වඳුරු පනත (02) – (සූකර සංහාරය සහ හස්ති පරිත්‍යාගය)

වැඩිවෙන වඳුරු සහ රිළා ගහණය මර්දනය කරනු පිණිස එම සතුන් වන්ද්‍යකරණය කිරීමේ අහිංසක පැලෑනක් පොහොට්ටු මන්ත‍්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය උදෙසා ඉදිරිපත් කෙරුණු බව අපි ඊයේ මේ තීරුව මගින් ඔබට කීවෙමු. වඳ සැත්කම්වලට මුහුණදීම සඳහා වඳුරන් සහ රිළවුන් උපත් පාලන ක්ලිනික්වලට නොඑන බැවින් එකී සැත්කම වඳුරන් සහ රිළවුන් සිටින ගස් උඩදී කිරීමට බැරිය. මෙකී අහිංසක යෝජනාවේ ප‍්‍රායෝගික නොවන ගතිය පෙන්වා දෙනු සඳහා අපි සෑහෙන මහන්සියක් ගෙන පාඨකයාට ඊයේ කරුණු ඉදිරිපත් කළෙමු. මීටත් එහා කතන්දරයක් ඉදිරියේදී සිද්ධවීමට යයි. කොවිඞ් එන්නත ගැසූ බවට තහවුරු කෙරෙන කාඞ් පත සෑම කෙනෙක්ම ළඟ තබාගත යුතු බව ආණ්ඩුව කියා තිබේ. මේ කාඞ් පත ඉතා ලාභ කොලයේ අච්චු ගසන ලද අඟල් දහයක් පමණ දිග අඟල් හයක් පමණ උස ඩොකියුමන්ට් එකකි. මෙය දෙකට නවා ෂර්ට් සාක්කුවේ දමාගත නොහැකි තරමට සාක්කුව පොඩි ය. මෙය කලිසම් සාක්කුවේ තැබුවොත් නිතර නිතර අත පත ගෑමට ලක්වී දහදිය ට තෙත් වී තුන් හතර දිනක් තුළ කඩමාලූ‍ වීමට ඉඩ තිබේ. එහිදී ජනයා සතු ඊළඟ ඔප්ෂන් එක වන්නේ කාඞ් ලැමිනේට් කිරීමය. එවිට තුන්වැනි කොවිඞ් එන්නතක් දීමට සිදු වුවහොත් කාඞ් එක වැසී ඇති ප්ලාස්ටික් ලැමිනේෂන් එක මත එය සඳහන් කළ නොහැක. එබැවින් මේ යෝධ කාඞ් එක අතේ රැුගෙන යාම කිසිසේත්ම ප‍්‍රායෝගික වන්නේ නැත. අපි දැන් මේ සියලූ‍ කතන්දර පසෙක තබා සැබෑ මාතෘකාවට බසිමු.

යහපාලන ආණ්ඩුව මේ රට පාලනය කරන සමයේදී වන සතුන් වෙතින් සිදුවන වගා පාළුව ගැන ඉහළින්ම කතා කළේය. ලංකාවේ වගා බිම් ආශ‍්‍රිතව වෙසෙන සතුන්ගෙන් බහුතරය එම වගා බිම් උලා කති. උදාහරණයක් වශයෙන් වල් ඌරෝ මඤ්ඤොක්කා සහ බතල හේන් පිටින් කා දමා බෙටි ද එහිම ලා පැන යති. මුවන්ට සහ ගෝනුන්ට එළවළු පාත්ති තරම් සැප තැනක් නැත. වගා බිම් පල දරණ කාලයට ඒවාට කඩා වදින ගණනින් හාර පන්සියයක් වූ මොනර හමුදා ඒවා කා දමති. වී බිස්සට වදින වල් අලි (මෙහිදී වන අලියා යන වචනය පාවිච්චි නොකරමු. වල් අලියා වල් නම් ඌට ජංගි අන්දවනු මිස වන අලියා ලෙස නම මාරු කිරීම නිරර්ථකය) හොඬවැලෙන් වී උරා බොන්නේ අප ස්ට්‍රෝ එකෙන් සිසිල් බීම බොන්නාක් බඳුවය. මේ කරදරවලින් බේරීම සඳහා යහපාලන ආණ්ඩුවේ පෙර කී නියෝජ්‍ය ඇමතිවරයා යෝජනා කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් පළමුවැන්න අතිරික්ත අලි ඇතුන් අල්ලා පිට රටවලට තෑගී දීමය. දෙවනුව වල් ඌරන් මරා මස් විකිණීමය. ශ‍්‍රී ලංකාව තුළ වල් ඌරු මස් ප‍්‍රවාහනය කිරීම සහ විකිණීම තහනම් ය. වන සතුන්ගෙන් හිරිහැර විඳින ජනයා මේ යෝජනාව අසා දෙවරක් උඩ පැන තෙවරක් සතුට පළ කළහ. එහෙත් සත්ත්ව හිංසන විරෝධී ප‍්‍රජාව දස වරක් උඩ පැන විසි වරක් මෙයට විරුද්ධ වූහ. අන්තිමේදී විරුද්ධවාදී කොටස්වලට ගලවාගෙන යාමට නොදී, ඇමතිතුමා සිය බෙල්ල බේරාගත්තේ මහත් අමාරුවෙනි.

ඉහත සඳහන් වඳුරු පනතේදීත්, අලි පරිත්‍යාග හා සූකර ඝාතන පනතේදීත් විශාල වරදක් සිදුවී තිබේ. ඒ වූකලී ප‍්‍රශ්නයේ මුල අමතක කර අගින් අල්ලා සොලවා සොලවා සිටීමය. මේ රට තුළ වැඩි වී ඇත්තේ වන සත්ව ගහණය නොව මනුෂ්‍ය ගහණය ය. වැඩිවී ඇත්තේ වන සතුන්ට වාසය කිරීම පිණිස ඇති වනාන්තර නොව අලූ‍ත් ජනාවාස සහ ගොවි බිම්ය. මේ අනුව සියලූ‍ වන සතුන් එක්වී මේ රටේ අතිරික්ත ජනගහනය අල්ලා පිට රටවලට පරිත්‍යාග කළ යුතුය. සියලූ‍ වල් ඌරන් එකතු වී මනුෂ්‍යයින් මරා මස් විකිණිය යුතුය. එහෙත් ශ‍්‍රී ලංකාව තුළ මිනී මැරීම සහ මිනී මස් ප‍්‍රවාහනය යන දෙකම තහනම්ය. මෙතැනින් එහාට කිසිවක් කීමෙන් වැඩකුත් නැත.

Chandana Sesath Jayakody

Read Previous

පරිසර දූෂණයවන පරිදි කැළිකසළ බැහැර කරන ආයතනවලට නඩු

Read Next

බඩවියත රැකගන්න නෙළුම් අල හාරන සිත්තරගම මිනිස්සු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »