
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
මුතුරාජවෙළ තෙත් බිමෙහි මායිම් ලකුණු කළ සම්පූර්ණ වාර්තාව මාර්තු මස 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නිතිපතිවරයාට අද (13) නියෝග කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ, මුතුරාජවෙළ තෙත්බිමට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ රිට් පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද (13) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මින් ඉහතදී මෙම නඩුව අධිකරණය හමුවේ කැදවු අවස්ථාවේදී ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිතිපතිවරයාට මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබිණී.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකරනු ලැබ තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ මධ්‍යම පරිසර අධිකාරිය සහ වනජීවි වන සම්පත් අමාත්‍යාංශය ඇතු`ථ පිරිසකි.
මුතුරාජවෙල රැම්සා තෙත් බිමක් වන අතර මෙම තෙත් බිමට විවිධ පාර්ශ්ව විසින් කසල බැහැර කිරිම සිදුකරනු ලබන බවත්, එමගින් පරිසරය දූෂනය සිදුවන බවත් පෙත්සම්කරුවන් මෙම රිට් පෙත්සමේ සදහන් කර ඇත.
මේ හේතුවෙන් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත්, කසල බැහැර කිරීමේ ක්‍රියාව නවතා දැමීමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නිතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සහ නිතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම පෙත්සම යළිත් මාර්තු මස 04 වැනිදා කැදවීමට නියමිතය.