(රජවාසල) කවට කතාවක් සහ ත්‍රාසජනක (ප්‍රේම නොවන) කතාවක්

මේ දිනවල මේ රටේ ආර්ථික සර්කස් කූඩාරම තුළ බල්ටි ගසන්නන් විසින් ප‍්‍රමුඛ කාරණා දෙකක් සම්බන්ධයෙන් විවාද කරනු ලැබේ. පළමුවැනි කාරණාව වන්නේ ඉදිරි ජීවිතයේ එදා වේල ටුවර් එක පිරිමසාගැනීම සඳහා ඩොලර් හොයන්නේ කෙසේද යන්නය. දෙවැනි කාරණය, එසේ ඩොලර් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF එකට යනවාද නැද්ද යන්නය. ආණ්ඩුව IMF එකෙන් ණය ගත්තොත් මහජනතාවට වදින වැදිල්ල දෙගුණ වේ. IMF එක සල්ලි දෙන්නේ එය ආපසු අපෙන් අය කරගත හැකි අයුරින් අප ඉදිරි කටයුතු කරනවා නම් පමණි. උදාහරණයක් වශයෙන් ඔබේ අල්ලපු ගෙදර නිවැසියා ස්වකීය බිරිඳගේ මහන මැෂිම අලූත්වැඩියා කරගැනීම සඳහා රුපියල් 2000 ක ණයක් ඔබෙන් ඉල්ලූවොත් අතේ මුදල් ඇත්නම් එය දීමට ඔබ සූදානම් ය. එහෙත් ඒ මිනිහා එම ණය ඉල්ලන්නේ කසිප්පු බොන්නට නම් එම ණය මුදල දීමට ඔබ කිසිසේත්ම කැමති නැත. අල්ලපු ගෙදර මහන මැෂිම ඔබේ මුදලින් අලූත්වැඩියා කළොත් ඒ වෙනුවෙන් කිසියම් අයිතියක් කියා පෑමට ඔබට පුළුවන. එහෙත් ඔබේ මුදලින් කිසිවෙක් කසිප්පු පානය කළොත් ඔබට අයිතිය කීමට සිදුවන්නේ එම පුද්ගලයා පිට කරන මළ පෙරේත ගඳ ගහන සුළුදිය වලට පමණි.

අපේ රටේ තිබෙන අය වැය පරතරයට IMF සංවිධානය කිසිසේත්ම කැමති නැත. එයට හේතුව එවැනි අය වැය පරතරයක් තිබෙන විට ණය මුදල් ආපසු ගෙවීමට ඇති හැකියාව අඩුවීමය. ඒ නිසා තමන්ගෙන් ණය ගන්නා රටවල් 5% ට අඩු අය වැය පරතරයක් පවත්වාගෙන යායුතු බවට කොන්දේසියක් IMF සංවිධානය සතුව තිබේ. එසේ අය වැය පරතරය අඩු කිරීමට නම් ජනතාවට දෙන සුබ සාධන කප්පාදු කිරීමට ආණ්ඩුවට සිදුවේ. එනම් නිදහස් අධ්‍යාපනයට දෙන මුදල්, නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම සඳහා වැයවන මුදල් යනාදිය කපා හැරීමට සිදුවේ. එපමණක් නොව පාඩුවට දුවන දුම්රිය සේවය පවා නවත්වන ලෙස ඔවුන් කියනු ඇත. ඒ අතරම විශ‍්‍රාමිකයන්ගේ පෙන්ෂන් පඩියද යම් ප‍්‍රමාණයකට කපා හරිනවා ඇත. මෙවැනි කොන්දේසිවලට යටත්ව IMF මුදල් ගෙන ජනතාවගේ කුස පිරවීම අද කළ හැකි වුවද හෙට එන ඡුන්දයේදී එය ඉතා නරකට බලපාන්නේය. ඒ නිසා IMF වන්දනාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඇඹරෙමින් සිටී. මේ අතර පසුගියදා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පෙනී සිටි මාධ්‍ය සාකච්ඡුාවකදී ආධුනික මන්ත‍්‍රීවරයෙක් කියා සිටියේ IMF සංවිධානය ආණ්ඩුවේ කොන්දේසිවලට යටත්ව ණය දෙනවා නම් එම ණය භාර ගැනීමට ආණ්ඩුව සූදානම් බවය. මෙයින් හැෙඟන්නේ IMF ණය ගැනීම සම්බන්ධ සම්පූර්ණ කතාව ආධුනික මන්ත‍්‍රීවරයා විසින් අවුල් ජාලාවක් ලෙස දකිනු ලැබ ඇති බවය.

