යළි සාකච්ඡා කළයුතු පොහොර තීන්දුව

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම රට තුළ ප්‍රබල කතිකාවක් නිර්මාණය කර තිබේ. අදාළ තීන්දුව සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව දේශපාලනඥයන් විසින්ද විද්‍යාඥයන් ගණනාවක් විසින්ද මේ වනවිට මාධ්‍ය ඔස්සේ තම මතවාද ප්‍රකාශ කර තිබේ. මේ ගැටලු‍වේ අනෙක් පාර්ශ්වකරුවන් වන ගොවීන් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ව්‍යාපාර පවත්වාගෙන යන තේ වතු ඇතුළු වෙනත් ව්‍යවසායකයන් තවමත් ඍජු ලෙස අදහස් ප්‍රකාශකර ඇති බවත් දකින්නට නොතිබිණි. එහෙත් අදාළ විෂය සම්බන්ධයෙන් මේ සියලු‍ ක්ෂේත්‍ර තුළ සාකච්ඡා කෙරෙමින් පවතින බව සඳහන් වෙයි.

රසායනික පොහොර භාවිතය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම දේශපාලනිකව ගනු ලැබූ තීන්දුවකි. මෙය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරුණු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් වෙයි. ජනාධිපතිවරයා මේ තීන්දුව ගනිමින් අවධාරණය කර තිබුණේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් වැඩිපුර අස්වැන්නක් ලබාගැනීමට හැකි වුවද ඒ හරහා මිනිස් ජීවිතවලට සිදුවන අහිතකර බලපෑම් නොසලකා කටයුතු කළ නොහැකි බවය. ගංගා, ඇළ, දොළ සහ භූගත ජලයද රසායනික පොහොර මගින් දූෂණය වීමෙන් සිදුවන අහිතකර බලපෑම් එම පොහොර යෙදීමෙන් ලැබිය හැකි ලාභය අභිබවා යන බවය.

අදාළ තීන්දුව හේතුවෙන් ගොවිජනතාවට සිදුවිය හැකි අඩුපාඩුකම් මගහරවා ගැනීමට කාබනික පොහොර සඳහා සහන පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කෙරෙන බවද සඳහන්ය. රසායනික පොහොර ගෙන්වීම අත්හිටුවීමෙන් රටට ඉතිරි වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 400ක් බවද එය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට යොදාගත හැකි වන බවද රජයේ අදහස වී තිබේ.

කෙසේ වුවද මේ තීන්දුව හේතුවෙන් රටේ ගොවි ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැක. තීන්දුව හොඳ වුවත් එය මෙතරම් හදිසියේ ක්‍රියාවට නැංවීම හේතුවෙන් ගොවීන්ට අස්වනු අහිමි වී ගියහොත් කළ හැක්කේ කුමක්ද යන්නට ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් වී නැත. විකල්පයක් වශයෙන් භාවිත කළයුතු වන කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට ඇති සැලසුම් කල්පිත වලට සීමා වී ඇති බවක් පෙනී යයි. ඒ පිළිබඳව දැනට ඇති එකම සහතිකය කාෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා විසින් එහි වගකීම භාරගන්නා බවට කළ ප්‍රකාශය පමණි. මැති ඇමැතිවරුන්ගේ එවැනි ප්‍රකාශ පිළිබඳව රටේ තිබෙන්නේ ඉහළ පිළිගැනීමක් නොවන බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

රසායනික පොහොර යොදන එකම වගාව වී සහ එළවළු, පලතුරු වැනි භෝග පමණක් නොවේ. තේ, පොල්, රබර් ඇතුළු සියලු‍ මහා පරිමාණ කෘෂි කර්මාන්තවලටද රසායනික පොහොර භාවිත කෙරේ. එක්වරම ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පොහොර ගෙන්වීම අත්හිටුවීම මේ සියලු‍ කෘෂිකර්මාන්තවලට බලවත් හානියක් ගෙනදීමට පවා හේතු වනු ඇත. තහනම ක්‍රියාත්මක වනවිට ප්‍රමාණවත් පොහොර තොග නොමැති ගොවීන්ටත් වතු හිමියන්ටත් ඊළඟට සිදුවන්නේ කළුකඩයේ පිහිට පැතීම පමණි. එය වියදම දෙගුණ තෙගුණ කරන පියවරකි.

රසායනික පොහොරවලට ඇබ්බැහි වීම නැතහොත් වහල්වීම යහපත් තත්ත්වයක් නොවන බව පැහැදිලිය. එහෙත් එම වහල් බවින් මිදීම එකවරම සිදුකළ නොහැකි බව විද්‍යාඥයන් බොහොමයකගේ පිළිගැනීම වෙයි. කාබනික පොහොරට සහ කාබනික කෘෂිකර්මයට වසර කිහිපයක පෙර සූදානමක් තිබිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. රසායනික පොහොර තහනම දෙස සුබවාදීව බලන විද්‍යාඥයන් කිහිප දෙනකුද පෙන්වාදී තිබුණේ ශ්‍රී ලංකාව තුළ භාවිත කළ හැකි කාබනික පොහොර වර්ග සහ මෙරට ගොවිබිම්වල භූගෝලීය ව්‍යාප්තිය සහ වගා කෙරෙන බෝග පිළිබඳ නිසි තක්සේරුවකින් තොරව මෙවැනි තීන්දු ගැනීමෙන් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවය. කාබනික පොහොර පසට යෙදීම ආවාට ගියාට කළ නොහැකි බවද රසායනික පොහොර භාවිතය දීර්ඝ කාලයක් තිස්සේ සිදුකිරීම හේතුවෙන් පසෙහි ඇතිවී තිබෙන විපර්යාස පිළිබඳ නිසි ලෙස සිදුකෙරෙන අධ්‍යයනයකින් පසුව පමණක් එවැනි වෙනසකට යා හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව තුළද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨ එක්ව රසායනික පොහොර භාවිතය නැවැත්වූ පසුව මෙරට කෘෂිකර්මයට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විවිධ පර් යේෂණ සිදුකරන බවද සඳහන්ය. පවතින රසායනික පොහොර විෂම චක්‍රයෙන් මිදිය යුතු වන්නේ ක්‍රමානුකූලව සිදුකෙරෙන වැඩපිළිවෙළකට අනුව බවද ප්‍රකාශිතය.

රසායනික පොහොර භාවිතය නැවැත්වීම දෙස දේශපාලන දෘෂ්ටි කෝණයෙන් පමණක් බැලීම අනුචිත බව අපගේ අදහසය. කෘෂිකර්මය ජීවනෝපාය කරගත් මිලියන 02කට පමණ ආසන්න ගොවි ජනතාව සහ මෙරට ප්‍රධාන බෝග වගාවන් වන තේ, පොල්, රබර් කර්මාන්තකරුවන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳ වැටහීමකින් තොරව මෙවැනි ක්ෂණික තීන්දුවලට එළඹීමේ ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකි බවද පෙන්වාදීමට කැමැත්තෙමු. පොහොර නැතුව අස්වනු පාළු වී ගියොත් ඉතිරි කරගත හැකි ඩොලර් මිලියන 400 පිළිබඳව කතා කිරීමෙන් පලක් නැතිවනු ඇත.

තොරතුරු මූලාශ්‍රය

http://www.lankadeepa.lk/features/%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB-%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80/2-590778

Admin

Read Previous

පොලිතින්, ප්ලාස්ටික් වෙසක් සැරසිලි එපා – පරිසර අමාත්‍යාංශය ඉල්ලයි

Read Next

April 2021 and Year to Date Were Among Earth’s Top-10 Warmest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »