රිදීමාලියද්ද ගොවිබිම් අක්කර 65,0000 ක් – සිංගප්පූරුවට විරෝධය පා ජනතාව පාරට

divaina.lk

නිල්ගල,ගල්ඔය,මාදුරුඔය රක්ෂිත අනතුරට ලක්කරමින් බිබිල සහ රිදීමාලියද්ද ප‍්‍රදේශයේ ගොවිබිම් වලින් අක්කර 65,000 උක් වගාකිරීම සඳහා සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් බහු ජාතික සමාගමට විකිණීමට විරෝධය පාමින් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැුකීමේ සංවිධානය මෙහෙයවූ විරෝධතාවක් පෙරේදා (02දා) පැවැත්විණි.

රිදීමාලියද්ද ගොවිබිම් අක්කර 65,0000 ක් - සිංගප්පූරුවට විරෝධය පා ජනතාව පාරට



අකිරියන්කුඹුර කණ්ඩියඅරාව ගම්මානයේ සිට සටන්පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් දෙහිගම පිහිටි යෝජිත කර්මාන්ත ශාලා භූමියට පෙළපාලියකින් පැමිණි විරෝධතාකරුවන් එය වටා තිබූ කිලෝමීටර් අටක් දිගැති වැට කඩා විනාශ කරනු ලැබීය.

බිබිල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බිබිල බෝධිරුක්ඛාරාමවාසී දොඩම්ගොල්ලේ සෝරත, අලූත්කැටියාව විද්‍යාලයේ විදුහල්පති සෙනසුන්ගල ආරණ්‍යයේ අධිපති අලූත්කැටියාවේ සීලවංශ යන ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැුකීමේ සංවිධානයේ, කැඳවුම්කරු හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න, සභාපති නීතිඥ සරත් කුමාර යන මහත්වරුන් පෙරටු කරගෙන පන්සියයකට ආසන්න ගොවිහු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

තම වගාබිම් උක් වගා කිරීමට විදේශික බහු ජාතික සමාගම් වලට ලබා නොදෙන බවත් ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන්කරන බවටත් ප‍්‍රතිඥා දුන් ගොවීහු පැය තුනක පමණ විරෝධතාවකින් පසුව විසිර ගියහ.

මෙහිදී අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා,

රිදීමාලියද්ද සහ බිබිල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ඉඩම් අක්කර 65,000 සිංගප්පූරුවේ බහු ුජාතික සමාගමකට උක් වගා කිරීම සඳහා විකිණීමට එරෙහිව දිවි පරදුවට තබා සටන්කරනවා. වෙල්ලස්සේ ඉඩම් කිසිවෙකුට විකිණීමට ඉඩ දෙන්නේ නැහැ.අවුරුදු 17 තිස්සේ වෙල්ලස්ස ප‍්‍රදේශයේ ජනතාවගේ පාරම්පරික ඉඩම් උදුරාගෙන මහා පරිමාණයෙන් උක් වගා කොට සීනි කර්මාන්ත ශාලාවක් දෙහිගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් බහු ජාතික සමාගමට ඉඩම් අක්කර හැටපන්දහසක් දීමට පිඹුරුපත් සකස්කර තිබෙනවා. කර්මාන්ත ශාලාව ඉදිකිරීමට පමණක් දෙහිගම ප‍්‍රදේශයෙන් අක්කර 572 වෙන්කොට මේ වනවිට වැටවල්

ගසා මහා රූස්ස ගස් කපමින් පවතිනවා. එම ප‍්‍රදේශයට පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 07 අයත් වෙනවා. අපේ නිජභූමිය මෙසේ බහු ජාතික සමාගම් වලට විකිණීමට රාජපක්ෂ ආණ්ඩුව සහ මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව නිරන්තරයෙන් කටයුතු කළා.

ඊට එරෙහිව මහා සංඝරත්නය ප‍්‍රමුඛ වෙල්ලස්සේ අහිංසක ගොවි ජනතාව අවුරුදු 17 තිස්සේ විරෝධය පළ කළා. ලෙයින් පවා අත්සන් කොට පෙත්සම් භාරදුන්නා. නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා 506 දෙනෙකු ජනාධිපතිවරයාට පෙත්සමක් භාර දුන්නා.ඒ කිසිවකට රජය ඇහුම්කන් දුන්නේ නැහැ. උක් වගා කිරීමට නියමිත මෙම බහු ජාතික සමාගම හෙක්ටයාර එකකට නළ ළිඳක් ඉදිකරමින් ජලය ලබා

ගැනීමට සැලසුම්කර තිබෙනවා. එහෙම වුණොත් මහ පොළොව, ගහකොළ, සතා සිවුපාවා නියත වශයෙන්ම ජලය නොමැතිව විනාශවී මියැදෙනවා. එම තත්ත්වය මඟහරවා

ගැනීමට නම් අපි සියලූ දෙනාම දිවි පරදුවට තබා සටන් කළ යුතුයි. සමාගමේ සැලසුම් වල සඳහන් වෙනවා ලාභයෙන් 89% අදාළ බහු ජාතික සමාගමටත් 10% හෝල්ඩින් ලංකා නමැති දේශීය සමාගමටත් 1% රජයටත් සතුවන බව.

පුතුගීසීන්, ලන්දේසීන්,ඉංග‍්‍රීසීන්

විනාශ කළ අපේ රට ඊට නොදෙවෙනි වන ලෙස අපේ පාලකයන් විනාශ කරනවා. ෆැක්ටරිය ඉදිකිරීමට බහු ජාතික සමාගමට විකුණා ඇති අක්කර 572 මාලදිවයින් රාජ්‍යයටත් වඩා විශාලයි. ඒ තුළ වෙනම රාජ්‍යයක් බිහිවීම අනිවාර්යයි. මෙම ව්‍යාපෘතිය

පටන්ගැනීමෙන් අම්පාර දිස්ත‍්‍රික්කයේ ඇතුළු අවට ප‍්‍රදේශ වලට ජලය සපයන ගංගා, ඇළ, දොල සිඳීගොස් නිල්ගල වන උද්‍යානයද විනාශ වෙනවා.

මෙම තත්ත්වයෙන් ප‍්‍රදේශය මුදාගැනීම සමස්ත ලක්වැසියන්ගේම යුතුකමක්. මේ වනවිටත් ඉඩම් ඔප්පු නැති පරම්පරා ගණනාවක් වගා කළ බලපත‍්‍ර රහිත ඉඩම් අදාළ සමාගමට පවරා ගැනීමට පියවරගෙන තිබෙනවා.

ඊට අමතරව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ඉඩම්ද අදාළ ව්‍යාපෘතියට පවරාගැනීමට මූලික කටයුතු සිදුකරමින් පවතිනවා.

දැනටමත් අපේ රට තුළ සීනි කර්මාන්ත ශාලා හතරක් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා.

එයින් දෙකක් වන පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා දෙක පිහිටා තිබෙන්නේ මොනරාගල දිස්ත‍්‍රික්කය තුළයි.

මේ වනවිට එම ප‍්‍රදේශයේ ජනතාව අන්ත අසරණ වෙලා. ගොවීන් ඉඩම් හිමියන් කර්මාන්ත ශාලා වල රුපියල් 750 දෛනික වැටුපට කම්කරුවන් වෙලා. එසේ තිබියදී තවත් සීනි කර්මාන්ත ශාලා වෙල්ලස්සට අවශ්‍ය දැයි ජනතාව සිතිය යුතුයි. එබැවින් බිබිල සහ රිදීමාලියද්ද ප‍්‍රදේශ කේන්ද්‍ර කොටගෙන නිල්ගල ඖෂධ උද්‍යානයෙත් ඉඩම් වගාවට ලබාදීම වහා නතර කළ යුතුයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

News Source

Chandana Sesath Jayakody

Read Previous

මෙරට මුහුදු සීමාවට පැමිණි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පිළිබඳ විශේෂ මෙහෙයුමක්

Read Next

හාල් මිල වැඩිවීමේ ප්‍රධාන සාධකය

Leave a Reply

Your email address will not be published.

Translate »