ඔහු හිතන්නේ IMF සංවිධානය ලංකාවට ණය දෙනවා නොව ලංකාව IMF සංවිධානයට ණය දෙන බවය. එක අතකට මෙවැනි දුෂ්කර සමයකදී පෙරකී මන්ත‍්‍රීතුමා වැනි රජ වාසල කවටයන්ගෙන් ලැබෙන විහිළුවල කිසියම් වටිනාකමක් තිබේ. පළමුකොට ඔබට දැනගන්නට ලැබෙන්නේ ඔබේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මිනිහාගේ තරම ගැනය. ඒ මිනිහා වැනි කිහිපදෙනකු බලයේ සිටියොත් අනාගතයේදී රට මුහුණ දීමට නියමිත ඉරණම සම්බන්ධයෙන් දැනගැනීමට දෙවනුව ඔබට හැකිවනවා ඇත. මෙතනදී ලොකු තාක්ෂණික ගැටලූවක් හටගනී. එනම් ඒ මිනිහාට දුන් ඡුන්දය ආපසු ලබා ගැනීමට ඔබට ඇති නොහැකියාවය. මෙතැනදී නැවතත් කසිප්පු කාරයා උඩට එයි. කසිප්පුකාරයකුට සල්ලි ණයට දුන්නොත් දුන්නාමය. එය කිසි කලකත් ආපසු ලබා ගැනීමට හැකිවන්නේ නැත.

අද අප මේ තීරුව ඔස්සේ සාකච්ඡා කිරීමට තීන්දු කර තිබූ ප‍්‍රමුඛ කාරණය IMF කවට කතාව නොවේ; ඇමරිකාව සමග අත්සන් කළ යුගදනවි ගිවිසුම පිළිබඳව ත‍්‍රාසජනක කතාවය. එම විකිණිල්ලට සම්බන්ධ ගිවිසුම රහසක් ලෙස පැවතිණ. එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලන ලද අවස්ථාවේදී විදුලි බල ඇමැති ගාමිණි ලොකුගේ එයට එකඟ විය. එහෙත් එයින් පසු ලොකුගේ පාර්ලිමේන්තුවට ආවත් කවදාවත් අර රහස් ගිවිසුම ගෙනාවේ නැත. අන්තිමේදී ජවිපෙ නායක අනුර දිසානායක එම ගිවිසුමේ ඔරිජිනල් පිටපතක් සොයා ගෙනවුත් ආණ්ඩු පක්ෂය පුදුමයට පත්කොට පාර්ලිමේන්තුව දෙවනත් කළේය.

මේ ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ ඇමැතිවරු තිදෙනෙක් දැනටමත් උසාවි ගොස් ඇත. විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර නමැති ඒ තිදෙනා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ මගඩි වැඩවලට විරුද්ධව හඬ නගන බලවේගයක් බවට පත්ව තිබේ. මෙවැන්නක් ජේ. ආර්. ජයවර්ධනගේ රාජ්‍ය පාලන සමයේදී සිදුවූයේ නම් ඔහු මේ තුන්දෙනා එක පෙළට එල්ලනවා ඇත. ජේ. ආර්. තමන්ට විරුද්ධ වූ කිසි කෙනෙක් පක්ෂය තුළ ඉතිරි කළේ නැත. ඔහු සිරිල් මැතිව් ඉවත් කළේය. දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු පලවා හැරියේය. ගාමනී ජයසූරිය යන තැනට වැඩ කළේය. ඉහත නම් සඳහන් තිදෙනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1977 දී බලයට පැමිණි අවස්ථාවේදී යුව රජවරුන්ගේ තත්ත්වයේ සිටියහ. එහෙත් ජේ. ආර්. ඔවුන් එළවන විට නිවුටන්ගේ තුන්වන නියමය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබුණේ නැත. එහෙත් එයින් අවුරුදු හතළිස් ගණනකට පසු අද එළඹ ඇති තත්ත්වය ඉඳුරාම වෙනස්ය. ආණ්ඩුව සමග හැප්පීමට ආණ්ඩුව තුළ සිටම හැකිවන පරිදි දේශපාලනඥයෝ ශක්තිමත්ව සිටිති.

යුගදනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තරම් ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් වීමද සුවිශේෂ කාරණයක් ලෙස අපි දකිමු. එය විපක්ෂයේ සිටින කිසිදු දේශපාලනඥයකුට හෝ දේශපාලන කණ්ඩායමකට කරගැනීමට බැරි වූවකි. මේ අවස්ථාවේදී යුගදනවි ගිවිසුම පිළිබඳව හෙළි කිරීමට ඉතිරිව ඇති තවත් යමක් වෙතොත් එයද හෙළිකර ප‍්‍රශ්නය ගොඩදමා ගැනීමට ආණ්ඩුවට තවමත් හැකි බව අපි විශ්වාස කරමු. විමල්, උදය, වාසු වැනි බලවේගවල අවශ්‍යතාව වී ඇත්තේ ආණ්ඩුව පෙරළීම නොවන බව අපට පැහැදිලිය. ඔවුන්ගේ ව්‍යායාමය වී ඇත්තේ ආණ්ඩුව පිරිසිදු කර එය තවදුරටත් පවත්වාගෙන යෑම විය යුතුය. නීතිය පිරිසිදු වන්නේ නඩු කී තරමටය.

මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

PFAS the “Forever Chemicals”

Read Next

Navy initiates 100,000 Mangroves campaign

Leave a Reply

Your email address will not be published.

Translate »