
dinamina.lk
මුතුරාජවෙල අභය භූමියේ 1 සහ 2 කොටස්වලට අයත් මායිම් ලකුණු කිරීම මාස හයක් තුළ කර අවසන් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකඟත්වය පළ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (6) දන්වා සිටියේය.
එසේම මුතුරාජවෙල පරිසර ආරක්ෂණ කලාපයට අයත් දකුණු සහ බස්නාහිර සීමාවන් ලකුණු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය එකඟත්වය පළ කර ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මුතුරාජවෙල අභය භූමිය හා තෙත්බිම් කලාපය තුළ වන නීති විරෝධි ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සහ කැළි කසළ බැහැර කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් කියා සිටියේ මුතුරාජවෙල අභය භූමිය සහ පරිසර ආරක්ෂණ කලාපයට අයත් සීමාවන් ලකුණු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සහ වන ජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකඟත්වය පළ කර ඇති බවය.
නෙල්කා මැදගෙදර