
www.dinamina.lk
යාපනය, ඩෙල්ෆ්ට් දුපතට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් ඊයේ(03) අළුයම් කාලයේ සිදු කර තිබේ.
එහිදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධිවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2022 අප්‍රේල් මස 03 වන දින අළුයම් කාලයේ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කර, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් යාපනය, ඩෙල්ෆ්ට් දුපතට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී තිබෙන බව නිරික්‍ෂණය කළ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා එම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
එහිදි, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු ධීවර ආම්පන්න සමඟ මෙලෙස නාවික හමුදා භාරයටගත් අතර, කන්කසන්තුරය මයිලඩි ධීවර වරාය වෙත රැගෙන ආ එම ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ජාතික ධීවරයින් දොලොස්දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු කළාප ප්‍රදේශීය අධ්‍යක්‍ෂ මඟින් යාපනය ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවති.
එසේම 2022 මාර්තු මස 30 දින ද ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වී විදේශීය ධීවරයින් සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකර බව සදහන් කරයි.