වනජීවින්ගේ චර්යා රටා ලෝකයට පෙන්වන මිනිසෙකුගේ ඇසින්…

තිස්ස ගුණතිලක – divaina.lk

සත්වයින් විවිධාකාරයි. සත්ව ලෝකයේ හැසිරීම් පුදුමාකාරයි. උන්ගේ චර්යා රටාවන් දෙස දෑස් දල්වා බලා ඉන්න ආසයි. කොටින්ම කිව්වොත් ඒක හිතට හරි රහයි. මහා වනාන්තරයක, ලවණාධික කළපුවක එහෙමත් නැත්නම් වන ජීවීන් ගැවසෙන පරිසර පද්ධතියක මේ සත්වලෝකයේ චර්යා රටාවන් කැමරාවට හසුකර ගන්න වනජීවී ඡායාරූප ශිල්පියෙක්ට ඒක කොහොම දැනෙනවා ඇත්ද?

මම කියන්නෙ ඒක භාවනාවක්

වනජීවී ඡායාරූපකරණය ගැන එහෙම කිව්වෙ අපේ රටේ වනජීවී ඡායාරූපකරණයේ ජ්‍යෙෂ්ඨයකු වන ප‍්‍රසාද් හපුආරච්චි. විසිපස්වසරකට වඩා වනජීවී ඡායාරූපකරණයේ අද්දැකීම් ඇති ප‍්‍රසාද් හපුආරච්චි මේ අපූරු කලාව විද්‍යාත්මකව අල්ලගත්තු ඡායාරූප ශිල්පියෙක්. වනජීවී ඡායාරූපකරණයේ අප නොදන්න අහුමුලූ රස මුසු තැන් ගැන හරි අපූරු කතා කියන ඔහුගේ අද්දැකීම් මේ පොළවේ ජීවත්වෙන ඕනෑම මනුෂ්‍යයකුට වැදගත් වන මොහොතක් ජීවිතයේ කවදා හෝ ලැබෙන්න පුළුවන්.

වනජීවින්ගේ චර්යා රටා ලෝකයට පෙන්වන මිනිසෙකුගේ ඇසින්…

ඡායාරූපකරණය කියන්නෙ ආලෝකයෙන් ඇඳීම. වන ජීවී ඡායාරූප ශිල්පියෙක්ට ඒක කොයි තරම් අභියෝගාත්මකද කියන එක වටහාගන්න මහ වනාන්තරයටම වැදෙන්න කැමරාවක් අටවන්න අවශ්‍ය නෑ. එවැනි ඡායාරූප ශිල්පියෙකුට හමුවන වස්තුබීජයත්, ආලෝකයවත් ඔහුට කිසිම මොහොතක පාලනය කළ නොහැකි දෙයක්. කළ හැකි එකම දේ වන්නේ ඡායාරූප ශිල්පියා පවතින තත්ත්වයට අනුගත වී ඡායාරූපය ලබාගැනීම. හැබැයි වනජීවී ඡායාරූප කිව්ව ගමන් ලොකු සතෙක්ගෙ අලියෙක්, කොටියෙක්, මුවෙක්ගෙ වගේ ඡායාරූපයක් ගත්තාම ඒක තමා වයිල්ඞ් ලයිෆ් ෆොටෝග‍්‍රැෆි කියල බොහෝ දෙනෙක් හිතන්නෙ. වයිල්ඞ් ලයිෆ් ෆොටාග‍්‍රැෆර් කෙනෙක්ට පොළවේ ඉන්න ගැඩවිල් පණුවගෙ ඉඳන් සද්ධන්ත අලියා දක්වාම සත්තු ටික ඡායාරූප කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. හරියටම කිව්වොත් ගොඩබිමේ ජීවත්වන සත්තු විතරක් නෙවෙයි මුහුදෙ ඉන්න සත්ව ප‍්‍රජාවත් අයත් වෙන්නෙ වනජීවීන්ට. ඒත් දැන් ඒකට වෙනම නාමයක්ද හදාගෙන තියනව. ‘අන්ඩර් වෝටර් ෆොටෝග‍්‍රැෆි කියලා. ඇත්තටම සියයට හැත්තෑපහක් ජීවීන් ඉන්න මහ මුහුදේ ඒ සත්වයන් ඡායාරූපකරණය කරන ඡායාරූප ශිල්පීන් ඉන්නෙ සියයට එකකටත් වඩා අඩුවෙන්. වයිල්ඞ් ලයිෆ් ෆොටෝග‍්‍රැෆි ගැන කතා කරද්දී මේ ටික නොකියාම බැහැ කියලයි ප‍්‍රසාද්ගෙ අදහස.

ඒ කොහොම නමුත් වනජීවී ඡායාරූපකරණය කියන්නෙ අපේ හරියට පැෂන් එකක් වගේ. එහි නිරත බොහෝ දෙනක් තමන්ගෙ ආතතිය දුර කරගන්න විසඳුමක් විදියට තෝරාගන්නෙ වනජීවී ඡායාරූපකරණය. එහෙමත් නැත්නම් සමාජයේ කැපීපෙනෙන චරිතයක් වීමට සමාජ මාධ්‍ය මෙවලමක් කරගෙන තවත් සමහරෙක් වනජීවී ඡායාරූපකරණයට එනවා. ඒත් ඒක නිවැරැදිද?

‘නැහැ. ඒක බොහොම වැරදි සහ හානිදායකයි. ප‍්‍රසාද් කියනවා.

වනජීවින්ගේ චර්යා රටා ලෝකයට පෙන්වන මිනිසෙකුගේ ඇසින්…

වනජීවී ඡායාරූප ශිල්පියෙක් කියන්නෙ ඊට වඩා විශාල කාර්යභාරයක් උරමත දරා සිටින්නෙක්. අපි කැලයකට ගිහාම හිත එක අරමුණක තියාගෙන කරන්නෙ එක්තරා භාවනාවක්. ‘‘විව් ෆයින්ඩර්’’ එකට ඇහැ තියාගෙන ‘සබ්ජෙක්ට්’ එක දිහා බලාගෙන ඉන්න නියම වනජීවී ඡායාරූප ශිල්පියෙක්ට බාහිර ලෝකයේ කිසිදෙයක් ඔළුවට එන්නෙ නෑ. ඔළුවට එනව නම් එන්නෙ කොහොමද මම ‘‘ෆේම්‍්‍ර’’ එක හදාගන්නෙ. සතාගෙ මොන කි‍්‍රයාවද මම ඡායාරූපයට ගන්නෙ. ඊළඟ මොහොතෙ සතා මොනවගේ දෙයක් කරයිද කියන එකත් මම හිතින් චිත‍්‍රණයට නගා ගන්නවා. හැම තිස්සෙම සතාගෙ ඊළඟ මොහොත හිතින් චිත්තරූප මවාගනිමින් තමයි අනෙක් ‘‘ෂොට්’’ එකට සූදානම් වෙන්නෙ. ඊළඟ නිමේෂය ගැන කළින් හිතල කැමරාවෙ ‘‘සෙටින්ස්’ ටික හරිගස්ස ගන්න පුළුවන් නම් තමා හොඳ ඡායාරූපයක් ලැබෙන්නෙ.’

ලංකාවේ කැමරාවක් තියෙන කෙනෙක්ට වනජීවී ඡායාරූප ශිල්පියෙක් කියල ටයිටල් එකක් හදාගන්න පුළුවන් වුණාට මේ දූපතෙන් එහා ලෝකයේ ඒක ඊට බොහොම වෙනස්. විදේශ රටක නම් වනජීවී ඡායාරූප ශිල්පියෙක් වන තැනට පත්වෙන්න සත්ව හා ශාක විද්‍යාව ගැන අවබෝධයක් තිබීම අනිවාර්ය කාරණයක්. ශාක ගැන ගස් ගල් ගැන පරිසර පද්ධති ගැන වගේම සතුන්ගෙ චර්යා රටා දැනගැනීමත්, වනජීවී ඡායාරූපශිල්පියෙක්ට වැදගත්. ඒත් මේ රටේ ‘පූලොජි’’ ‘බයෝලොජි’’ දැනගෙන කවුද වයිල්ඞ් ලයිෆ් ෆොටොග‍්‍රැෆි කරන්නෙ. සල්ලි තිබ්බ නම් කැමරාවක් ගන්නවා. යාලට නැත්නම් විල්පත්තුවට යනවා. පිංතූර ටිකක් ගන්නවා. ඒක සමාජ මාධ්‍ය ජාලයක දානවා. එදා ඉඳල ඔහු වනජීවී ඡායාරූපශිල්පියෙක්ට අඳිනවා. මේ වෙනස් වෙන්න ඕන කියන එකයි ප‍්‍රසාද්ගේ අදහස.

වනජීවින්ගේ චර්යා රටා ලෝකයට පෙන්වන මිනිසෙකුගේ ඇසින්…

‘‘සතාව දැනගෙන හිටියොත් උන් මොනවගේද උන්ගේ පුරුදු මොනවද කියල දැනගෙන හිටියොත් අපිට ඒ සතා ගැන ආකල්පයක් හැඟීමක් තියෙනවා. ඒත් මේවා ගැන අවබෝධයක් නැතිව අපේ රටේ නිර්විෂ සර්පයන් කොච්චර මරනවාද? ඒ වුණාට ඒ සත්වයන් අපේ ජෛව විවිධත්වය සමතුලිතව තියාගන්නඑක කොච්චර වැදගත්ද. මේ හැම සතෙකුටම සොබාදහම ඇතුලේ වෙනමම කි‍්‍රයාවලික් තියෙනවා. වනජීවී ඡායාරූප ශිල්පියෙක් කියන්නෙ සතෙක්ගේ ‘‘පොට්රේට්’’ එකක් අරගෙන මොකේ හරි පළ කරන කෙනාම නෙමෙයි.

ඒ ඡායාරූප එක්කම ඒ සත්වයාගෙන් පරිසරයට තියෙන හානියත් පරිසරයෙන් සත්වයාට තියෙන හානියත් අරගෙන ඒක සමාජගත කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනෑ. ගොඩක් දෙනෙක් වරද්ද ගත්ත තැනක් තමයි සත්තු ජීවත්වන කැලයකට ගිහින් ඒක තමන්ගෙ ගෙදර වගේ හැසිරෙන එක. කැලයකට යද්දී ගැළපෙන ඇඳුම් ඇඳීම අනිවාර්යයෙන් වැදගත්. බොහෝ දීප්තිමත් ඇඳුම් ඇඳන් ගියොත් සත්තුන්ට ඈතදීම අපිව පේනවා. හැම සතෙකුටම තියනවා ආරක්‍ෂක ප‍්‍රදේශයක්. පිටස්තරයෙක් ඒකට ඇතුල්වෙනවා දැක්කොත් සත්තු කලබල වෙනවා. එතනදී ප‍්‍රබල සතෙක් නම් ආක‍්‍රමණිකයාට පහර දෙනවා. දුර්වල සතෙක් නම් පලා යනවා. ඒ නිසා පරිසර පද්ධතියේම කොටසක් විදියට පේන ඇඳුම් කැලයට යද්දි වැදගත්. එහෙම නොවුණොත් වෙන දේට මම ආසන්න උදාහරණය කියන්නම්.

මේ ලංකාවට සංචාරක කුරුල්ලො පැමිණෙන වසන්තය. පාන්දර පහේ ඉඳන් කැමරා ශිල්පීන් බිම දිගාවෙලා කුරුල්ලන්ගෙ චර්යා රටා ඡායාරූපයකට ගන්න බලා සිටියදී රතුපාට ඇඳගත්තු කෙනෙක් ඔය කුරුල්ලො බලන්න ඔතෙන්ට ආවොත් අර කුරුල්ලො ටික ඉගිලෙනවා. උදේ ඉඳලා බඩගාගෙන ඉඳල පිංතූරය ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඒ වගේ දෙයක් වෙනකොට ඡායාරූප ශිල්පියෙක්ට මොනවගේ දෙයක් දැනෙන්න පුළුවන්ද? එහෙම දෙයක් නොවෙන්න සත්තුන්ගෙ චර්යා රටා ගැන පොඩි හෝ අවබෝධයක් තියෙන්න ඕනෑ.

වනජීවින්ගේ චර්යා රටා ලෝකයට පෙන්වන මිනිසෙකුගේ ඇසින්…

එහෙම චෝදනාවක් කළ ප‍්‍රසාද් අපේ සමාජයේ සුලබව සිදුවන සිදුවීමක් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකළ යුතු කරුණක් ගැන කතා කළා.

කතරගම යන අපේ මිනිස්සු පූජාව තියල දහයට විතර යාලත් ගිහින් එමු කියල ඔන්න යාලට යනවා. යාලට ගිහින් කැලේ ඇතුළෙ වටේට කැරකිල කැරකිල යාලෙ කපුටෙක්වත් නෑනෙ කියල එළියට එනවා. හැබැයි ඔය සෆාරි ජීප් වල කැලයට සත්තු බලන්න යන කී දෙනෙක් සුවඳ විලවුන් ගහල ඉන්නවද? ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. ඉව කියන්නෙ සත්තුන්ට ප‍්‍රබලව තියෙන දෙයක්. මිනිස්සු සුවඳ විලවුන් ගහල කැලයට ගිහාම හුළඟත් එක්ක ඒ සුවඳ ගිය ගමන් සත්තු ඈත් වෙනවා. මොකද උන්ට ඒ සුවඳ ආගන්තුකයි.

අනික සත්තු හිරු එළිය දැඩි වෙද්දී වදුල් අස්සට වදිනවා. රාත‍්‍රිය පුරාම නිරාහාරව ඉඳල උන් එළියට එන්නෙ හිරු එළිය වැටීගෙන එද්දීම. ඒ ආව ගමන් කරන්නෙ අව් රශ්මිය තද වෙන්න කලින් උන්ගෙ ආහාර හොයාගන්න එක. ඉතින් දවල් වෙද්දි සත්තු පේන්නෙ නෑ තමයි.

වනජීවින්ගේ චර්යා රටා ලෝකයට පෙන්වන මිනිසෙකුගේ ඇසින්…

වනජීවී ඡායාරූපකරණයේදී ප‍්‍රසාද්ගේ ඇස වැඩි වශයෙන් අල්ලාගෙන තියෙන්නෙ කුරුලූ ලෝකයේ ක‍්‍රියාකාරකම්, උන්ගෙ හැසිරීම් ගැන ඔහුට තිබෙන්නෙ හරිම සුන්දර අද්දැකීම් සම්භාරයක්. පෝරුකෑදැත්තා ලොකු හොටයක් තියෙන කුරුල්ලෙක් උන් ජීවත්වෙන්න හදාගන්නෙ ගහක ලොකු බෙනයක්. ලොකුවට බෙනේ හාරගෙන ඌ ඒකට ගියත් බෙනේ කට විශාල වීම උගේ ජීවිතේට තර්ජනයක්. ඒකෙන් විලෝපිකයකුට ඇතුළුවෙන්න පුළුවන්. මේ තර්ජනය නැති කරගන්න කිරිල්ලි කරන්නෙ බෙනේ ඇතුළෙ ඉඳගෙන ඌගේ වසුරුවලින් ටික ටික බෙනයේ කට සිදුර පොඩි වෙනකන් වහන එක. තමන්ගෙ පැටව් එළියට එනකන්ම ඌ ඒකෙ ඇතුළෙ ඉඳන් කරන්නෙ බිත්තර රකිනක එක. ඒ මුළු කාල සීමාවෙම කෑම හොයාගෙන කිරිල්ලිව පෝෂණය කරන්නෙ කුරුල්ලා. සොබාවික විපතකින් හරි අනතුරකින් හරි කුරුල්ල හරි කිරිල්ලි හරි මැරුණොත් ජීවිත කාලෙම ඌ ජීවත්වෙන්නෙ තනියම. උන්ගෙ මේ පේ‍්‍රමණීය බැඳීම මිනිස් කුටුම්බයක බැඳීම ඉක්මවා යන්නක්.

මේ ලෝකයේ අපමණ වූ සත්වයන්ගෙ එවැනි සුන්දර චර්යා රටාවන් වනජීවී ඡායාරූප ශිල්පියෙකුට වුවත් දැනගත හැක්කේ ජීවිතයේ එක් වතාවක්. ප‍්‍රසාද් එවැනි විරල අද්දැකීමකට මුහුණ දෙන්නෙ විල්පත්තුවේ වනාන්තරයේදී.

‘‘මම විල්පත්තුවේදී ගත්තා වයිට් බෙලි සී ඊගල් දෙන්නෙක්ගෙ අමුතු හැසිරීමක දුර්ලභ ඡායාරූපයක්. එක රාජාලියෙක් කෝටුවක් අල්ලගෙන උඩට පියඹා ගියාම අනිත් රාජාලියත් ඌත් එක්කම කෝටුව අල්ලාගෙන කරණම් ගහගෙන පොළව ආසන්නයට පාත්වෙනවා. බිම වදින්න ඔන්න මෙන්න කියල ආයෙත් ඉහළ ආකාසයට පියාඹනවා. හරියට ගුවන් කරණම් සංදර්ශනයක් වගේ. ආයෙත් එකෙක් උඩටම ගියින් කෝටුව අතහැරියම අනෙකා කෝටුව බිමට වැටෙන්න නොදී අල්ලගන්නවා. මේ දර්ශනය හරිම ලස්සනයි. ඒකෙ එක අවස්ථාවක් තියෙනවා දෙන්නා දෙපැත්තෙන් පියාඹාගෙන ඇවිත් එක මොහොතක් නතර වෙලා පල්ලෙහාට වේගයෙන් පියාඹන මොහොතක්. මේ දර්ශනයේ දෙන්න උඩදී මොහොතක් නතර වෙන එක ඡායාරූපයට ගන්න මට පුළුවන් වුණා. මේ පිංතූරය ගැන බොහෝ දෙනෙක් කතා වුණා. සමහරු කිව්වා මේක ෆොටෝ ෂොප් කරල කියල. තව සමහරු කිව්වා එඩිට් එකක් කියලා. ඒත් හොඳ වෙලාවට ඡායාරූපයේ ‘‘රෝ ෆයිල්’’ එක මගේ ළඟ තිබුණා. මේ කුරුල්ලො දෙන්නා මෙතන කරේ එක්කො අනඟ රංගනයක්. එහෙම නැත්නම් මේ දෙන්නගෙ සටනක්. ඉතින් මේ වගේ ඡායාරූපයක් ගන්න ලැබෙන්නෙ ජීවිතේටම එක වතාවක් වෙන්න පුළුවන්. මොකද ඒ අවස්ථාව, ආලෝකය ඡායාරූප ශිල්පියාගේ ඒ සූදානම ක්‍ෂණික පෙර සූදානම මේ ඔක්කොම ඒක මොහොතක වෙන්න ඕන.’’

අලි කොටි වලස්සු වගේ කැලයේ ඉන්න විශාල සත්වයන් ඡායාරූපයට නගනවාට වඩා කුරුල්ලන් වැනි කුඩා සතුන් ඡායාරූපයට ගැනීම විශාල අභියෝගයක් බවයි ප‍්‍රසාද්ගෙ අදහස. කුරුල්ලන් මී මැස්සන් වැනි කුඩා සතුන් කියන්නෙ ඉක්මන් චලනයක් සහිත සතුන්. සත්වයන්ගෙ හැසිරීම් රටා ගැන අවබෝධයෙන් කැලයකට යන කෙනෙක්ට කිසිදාක අනතුරක් විය නොහැකියි කියලයි ප‍්‍රසාද්ගෙ අද්දැකීම් වලින් කියැවෙන්නේ. නමුත් වනාන්තරයේදී ඇඟ හිරි වැටෙන ජීවිතයේ අමතක නොවන සිදුවීම් ඔහුගේ ගිණුමෙ නැතිවාම නොවෙයි. මේ සිදුවීම වෙන්නෙ යාල වනාන්තරය මැද කෑම්පින් සයිට්’’ එකක් කළ දිනයකදී. ඔවුන්ට රැය පහන් කරන්න වෙන්නෙ වනාන්තරයෙ විවෘත පරිසරයක. වනසතුන්ගෙන් ආරක්‍ෂා වෙන්න තැඹිලි කෝම්බවලින් හදපු භූමිතෙල් පන්දම් ටික වෙලාසනින්ම ආව අඳුර පලවා හරිමින් පත්තු වෙන්න ගන්නවා. මහා වනාන්තරය වුණත් පන්දම්වලින් වටවුණු භූමිය ආරක්‍ෂිතයි. කණුවකට බරවුණු ප‍්‍රසාද් යළි අවදිවෙන්නෙ යාන්තම් හිරු එළිය වැටීගෙන එන හිමිදිරියේ. අවදිවුණු ගමන් ඔහු දකින්නෙ ඔහු නින්දට ගිය තැන වැලි පොලොවේ දශමයක්වත් නොවෙනස්වුණු දිවියෙක්ගෙ පා සලකුණු. ප‍්‍රභාත් සමඟ එදා සිටි සියලූදෙනාම මේ ගැන විමසිල්ලෙන් බලද්දි ඔවුන් දකින්නෙ ඊට මද දුරකින් ඇති ගල්තලාවේ දිගාවී සිටින දිවියෙක්ගෙ දසුනක්. රාත‍්‍රියේ පැමිණි සුළඟ නිසා පන්දම් නිවී ගිය පසු මේ විලෝපික සත්වයා ගමන්කර තිබෙන්නෙ හරියට ඔවුන්ගෙ ඇඟේ ගෑවී නොගෑවී මෙන්. එය වනජීවී ඡායාරූපකරණයට ගොස් ඔහු අදටත් මවිත කරන සිදුවීමක් බව ප‍්‍රසාද් කියනවා.

වනජීවින්ගේ චර්යා රටා ලෝකයට පෙන්වන මිනිසෙකුගේ ඇසින්…

ඔහු අවසානයේ කතා කළේ වනජීවී ඡායාරූප කලාවේ ඇතැමුන් කරන කූඨ ප‍්‍රයෝග ගැන.

‘‘වනජීවීන්ගෙ චර්යාරටාවන්ට ඇලූම් කරන ‘රස විඳින ඡායාරූප ශිල්පියෙක් කවදාවත් සම්මාන සහතික බලාගෙන ඡායාරූප ගනියි කියල හිතන්න අමාරුයි. තරගයක් දිනන්න නම් හැම මොහොතකම පුදුම දනවනසුලූ ඡායාරූපයක් ගන්න ඕන. මම දැකල තියෙනවා ඒක ගන්න සමහරු ඒවගේ මොහොතවල් කෘත‍්‍රීමව නිර්මාණය කරනවා. උදාහරණයක් කියන්නම්. බත්කූරෙකේව නෙට් එකක් දාල අල්ලල, ඌව ගම් ටිකක් ගාල ගහේ අලවනවා. ඊට පස්සේ විල්පත්තුවේ ඉන්න කැමිලියොත් ගෙනල්ලා බත්කූර ඉන්න අත්තක් උඩ තියනවා. කැමිලියොත් බත්කූරා දැක්ක ගමන් කරන්නෙ අත්ත දිගේ හෙමින් හෙමින් ඇවිත් දිව එළියට විදල බත්කූරව අල්ලගන්න එක. ඒ අල්ල ගද්දිම සට සට ගාල අවශ්‍ය ඡායාරූප ටික ගන්නවා. මේක ‘‘සෙටප් එක’’ හදල සම්මාන ගන්න කරන වැඩක්නෙ. ඒක ස්වබාවයෙන්ම වෙන වෙලාවක ගත්ත ඡායාරූප නොවෙයිනෙ. හැබැයි ඒ වගේ ඡායාරූප හොයන්න පුළුවන්. එහෙම ඡායාරූපයක් තරගයකට එවා තිබුණා. ඒක‘රෝ ඉමේජ්’’ එක ගෙනල්ල සූම් කරල බලපුවාම බත්කූර හිටපු තැන බත්කූරගෙ කකුල් තියෙනව කෝටුවේ. අලවපු නිසා කෝටුවේ කකුල් කෑලි ඇලවිලා. නමුත් සොභාවයෙන්ම මේක සිදුවුණා නම් කැමිලියොත් සතා ගත්තාම කොයි වෙලාවකටත් කෝටුවේ කෑලි ඉතුරුවෙන්නෙ නෑ. සතා පිටින්මයි ඌ දිව දාලා ඇදල ගන්නෙ.’’

ප‍්‍රසාද් කියන්නෙ ආචාර්ධර්ම සුරකින වනජීවී ඡායාරූපකරණය මෙවැනි දේ නිසා ඈත්වෙමින් පවතිනවා කියලයි. ඒත් සත්ව ලෝකයේ කුහුල දනවන චර්යා රටා විඳගැනීමට නම් ඒ ලාභදායි සිතුවිලිවලින් ඈත්ව වනාන්තරගත වෙන්න ඕන. උන්ගෙ දුර්ලභ හැසිරීම රටා සමාජය හමුවේ විවරණය කිරීමේ ඡායාරූපයක් කරන්න නම් ඒ මොහොත එළඹෙන තෙක් ප‍්‍රසාද් මේ ලිපිය මුලදී කිව්වා සේම භාවනායෝගී විය යුතුමයි.

වනජීවින්ගේ චර්යා රටා ලෝකයට පෙන්වන මිනිසෙකුගේ ඇසින්…

තිස්ස ගුණතිලක

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

හෙට සිට යළි විදුලි අර්බුධයක්

Read Next

Current food inflation in Sri Lanka: Causes and consequences

Leave a Reply

Your email address will not be published.

Translate »