වගාවේ පුස් රෝග මර්දනයට රසායනික දිළීර නාශක එපා

* දේශීය ට‍්‍රයිකොඩර්මා දියරය දැන් දිළීර නසන්න සූදානම්…
* රසායනික දිළීර නාශකවලට විකල්පයක්
* දිළීර ප‍්‍රභේදය සොයාගත්තේ අපේම පසෙන්
* වසර විස්සක් තිස්සේ කළ පර්යේෂණ පලදරයි


අතීතයේ ජීවත්වූ ගොවි ජනතාව වගාවට හානි පමුණුවන ක්ෂුද්‍රජීවීන් යනුවෙන් ජීවී කොට්ඨාසයක් ගැන දැන සිටියේ නැත. ඔවුන්ගේ අවධානය වැඩිපුර යොමුවී තිබුණේ පහසුවෙන් ඇසට පෙනෙන කෘමීන් හා පණුවන් වැනි සතුන්ගෙන් සිදුවෙන උවදුරු වළකාලීමටයි. එහිදීද හානියට ප‍්‍රතිකාර කරනවාට වඩා හානිය වැළැක්වීමට වැඩියෙන් උනන්දු වූ බවක් පෙනෙන්නට තිබේ. කෘමි සතුන් අහුලා කන්නට කුරුල්ලන් කැඳවීම, ගිනිමැල  ගසා කෘමීන් පලවා හැරීම ආදී ක‍්‍රමවලට ඔවුන් වැඩි වැඩියෙන් යොමුව තිබුණේ මේ නිසාවෙනි. ඉන් ඔබ්බට වෙනත් ආකාරයේ වගා හානියක් දුටුවත් එය පැහැදිලි කරගත හැකි ඥානයක් නොමැති වූ නිසාවෙන්, එවැනි දෑ බොහොමයක් එවකට අතහැර දමන ලදී.

ට්‍රයිකොඩර්මා දිලීරය අන්වීක්‌ෂයෙන්

එසේ නමුත් විද්‍යාවේ දියුණුවත් සමග අන්වීක්ෂය සොයාගැනීමත්, ක්ෂුද්‍රජීවීන් පිළිබඳ තිබෙන දැනීම වර්ධනය වීමත් සමග එතෙක් දැන නොසිටි ශාක රෝග ගණනාවකට නිශ්චිත හේතු අනාවරණය කරගන්නට සමාජයට හැකිවුණි. ඒ වෙනුවෙන් වූ ප‍්‍රතිකාර ක‍්‍රමෝපායයන්ද වැඩි දියුණු වුණි. කැලේ නහන්න කැලේ ගහක්ම වුවමනායි යනුවෙන් අප දන්නා ප‍්‍රස්තා පිරුළක් තිබේ. තම වර්ගයාගේ විනාශය තමුන්ගේම කෙනෙකු අතින් සිදුවූවිට එය වඩාත් පැහැදිලිව සිතට දැන්වීම සඳහා මෙම පිරුළ අප භාවිතා කරන්නෙමු. බෝග වර්ග බොහොමයකට වැළඳෙන දිලීර රෝග ගණනාවක් සමනය කරන්නට හැකි දිලීරයක් පිළිබඳව කෙරෙන විස්තරයකට මේ ප‍්‍රස්තා පිරුල හොඳටම  ගැළපෙන්නේය. මේ සම්බන්ධයෙන් වූ පර්යේෂණ කටයුතු අරඹා දැන් වසර 20 කටත් වැඩිය. කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් තොරව කෙරෙන ගොවිතැනක් වෙතට බොහොමයක් මංමාවත් මේ වනවිට විවෘතව තිබෙන බැවින්, මෙතරම් දිගු කාලයක් තිස්සේ කළ පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵල ප‍්‍රසූත කරන්නට නියම කලවයස එනතුරු සොබාදහම කල්මරුවාදැයි සිතෙන තරම්ය.

ට‍්‍රයිකොඩර්මා (Trichoderma) යනු පසෙහි ජීවත්වෙන දිළීරයකි. මෙම ගණයට අයත් විශේෂ  ගණනාවක් ලෝකය පුරා විසිරී පවතී. මෙරට පසෙහි ජීවත්වෙන ට‍්‍රයිකොඩර්මා සාමාජිකයන් පරීක්ෂා කරමින් ට‍්‍රයිකොඩර්මා ඇස්පෙරෙල්ලම් (asperellum) නමැති විශේෂයට අයත් මේ මාදිලිය සොයාගෙන වෙන්කරගනු ලැබුවේ ගන්නොරුවේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පැළෑටි ව්‍යාධි විද්‍යාඥයෙක් වන ආචාර්ය ආර්. ජී. ඒ. එස්. රාජපක්ෂ විසිනි. මෙම මාදිලියේ විශේෂ ලක්ෂණයක් වන්නේ වෙනත් දිළීර වර්ග මත පරපෝෂිතව යැපෙන්නට මෙයට හැකිවීමයි. ඒ අනුව, බෝග ශාක පත‍්‍ර මත ගැවසෙන්නට ට‍්‍රයිකොඩර්මා ට ඉඩ දුනහොත් ව්‍යාධි ජනක දිළීරයන් ඒ අසලට පැමිණි කල මේ මගින් ඔවුන්ව ගොදුරු කරගනු ඇතැයි යන උපකල්පනය යටතේ පර්යේෂණ වැඩසටහන දියත් කර තිබේ.

ආචාර්ය ආර්. ජී. ඒ. එස්. රාජපක්ෂ

 ‘‘අපිට පුළුවන් වුණා මේ දිළීර මාදිලිය පසෙන් වෙන්කරගෙන කෘතිම මාධ්‍යයක වගාකරලා එහි රූපීය ලක්ෂණ හදාරන්න. මෙය වෙනත් දිලීර මත පරපෝෂිතයි. ඒ නිසා ශාකයක් මතට මෙම දිලීරය හඳුන්වා දුන් පසු එය වේගයෙන් ශාකය මත පැතිරෙනවා. ඒත් ශාකයට කිසිදු හානියක් නැති බව අප ස්ථිර කරගත්තා. රෝග බෝකරන දිළීර, ශාකය මතට පැමිණිවිට එය මත ට‍්‍රයිකොඩර්මා පෝෂණය වෙනවා. ඒ නිසා රෝගකාරක දිලීරයට ඉන් ඔබ්බට පැතිරෙන්න බෑ.”

 රාජපක්ෂ මහතා දිළීරයේ හැසිරීම ඉතා සංක්ෂිප්තව හඳුන්වා දුන්නේ එලෙසින්ය. මා ඔහුගේ විද්‍යාගාරයට  යනවිට එහි මේසයක් මත තබා තිබුණේ දුඹුරු පැහැ ප්ලාස්ටික් බෝතල් ගණනාවකි. ඒවාහි යම් දියරයක් පුරවා බෝතල්වලට මුද්‍රා තබා තිබුණු අතර, ඔහු ඒවා හඳුන්වා දුන්නේ ගොවීන් අතට සාම්පල වශයෙන් ලබාදීමටත්, පර්යේෂණ ක්ෂේත‍්‍රයේ තවදුරටත් අධ්‍යයනය කිරීමටත් සෑදු ‘‘දිළර දියර” බෝතල් වශයෙනි. දුඹුරු පැහැ බෝතල්වල අසුරන්නේ නම් මෙම ද්‍රාවණය වසරකට වඩා වැඩි කාලයක් සක‍්‍රිය තත්ත්වයේ තබාගත හැකි බව හෙතෙම පවසයි. මෙහි ඇති දියරයේ මිලි ලීටරයක දිලීර බීජානු මිලියනයක් පමණ අන්තර්ගත වන අතර ද්‍රාවණයෙන් මිලි ලීටර් 10 ක් නොහොත් තේ හැඳි දෙකක ප‍්‍රමාණයක් ජලය ලීටරයක දියකර වගාවට යෙදීම ප‍්‍රමාණවත් වේ. මෙලෙසට බෝගයේ පත‍්‍ර මත පතනය වන දිලීර බීජානු ප‍්‍රරෝහණය වී දිළීර ජාලයක් නොහොත් ‘පුස්’ ගොන්නක් ශාකය මත වේගයෙන් පැතිරී ගියත්, පාන් කැබැල්ලක් පුස්කනවා මෙන් පෙනුමක් අපේ ඇසට හසුවෙන්නේ නම් නැත. දිළීර ජාලය ශාකය තුළට ඇතුල්වන්නේද නැත. එසේනම් මෙය වනාහී බෝග පත‍්‍රමත සැඟවී සිටිමින් බෝගය රකිනා මුරකරුවෙකි. තමා අවට රැඳෙමින් වර්ධනය වීමට වෙනත් දිලීරයක් උත්සාහ ගන්නේ නම් ට‍්‍රයිකොඩර්මා විසින් වහාම එය ගොදුරුකර ගනී.

 ”ඔය හේතුව නිසා බෝගයේ ළපටි අවධියේ ඉඳලාම මෙම දිළීර ද්‍රාවණයේ ප‍්‍රතිකාරය ලබාදිය යුතු වෙනවා. තවත් දිලීරයක් ඇවිත් ශාකය තුළට ඇතුල් වුණොත් මෙයාට කරන්න දෙයක් නෑ. මොකද මෙයා පත‍්‍ර තුළට රිංගන්නේ නැති නිසා. කවුරු ආවත් මතුපිට තැන්පත් වෙලානේ ඇතුළට යන්නේ. අන්න එතනදී අල්ලා ගැනීමට ට‍්‍රයිකොඩර්මා හැම තිස්සෙම අවට ඉන්න ඕනෑ. ඒ නිසා අපි නිර්දේශ කරන්නේ සතියකට පමණ වරක් මෙම ද්‍රාවණය වගාවට ඉසීමටයි.”

 ආචාර්ය රාජපක්ෂ දිලීරයේ ක‍්‍රියාකාරිත්වය තවදුරටත් විස්තර කරනු ලැබුවේ එලෙසිනි. එසේනම් මෙය බොහෝ දුරට සමාන වන්නේ මේ දිනවල අප වැඩි වැඩියෙන් ඇසුරු කරනා ප‍්‍රතිශක්තිය වඩවන පානයකටයි. එයද නිතර පානය කරමින් වර්ධනය කරගන්නේ පිටින් පැමිණෙන රෝගයට එරෙහිව කළයුතු සටනට අවැසි ආරම්භක ශක්තිය මිස, වැළඳුනු රෝගය සුවකිරීමේ හැකියාව නොවේ. එළවළු බෝගයක් තවාන් දමන අවධියේ සිටම මෙම ප‍්‍රතිකාරය අරඹන්නේ නම් කටයුතු තව තවත් පහසුවෙනු ඇත. බීජ තවාන් දැමීමට පෙර තරමක් සාන්ද්‍ර ට‍්‍රයිකොඩර්මා දිලීර ද්‍රාවනයක, එනම් මිලි ලීටර් 100 ක් ජලය ලීටරයක දියකළ ද්‍රාවණයක විනාඩි 45 ක් පමණ බීජ ගිල්වා තබා අනතුරුව තවාන් දැමීමට හෙතෙම යෝජනා කරයි. කාබනික ගොවිතැනට දිරියදෙන ට‍්‍රයිකොඩර්මා, රෝග පාලනය පමණක් සිදුකර නතර වන්නේ නැතිබව පෙනෙන්නට තිබේ. ඒ මගින් ගොවිතැනට සැලසෙන තවත් ප‍්‍රයෝජන රැසක්ද මෙම විද්වතුන් විසින් අනාවරණය කරගෙන ඇත. ඉන් එකක් වන්නේ ශාක පෝෂණය උදෙසා ලබාදෙන සහයෝගයයි. දිලීරය මගින් පසට ශ‍්‍රාවය කරනු ලබන එන්සයිම වර්ග හේතුවෙන් පසෙහි ඇති කාබනික ද්‍රව්‍ය පහසුවෙන් ජීර්ණය වී ශාකයට උරාගත හැකි ස්වභාවයට පත්කෙරේ. මීට අමතරව මුල් පද්ධතියේ වර්ධනය උත්තේජනය කරමින් ඒවාහි පෝෂක අවශෝෂක පෘෂ්ඨයද ඉහළ දැමේ.

ස්පර්ශවීමෙන් පවා රෝගකාරක දිලීර නසන රසායනික දිලීර නාශකයක් සේ කඩිනමින් මෙවැනි ජෛව ප‍්‍රතිකාරක ක‍්‍රියාත්මක වන්නේ නැත. ඒ නිසා ශාකය පුරා දිලීරය පැතිරී රෝග ලක්ෂණ මතුවෙද්දී ට‍්‍රයිකොඩර්මා දියරය ඉසීමෙන් නම් ප‍්‍රයෝජනයක් අත්නොවේ. එසේ වුවත් බෝගයේ ළපටි අවධියේ සිටම නිශ්චිත කාලාන්තරයන්හිදී දියරය වගාවට ඉසීමෙන් නිරෝගී වගාවක් ස්ථාවරව පවත්වාගත හැකිබව පර්යේෂණාත්මකව සනාථ කරගෙන ඇත. මිරිස්, මාළුමිරිස්, ලූනු, බණ්ඩක්කා, සලාද, පිපිඤ්ඤා ආදී ශාක වර්ග ගණනාවක් ඇසුරෙන් ලැබී ඇති ධනාත්මක ප‍්‍රතිචාර අනුව පෙනෙන්නේ කාබනික ගොවිතැනේ ක‍්‍රියාකාරකම් වලට ට‍්‍රයිකොඩර්මා විසින් මහඟු අත්වැලක් සපයනු ලබන බව නොවේද?

සනත් එම්. බණ්ඩාර
sanathmalka@hotmail.com

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

SLT-MOBITEL and LNC joinsTo organise online lectures on Conservation via eSiphala

Read Next

වෙනිවැල්ගැට සමඟ තිදෙනකු අල්ලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »