Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මහ මුහුද ගිනි ගනී – (එතැන් සිට මාළු බෑමට සිදුවන්නේ ගොඩබිමේය)

divaina.lk

අප අද මේ කතු වැකිය මගින් සාකච්ඡා කරන ගින්න හරියටම පත්තු වුණොත් යාපනේ මාළු බෝට්ටු දහස් ගණනක් ගොඩබිමේ යාත්‍රා කරමින් මාළු අල්ලනු දැකගැනීමට අපට හැකිවෙනවා ඇත. මෙය ලෝකයේ හොඳම කෙටි කතාකරුවා වූ ප්‍රංශ ජාතික ගී ද මෝපසාං ගේ පිස්සකුගේ දිනපොත නමැති කුඩා නව කතාවේ එන විකාරයක් හා සමානය. ගොඩබිමෙහි මාළු අල්ලන රටක් නැත. මාළු අල්ලන්නේ කරදිය මුහුදේ හෝ මිරිදිය ජලාශයේ ය. මෙතැන් සිට මේ කතාව ගැටලු රහිතව විස්තර කරමු. ඉන්දියාවේ තමිල්නාඩුව සහ ඒ අවට ප්‍රදේශවල ජීවත්වන කුඩා පරිමාණ ධීවරයන්ට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී මාළු බෑමට ඉඩ දීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා යෝජනා කර තිබේ. ඉන්දියාවේ ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති එල්. මුරුගන් පසුගියදා යාපනයට පැමිණ ඩග්ලස් දේවානන්දා සමග සාකච්ඡාවක් පැවැත්වීය. ඔහු ලංකාවට එන්නේ ළඟදී යාපනේ ඉදිකෙරුණු සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම පිණිසය. ඒ අස්සේ ඔහු ඩග්ලස් දේවානන්දා ද හමුවිය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මත්ස්‍ය සම්පත බෙදාගැනීම සම්බන්ධයෙන් දෙරටේ මසුන් මරන්නන් අතර ශත වර්ෂයකට කිට්ටු ආරවුලක් තිබේ. තමිල්නාඩුවේ ධීවරයන් නිතරම බලන්නේ ශ්‍රී ලංකාවේ මුහුදට කඩා පැන හොරෙන් මාළු බෑමටය. අනෙක එක රැයකට තමිල්නාඩුවට අයත් සුළු පරිමාණ මාළු බෝට්ටු දෙතුන් දාහකට වඩා ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ආක්‍රමණය කරන හැටි චන්ද්‍රිකා ඡායාරූප මගින් ඔප්පු කර තිබේ. ජනවාර්ගික යුද්ධය පැවති කාලයේදී මේ කුඩා මාළු බෝට්ටු අතරට රිංගූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී බෝට්ටු හාර පන්සීයක් පමණ හැම රැයකම තමිල්නාඩුවෙන් ගෙනෙන අවි මුලතිව් සහ කිලිනොච්චියට ප්‍රවාහනය කළහ. යුද්ධය නිමාවීමෙන් පසු එල්.ටී.ටී.ඊ. බෝට්ටු තවදුරටත් දක්නට නොලැබුණු අතර තමිල්නාඩුවේ මාළු බෝට්ටු පමණක් දිගටම ලංකාවේ මුහුදට කඩා පැන්නාහ. මෙය යාපනේ ධීවරයන්ට මෙන්ම නාවික හමුදාවේ වෙරළාරක්ෂක බෝට්ටුවලටද විශාල කරදරයකි. ඉන්දියාවෙන් එන මාළු කොල්ලකාරයන් මහ මුහුදේදී දුටු විගස අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට සිදුවේ. සමහරවිට මෙසේ අත්අඩංගුවට පත්වන බෝට්ටුවල සිටින අය නාවික හමුදාවට වෙඩි තබති. වෙඩිල්ල අපේ නාවික හමුදා සෙබළකුට වැදී ඒ මිනිහා මළොත් අප කට වහගෙන සිටිය යුතුය. හැබැයි යම් හෙයකින් පිළිතුරු වෙඩිල්ලකින් ඉන්දියානු මාළු කාරයකු මළොත් තමිල්නාඩුව යකා නටන්නට පටන් ගනී. ඩග්ලස් දේවානන්දා ඉහත සඳහන් යෝජනාව කරන්නේ මේ මළ කරදරය නිමාවට පත්කිරීම සඳහා විය යුතුය. එහෙත් මේ යෝජනාව ක්‍රියාත්මක වන බවක් පෙනුනොත් යාපනේ ධීවර සංගම්වල සිටින 8000 ක් පමණ දෙනා අඩුම ගණනේ මාළු බෝට්ටු තුන් හාරදාහක්වත් ගොඩබිමට ඇදගෙන අවුත් මාළු බෑම වර්ජනය කරනවා ඇත. එවිට දැනට රුපියල් 400 ට යන සූඩයන් කිලෝව කොරෝනා කාලයේදී මෙන් රුපියල් 1000 දක්වා මිල ඉහළ යනවා ඇත. එසේම දැනට රුපියල් 4000 ක් වන තෝර මාළු කිලෝව වැඩි කරදරයක් නැතුව රුපියල් 10000 ක් වනවා ඇත. අප ඔබට පැහැදිලි කළේ මේ රටේ අඩුම මිලක් ඇති මාළු වර්ගය සහ වැඩිම මිලක් ඇති මාළු වර්ගය දැක්වීමය. ඒ අතර පරා, කෙලවල්ලා, ගල් මාළු ඇතුළු මාළු වර්ග විශාල සංඛ්‍යාවක් තිබේ. යාපනේ ධීවරයන් වැඩ වර්ජනයක නිරත වුණොත් මේ හැම මාළුවෙක්ම 250% කින් පමණ මිල ඉහළ යෑමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ප්‍රශ්න අවුරුදු හත් අට දහසක සිට තිබුණු බව කියනු ලැබේ. රාවණ රජතුමා මීට අවුරුදු 6000 ට පමණ පෙර සිය දඬු මොනරයෙන් ඉන්දියාවට ගොස් අනුන්ගේ බිරිඳක් උස්සාගෙන පැමිණි නිසා දෙරට අතර විශාල යුද්ධයක් ඇතිවිය. ඒ වෙලාවේදී රාවණ රජතුමා කළේ අනවශ්‍යම වැඩකි. ඒ යුද්ධයෙන් පසු රාවණ රජතුමා ඝාතනය වූ අතර පාරම්පරික වෛද්‍යවරයකු වූ එතුමාගේ සමස්ත වෛද්‍ය පරම්පරාවම කේරලයට පැහැරගෙන යන ලදී. ඉන් බේරුණු අයගෙන් පැවත එන අය කළුතර දිස්ත්‍රික්කයේත්, බලංගොඩත්, රාගම ගල්ඒදණ්ඩේත් අදටත් ජීවත්වන බව දැනගන්නට තිබේ. ඉන් පසු ලංකාව සහ ඉන්දියාව අතර තිබූ ලොකුම ප්‍රශ්නය කල්ලතෝනි උවදුරය. ඉන්දියාවෙන් මෙහි පැන එන හොර වැසියන් නිසා ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළට කිසියම් අගතියක් සිදුවිය. දෙරට අතර තිබෙන තවත් ප්‍රශ්නයක් ලෙස දෙමළ වතු කම්කරු ප්‍රශ්නය දැකීමට ඇතැමකු ප්‍රිය කරන නමුදු අපි නම් සහසුද්දෙන්ම ඊට එරෙහි වෙමු. දෙමළ වතු කම්කරුවා පසුගිය අවුරුදු 200 තිස්සේ මේ රටට මුදල් හම්බකරදීම සඳහා ඕනෑවටත් වඩා සිය රුධිරය සහ දහදිය හෙළා ඇත. අදටත් සූරාකැවෙමින් සිටින මේ ජනයා ජාතික ප්‍රශ්නයක් ලෙස සැලකීම ඉතාම අකෘතඥ වූ හෙණ ගහන අපරාධයකි. ප්‍රභාකරන්ට ඊළමක් ලබාදීම සඳහා උදව් කිරීමට ඉන්ධිරා ගාන්ධි ගත් දේශපාලන තීන්දුවද අපට මහත් හිරිහැරයක් විය. මේ තීන්දුව නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ රටේ දේශපාලනඥයන් ද එකතු කරගෙන තිස් අවුරුද්දක් පමණ මේ රට කා දැමූහ. මේ ප්‍රශ්න සියල්ලම අතර ඉන්දියානුවන් විසින් ලංකාවේ මාළු කොල්ලකෑම සිදුවිය. මේ මුහුදු කොල්ලය පිටුපස තමිල්නාඩුවේ දේශපාලනඥයෝ සිටිති. තමිල්නාඩුවේ දේශපාලනඥයන්ට වියදම් කරන්නේ මාළු මුදලාලිලාය. මේ ඇතැම් මුදලාලියකුට විශාල ට්‍රෝලර් බෝට්ටු ඇතුළු බහුධින ධීවර යාත්‍රා දෙතුන් සීයක් පමණ තිබේ. තමිල්නාඩු මුහුද මත්ස්‍ය සම්පතින් සරු නැත. ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත බහුල වන තැන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය අති නවීන උපකරණ තමිල්නාඩුවේ ඇත. මේවාට දත්ත ලබාගන්නේ චන්ද්‍රිකා මගිනි. මාළු මුදලාලිලා මේ තොරතුරු එදිනෙදා ලබාගෙන මාළු කොල්ලකෑමට අපේ මුහුදට සිය කණ්ඩායම් එවති. එම මාළු විකුණා ලබාගන්නා මුදලින් කොටසක් තමිල්නාඩුවේ දේශපාලනඥයන් අතට ලැබේ. ඒ වෙනුවෙන් ඔවුන් විසින් කළ යුත්තේ සුළු උපකාරයකි. එනම් ඉන්දියානු ධීවර සොරුන් ලංකා මුහුදට කඩා පනිනවාට එරෙහිව ලක් රජය පියවර ගත්විට එයට එරෙහිව කෑ ගැසීමය. ඩග්ලස් දේවානන්දා විසින් යෝජනා කරනු ලබන කාරණයෙහි විභවය අපි නොදනිමු. එහෙත් අපේ මුහුදු සීමාවට පැමිණ මාළු බාන්නට තමිල්නාඩු ධීවරයන්ට ඉඩ දුන්නොත් එමගින් ගින්නක් පත්තුවන බව පමණක් දනිමු.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඩෙංගු ඩබල් වෙයි

Read Next

All set to ship first consignment of eggs from India – STC

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!