
බ්‍රිතාන්‍යයේ නිවාස ලක්ෂ 2ක් කළුවරේ
වසර 30කට පසු බ්‍රිතාන්‍යයට කඩා වැදුණු ‘යුනිස්‘ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍ය යේ නිවාස ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකට තවමත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වී නැතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේය. බ්‍රිතාන්‍යය හරමා හමා ගිය මේ ප්‍රචණ්ඩ සුළි කුණාටුව පසුව අයර්ලන්තය, බෙල්ජියම සහ නෙදර්ලන්තයට දැඩි බලපෑම් එල්ල කරමින් ජීවිත 13ක් බිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ.
පැයට කිලෝමිටර් 196ක වේගයෙන් හමා ගිය යුනිස් සුළි කුණාටුව වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයට බලපෑ ඉතිහාසයේ වේගවත්ම සුළි කුණාටුව ලෙසිනි. එහි බිහිසුණු කම නිසා ලන්ඩන් නුවරට පළමුවරට රතු නිවේදනයක් නිකුත් කිරීමට සිදු වී තිබූ අතර, වසර 1987 දී ‘ග්‍රේට් ස්ටෝම්‘ සුළි කුණාටුව හමා යෑමෙන් පසු බ්‍රිතාන්‍යයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බව කියැවේ. පසුගිය සිකුරාදා හමා ගිය යුනිස් සුළි කුණාටුව බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් වාර සිය ගණනක් අවලංගු කිරීමට හෝ ගමන් මාර්ගය වෙනස් කිරීමට හේතු වූ අතර, එරට දුම්රිය හා බස් ප්‍රවාහන පද්ධතියට දැඩි බලපෑමක් ද එල්ල කර තිබිණි. යුනිස් සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයට සිදුවූ අලාභය පවුම් මිලියන 300 ඉක්මවනු ඇතැයි එරට රක්ෂණ සමාගම් දැනට තක්සේරු කර තිබේ.