මහඔය – පොල්ලෙබැද්ද ගල්වලයාය වන සංහාරයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු දමයි

මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ – පොල්ලෙබැද්ද ගල්වලයාය රක්ෂිතයේ සිදුවන වන සංහාරයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ගරු අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
ඉතාමත් සුන්දර වන පෙදෙසක් වන මෙම ප‍්‍රදේශය රඹකැන් ඔය ආශ‍්‍රිතව පිහිටා ඇති අතර මෙම කියාකාරකම් හේතවෙන් වටිනා පාරිසරික සම්පත් මිල කළ නොහැකි අයුරින් හානියට ලක්ව ඇත.පෙත්සම්කරුවන්ට අනුව පොල්ලෙබැද්ද යනු මහඔයෙහි පිහිටි වියළි කලාපයේ දුර බැහැර ගම්මානයක් වන අතර රඹකැන් ඔය ජලාශයට යන මාර්ගයේ දී හමු වේ. තවද මෙය ආදිවාසී ජනයාගේ සාම්ප‍්‍රදායික නිජබිමකි.
කෙසේ වෙතත්, වනාන්තර විනාශය හා සංවර්ධනය ඔවුන්ගේ සාම්ප‍්‍රදායික ඉඩම් හැකිලීමට බෙහෙවින් ඉවහල් වී තිබේ. මෙය ඔවුන්ගේ ව්‍යාප්තියේ පරිහානියට හේතු වී ඇති අතර පාරම්පරික උරුමයන් පවා ප‍්‍රජාවට අහිමි වීමේ අවදානමක් පවතී.රඹකැන් ඔය වේල්ල යනු ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි වේල්ලකි. ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම ජලාශය සැලසුම් කර ඉදිකරන ලද්දේ ප‍්‍රදේශයේ පානීය ජල ගැටලූවට හා වාරිමාර්ග ගැටලූවලට ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිවය.
පෙත්සම්කරුවන් සඳහන් කරනුයේ, අම්පාර දිස්ත‍්‍රික්කයේ පොල්ලෙබැද්ද ගම්මානයට ආසන්නව පිහිටි ගල්වලයාය රජයේ වනාන්තරයේ රඹකැන් ඔය ජල පෝෂක ප‍්‍රදේශයේ වනාන්තර ආවරණයෙන් මේ වන විට කෘෂිකාර්මික හා පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 500 ක පමණ භූමි ප‍්‍රමාණයක් දැනටමත් ඉවත් කර ඇති බවයි.
සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 (ඒඒ)වගන්තියට අනුව වෙනත් ලිඛිත නීතියක විධිවිධාන නොතකා මෙම පනත ක‍්‍රියාත්මක වූ දින සිට හෙක්ටයාර 1 ට වැඩි වනාන්තරයක් , වනාන්තර නොවන පරිහරණයකට පරිවර්තනය සහ හෙක්ටයාර 50 ට වැඩි වනාන්තර ඉවත් කිරීම යන සියලූ ව්‍යාපෘති 1993 ජුනි 24 දිනැති අංක 772/22 ගැසට් පත‍්‍රය යටතේ පාරිසරික බලපෑම් තක්සේරුවකට (EIA) භාජනය කළ යුතු වේ.
මෙම ප‍්‍රදේශයේ වැසියන්ගේ ජීවනෝපාය බොහෝ දුරට වනාන්තරය මත රඳා පවතී. ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් සඳහා සීමිත ප‍්‍රවේශයක් ඇති අතර බොහෝ දුරට රඳා පවතින්නේ විවිධ ඖෂධ පැළෑටි, මී පැණි සහ වෙනත් වනාන්තර නිෂ්පාදන වලින් සකස් කරන ලද දේශීය ඖෂධ මත ය. තවද, ඔවුහු ජලාශවල මසුන් ඇල්ලීම සහ මී පැණි එකතු කිරීම ඔවුන්ගේ සාම්ප‍්‍රදායික ආදායම් මාර්ග වන අතර සාම්ප‍්‍රදායික ජීවනෝපායන් වල නිරත වෙමින් සිටී. තවද මෙසේ වනාන්තර ආවරණය ඉවත් කිරීමෙන් පස සේදී ගොස් ජලාශයේ තැන්පත් වීමෙන් අවසානයේදී ජලාශය ගොඩවී යාමේ අවධානම බෙහෙවින් වැඩිය.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලාඇත්තෝද දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ඉල්ලා සිටින්නේ තම ජනයාගේ උරුමයන් සුරක්ෂිත කර දෙන ලෙස හා වටිනා පාරිසරික පද්ධතීන් ආරක්ෂා කර දෙන ලෙසය.සීතල වන්නිය,පොල්ලෙබැද්ද,ගොරිකාන වැනි ප‍්‍රදේශ තම ජනයා උපන් දා සිටම දිවි ගෙවන ප‍්‍රදේශ බව ඔහු සදහන් කරයි.
වගඋත්තරකැවන් 07 දෙනෙකුට එරෙහිව, නිසි පාරිසරික තක්සේරුවක් සිදු නොකර එම වනාන්තර ඉඩම් නීති විරෝධී අන්දමින් ඉවත් කිරීම සඳහා ජාතික පාරිසරික පනතේ ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර එම වන විනාශයන් නැවැත්වීම සදහා අතුරු තහනම් නියෝගයක් ද ඉල්ලා සිටී.

Admin

Read Previous

President says he will seek expert advice before releasing forest land for road

Read Next

Is This the End of the A-68A Iceberg?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »