
2021.09.14
මාධ්‍ය නිවේදනයයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත්ව මේ වන විට මාස තුනකට අධික කාලයක් ගතව ඇත. මතුපිටට පෙනෙන ප්ලාස්ටික් නර්ඩ්ල් මේ වනවිට ඉවත් කොට ඇති බව පෙනෙන නමුත් මුහුදු වෙරළට යටපත්ව ඇති ප්ලාස්ටික් ඇට තවමත් ඉවත් කොට නැත. අතිශය ප්ලාස්ටික් ගොඩගැසී තිබුන සරුක්කුව වෙරළ තීරයේ මේ වන විට ප්ලාස්ටික් ඉවත් කිරීම සඳහා යන්ත්‍රයක් ක්‍රියාත්මක වන අතර එම ස්ථානයේ අඩි හයක් හතක් පමණ ගැඹුරට විවිධ වැලි ස්ථරවල ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය තැන්පත්ව තිබෙන බව පෙනී යයි. එම ප්ලාස්ටික් ඉවත් කිරීමේ යන්ත්‍රය මගින් නැව ගිනිබත් වීම නිසා සහ ප්ලාස්ටික් ගිනිබත් වීමෙන් ඇතිවූ micro plastic සහ වෙනත් විෂ සහිත අපජලය මේ වන විට වෙන් කරමින් පවතී. එහෙත් මෙම ක්‍රියාවලිය ඉතාමත් සෙමින් සිදුවන යාන්ත්‍රණයක් වන අතර මේ වන විට එම වෙරළ තීරය විශාල වශයෙන් මුහුදු කෑමට ලක්ව ඇත.( පින්තූරය අමුනා ඇත.) මුහුදු කෑම නිසා වෙරළ තීරයේ තිබෙන ප්ලාස්ටික් ඇට නැවත වතාවක් මුහුදුට එක් වන අතර එම ප්ලාස්ටික් ඇටද, මුහුදෙන් තව තවදුරටත් දිගින් දිගටම ගලා එන ප්ලාස්ටික් ඇටද මේ වන විට පෝරුතොට සහ මන්නාරම දක්වා වෙරළ තීරයේ තැනින් තැන එක්රැස් වන බව දැනගන්නට තිබේ. (පෝරුතොට ඇති ප්ලාස්ටික් ඇට පින්තූරයේ දැක්වේ) මෙම මුහුදු කෑම නිසා පසුගිය සතියට පමණක් අඩි පහක් පමණ වෙරළ ඛාදනය සිදු කොට ඇති බැවින් ඉදිරි මාස දෙක ඇතුළත සම්පූර්ණ සරුක්කුව වෙරල තීරයම එලෙස මුහුදු කෑමට ලක්විය හැකි අතර එම ප්‍රදේශයේ තිබෙන ප්ලාස්ටික් ඇට මෙන්ම micro plastic ඇතුළු සියලු ද්‍රව්‍ය නැවත මුහුදට එකතුව, වෙරළ තීරය දිගේ ගලාගෙන යාම නිසා මත්ස්‍ය සම්පත හා අනෙකුත් මුහුදු ජීවීන්ට හානි සිදුකිරීම වැලැක්විය නොහැකි වනු ඇත. තවද මෙම ස්ථානයෙන් ප්ලාස්ටික් ඇට හදිසියේ එකතු නොකලහොත් බේරුවල සිට මන්නාරම දක්වා වෙරල තීරය දිගේ තැනින් තැන මේවා එකතු වුවහොත්, එය එකතු කොට විනාශ කිරීම අතිශය අපහසු වනු ඇත.
අපට දැනගන්නට ලැබෙන පරිදි මෙම කාර්යය සඳහා මුදල් වියදම් කලයුතු P&I නම් ඉන්ෂුවරන්ස් සමාගම වෙනුවෙන් මෙහි පැමිණ සිටින ITOPF ආයතනය මෙලෙස පූර්ණ වෙරළ පිරිසුදු කිරීමක් බලාපොරොත්තු නොවන බව පෙනී යයි. ඔවුන්ගේ කල්පනාව ඇසට පෙනෙන ප්ලාස්ටික් ඇට පමණක් එකතු කොට මෙම නැවෙන් සිදු වූ හානිය ඉතා අවම යයි පෙන්වීමය. මෙය පසුගිය සමයේ නැවෙන් පිටවූ තෙල් සම්බන්ධයෙන් ද ඔවුන් ගත් ක්‍රියාමාර්ගයයි. දැනට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව ඔවුන් මුහුද තුළ වීඩියෝ දර්ශන සිදුකරමින් බලාපොරොත්තු වන්නේ කොරල් පර වලට හෝ වෙනත් මුහුදු ජීවීන්ට හානියක් නොවූ බව පෙන්වා ලංකාවට ලබා දීමට සිදුවන වන්දිය ඉතා අඩු කරගැනීමටයි.
