික සූදානම කෙසේද?
ශ්‍රී ලංකාවේ වායු දූෂණය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් හා සතුටුදායක මට්ටමේ නීතිමය හා ආයතනික රාමුවක් තියෙනවා. 1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික යුතුකම යටතේ ද 28 වන ව්‍යවස්ථාවේ ඊ වගන්තිය යටතේ ස්වභාවධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම මූලික යුතුකමක් ලෙස දක්වා තියෙනවා. එසේම 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත හා එහි සංශෝධිත පනත් මඟින් වායුගෝලයට අපද්‍රව්‍ය නිකුත් කිරීම තහනම් කර තිබෙනවා.
එසේම, 2008/08/15වන දිනයේ නො. 22/1562 දරන ගැසට් පත්‍රය මඟින් වායුගෝලීය තත්ත්ව ආරක්ෂාව පිළිබඳ විධිමත් රෙගුලාසි රැසක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ශ්‍රී ලංකා වායුගෝලයේ ගුණාත්මක ස්වභාවය කළමනාකරණය කිරීම පිළිබඳ වෙනම ඒකකයක් පිහිටුවලයි තියෙන්නෙ. එම ඒකකය මඟින් 2003 වසරේ සිට මේ දක්වා විටින් විට වායු වායුගෝලීය තත්ත්ව කළමනාකරණය සඳහා වූ ගැසට් නිවේදන 8කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මීට අමතරව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් වායුගෝලීය තත්ත්ව පරීක්ෂණය සඳහා වෙනමම අංශයක් පිහිටුවලා තියනවා. එසේම මෙරට වායුගෝලයේ විකිරණශීලී ද්‍රව්‍ය හෝ කිරණ ඇතුළත් වීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ජාතික පරමාණු බලශක්ති අධිකාරිය මඟින් දිවයිනම ආවරණය වන පරිදි පර්යේෂණ කිරීම සඳහා වූ යන්ත්‍රණයක් ස්ථාපනය කර තිබෙනවා. එසේම විවිධ රාජ්‍ය නොවන ආයතන හා විදේශීය තානාපති කාර්යාලවල වායු දූෂණය මැඬලීම සඳහා අවශ්‍ය උපකරණ සවිකර ඒවායේ නිරන්තර දත්ත ලබා ගැනීමත් මෙරට ක්‍රියාත්මක වන බව පෙනෙනවා. උදාහරණයක් ලෙස Airquality.lk , ශ්‍රී ලංකාවේ අමෙරිකන් තානාපති කාර්යාලය දැක්විය හැකියි.
l වායු දූෂණය වැළැක්වීම සඳහා නව යෝජනා මොනවාද ?
වායුගෝලය දූෂණය වීම පාලනය කිරීම තනි තනි පුද්ගලයාගේ වගකීමක්. ප්‍රධාන වශයෙන් වායුගෝලය දූෂණය වන ක්‍රියාවලින් ඈත් වීම, වාහන නඩත්තු කිරීම (නිසි පරිදි), ප්‍රමිතියකින් යුතු ඉන්ධන ආනයනය කිරීම, ගල් අඟුරු භාවිතය අඩු කිරීම හා පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම, ගුරුත්වාකර්ෂණ බලයෙන් (Neutral) වාහන ධාවනයට අවශ්‍ය කටයුතු කිරීම වැනි නව ක්‍රියාමාර්ග අත්හදා බැලීමේ හැකියාවක් පවතිනවා.
ශෂී ගමගේ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය