Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රයාන් යන්නම ගිහින්..!

ෆවුස් මොහොමඩ් – dinamina.lk

ලොවම කම්පා කළ මොරොක්කෝවේ ඛේදවාචකය

පුරා දින පහක් අඛණ්ඩව දිවා රාත්‍රී නොබලා ආපදා කළමනාකරණ කණ්ඩායම් විසින් සිදු කරනු ලැබූ දැවැන්ත මෙහෙයුම අපතේ ගියේය. මොරොක්කෝව පමණක් නොව මුළු ලොවම කම්පාවට පත් කරමින් පස් හැවිරිදි කුඩා දරුවා රයාන්ගේ අවසන් හුස්ම පොද කාටත් රහසින් වාතලයට මුසු විය.

උතුරු මොරොක්කෝවේ ටමෝරොට් නමැති කුඩා නගරයේ පිහිටි අඟල් 10කටත් වඩා පටු නල ළිඳ තුළට රයාන් ඕරාම් වැටුණේ පසුගිය අඟහරුවාදා දහවලේදීය. එදින හවස් වරුවේ සිට මොරොක්කෝවේ සිවිල් ආරක්ෂක හමුදාව දරුවාගේ ජීවිතය නිරුපද්‍රිතව ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය. අඩි 104ක් ගැඹුරු නල ළිඳේ සිර වී සිටි මේ අසරණ දරුවාගේ ජීවිතය බේරා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබිණි.

මේ පටු නල ළිඳ පිහිටි ප්‍රදේශය ගල්පර්වතවලින් සමන්විත වූ බැවින් සහ මෙහෙයුම අතරතුර පස් ගොඩැලි කඩා වැටීමකින් ළිඳ වැසී යෑමේ අවදානම ඉහළ තත්ත්වය පැවැති බැවින් මෙහෙයුම සිදුවූයේ ඉතා පරිස්සමින් සහ සෙමිනි. එබැවින් වැඩි පුර කාලයක් ගතවන්නට ද විය.

මෙහෙයුම් කණ්ඩායමට දරුවා බේරා ගැනීමට නම් බැකෝ යන්ත්‍ර සහ බුල්ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් නල ළිඳට සමාන්තරව ඒ අසළින් තවත් විශාල උමගක් සෑරීමට සිදුවිය. අඩි 100ක ගැඹුරු තැනක සිරවී සිටි මේ අසරණ දරුවා බේරා ගැනීමට වෙනත් විකල්පයක් තිබුණේම නැත.

මෙහෙයුම අඛණ්ඩව දිවා රාත්‍රී මුළුල්ලේහිම සිදුවූයේ ඔහු ගැන කිසිදු තොරතුරක් නොලැබුණු පසුබිමකදීය. රයන් ජීවතුන් අතර සිටින්නේදැයි යන්න පවා දැනගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් නොතිබිණි. ඔහු එහෙත් උත්සාහය අත් නොහැර දිගින් දිගටම මෙහෙයුම් කටයුතු සිදුවෙමින් තිබිණි. කඹයක ආධාරයෙන් ළිඳ තුළට යොමු කළ කැමරාවකින් ඔහුගේ ඡායා මාත්‍රයක් පමණක් මෙහෙයුම් නිලධාරීන්ට දැක ගත හැකි විය. ලැබුණු එකම හෝඩුවාව ද එය විය. එම කැමරා දසුන්වලින් පෙන්නුම් කළ රුධිරය වියැලුණු කුඩා දරුවාගේ මුහුණ සහිත ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ලොවට මුදා හැරීමෙන් පසු ඊට අන්තර්ජාතික අවධානය ද යොමු විය.

දහස් සංඛ්‍යාත ජනතාව අවට පරිසරය පුරා එක්රොක් වී මෙහෙයුම දෙස බලා සිටි අතර, වැල නොකැඩී තව තවත් ජනතාව පොදි ගැසෙන්නට පටන් ගෙන තිබිණි. ජනතාව සිටියේ දරුවාගේ පවුලේ සාමාජිකයන් දිරි ගන්වමිනි. ඇතැම් වෙලාවට ඔවුන් god is greatest සහ තවත් දිරිගැන්වීමේ ගීත ද ගායනා කරන්නට විය. රයාන්ට ආහාර මෙන්ම පානීය ජලය සහ ඔක්සිජන් නලයක ආධාරයෙන් ළිඳ තුලට යොමු කෙරිණි. එහෙත් ඔහුට ඒවා පරිහරණය කිරීමට හැකි වූයේදැයි යන්න සැක සහිත තත්ත්වයක තිබිණි.

මෙහෙයුම් නිලධාරින් සිටියේ කාලය සමග සටනකය. වැඩිපුර කාලය ගතවීම යනු දරුවාගේ ජීවිතයට ඇති අවදානම ඉහළ යන්නකි. මුදවා ගත් සැණින් දරුවා රෝහල්ගත කිරීමට හෙලිකොප්ටර් යානයක් සූදානමින් තබා තිබුණු අතර, වෛද්‍ය ආධාර සැපැයීමට තවත් කණ්ඩායමක් සීරුවෙන් තබා තිබිණි.

කුඩා දරුවා වෙනුවෙන් මුහුණුපොතේ ‘Stay Strong‘ යනුවෙන් හෑෂ් ටැගයක් නිර්මාණය විය. ‘SaveRayan‘ නමින් තවත් හෑෂ් ටැගයක් බිහි විය. මොරොක්කෝවේ පමණක් නොව ලොව පුරා සියලු ජාතීන්ට අයත් මානව හිතවාදී ප්‍රජාව මේ අසරණ දරුවා වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන්නට වූහ.

දෙවියනි ඔහුව බේරා දෙන්න..!

එහෙත් දින පහක් පුරා සිදු කළ මෙහෙයුම අවසානයේදී අසාර්ථක විය. පෙරේදා මධ්‍යම රාත්‍රියේදී ලොවම කම්පාවට පත් කරමින් මෙහෙයුම් කණ්ඩායම නල ළිඳෙන් පිටතට ගත්තේ රයාන්ගේ නිසල සිරුරය. කහ පැහැති බ්ලැන්කට්ටුවක ඔතා ගිලන් රථයට රයාන්ගේ නිසල සිරුර ගෙන ගිය දසුන ඉතා අනුවේදනීය සිදුවීමක් විය. දැඩි සිසිලත්, හුස්ම ගැනීමේ අපහසුවත් ඔහුගේ ජීවිතය නිහඬ වීමට හේතු වන්නට ඇත. පවුල් 500ක් පමණ පදිංචිව සිටින මේ කුඩා නගරයේ බොහෝ නිවාසවල මෙවැනි නල ලිං පිහිටා තිබූ අතර, රයාන් නල ළිඳට වැටුණේ කෙසේදැයි යන්න පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරක් නැත. එය දැන ගැනීමෙන් දැන් ඇති ඵලය කුමක්දැයි ජනතාව හැඬූ කඳුළින් විමසති.

රයාන් යන්නම ගිහින්..!

ෆවුස් මොහොමඩ්

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

පසුගිය දින පහට 408,898ක් බූස්ටරේ විදගෙන

Read Next

දෙවැනි බූස්ටර් එන්නතට ජර්මනියේ අනුමැතිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!