අවාසනාවකට ලංකාවේ රාජ්‍ය ආයතන මේ වන විට කටයුතු කරන්නේ ඉන්ෂුවරන්ස් ආයතනයේ හිත හොඳින් තබාගෙන නඩුකරයක් හරහා වන්දි ලබා ගැනීම වෙනුවට ඔවුන් හිත හොඳින් දෙන දෙයක් ලබාගෙන සතුටුවීමට බව පෙනී යයි. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. මේ පිළිබඳව කටයුතු කරන රාජ්‍ය ආයතන ඉතාමත් බැගෑපත් ලෙස මේ නැවේ විනාශය සම්බන්ධයෙන් ඉන්ෂුවරන්ස් සමාගම හා ඔහුගේ ඒජන්තවරයා වන ITOPF ආයතනය හා කටයුතු කිරීම රටක් ලෙස ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මෙලෙස කටයුතු කරන්නට සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් සිදුවන පර්යේෂණයන් හා වාර්තා කිරීම ඉතාමත් පසුගාමී තත්ත්වයක පැවතීමනිසා බව අපි සිතමු.
එබැවින් අප රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ මෙම වෙරළ තීරයේ ප්ලාස්ටික් ඇට ඉවත් කිරීම් වහා කඩිනම් කරන ලෙසත් එය සරුක්කුව ඇතුළු විනාශයට ලක් වූ වෙරළ තීරයන් වහාම නිසි තාක්ෂණයක් සහිතව ඉදිරි මාස දෙක තුළ පිරිසිදු කොට යථා තත්ත්වයට පත් කරන ලෙසත්, එමෙන්ම රටේ සුභ සිද්ධිය වෙනුවෙන් ලෝකයේ මෙතෙක් සිදුවූ බලවත්ම රසායනික නෞකා අනතුරෙන් නෞකා සමාගමට, ඉන්ෂුවරන්ස් සමාගමට හෝ ඔවුන්ගේ ඒජන්තයන්ට ගැලවීයාමට ඉඩ නොදෙන ලෙසත්ය. පරිසර දූෂකයා ගෙවීමේ මූලධර්මය(Polluter Pays Principle) යටතේ මෙම වන්දිය අනිවාර්යෙන් නෞකා සමාගම වෙනුවෙන් ඉන්ෂුවරන්ස් සමාගම විසින් ගෙවිය යුතු වන අතර එය බැගෑපත් වීමකින් ලබාගගත යුතු එකක් නොවන බවද, එම වන්දිය සඳහා ශ්‍රී ලංකාවට හා හානියට පත්වූවන්ට අයිතියක් ඇති බව ද අප සඳහන් කළ යුතුය. තවද ඉන්ෂුවරන්ස් ආයතනයෙන් වන්දි ලබාගෙන මෙම මුහුදු පිරිසිදු කල හැකි අවස්ථාවේ එසේ නොකරන්නේ නම් යම් කිසි දිනක ශ්‍රී ලංකා පුරවැසියෙක් නඩුකරයක් ඉදිරිපත් කළහොත් එදිනට අදාල ආයතන වලට රජයේ මුදලින් මෙම වෙරළ පිරිසුදු කිරීමට සිදු වන බවද අපගේ අදහසයි. තවද ලංකාවේදී මේ සදහා සාධාරණයක් සිදු නොවන්නේ නම් විදේශයකදී ඒ සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද අප කටයුතු කරමින් සිටිමු.
ඉතිරි මාස තුන ඇතුළත මෙම නැවේ ඇති කන්ටේනර් ඉවත් කොට නැව කපා ඉවත් කිරීමට නියමිත බැවින් ඉන්පසුව මෙම නැව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලොකු බලපෑමක් කළ නොහැකි බැවින් ඉක්මන් ක්‍රියා පිළිවෙලක් හරහා අවශ්‍ය වන්දි ලබා ගැනීමටත්, අවශ්‍ය වාර්තා කඩිනම් කරන ලෙසත්, ධීවර ජනතාවට සිදු වූ හානි වෙනුවෙන් වන්දිය ඉක්මනින් ලබාදෙන ලෙසත් අප බලකර සිටිමු.
මෙයට
දිලෙන පාත්‍රාගොඩ
විධායක අධ්‍යක්ෂ, පරිසර යුක්ති කේන්ද්‍රය
දුරකතන: රන්ජන් කරුණානායක- 0717774947