Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බාසල්, රොටර්ඩෑම් සහ ස්ටොක්හෝම් සම්මුතීන් වල පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණයේදී මොකද වුනේ?

චලනි රූබසිංහ – ව්‍යාපෘති සැලසුම් සහ කළමණාකරණ නිලධාරීනි , පරිසර යුක්ති කෙන්ද්‍රය

බාසල්, රොටර්ඩෑම් සහ ස්ටොක්හෝම් සම්මුතීන් වල පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණය පසුගිය ජූනි 6 සිට 17 දක්වා ස්විස්තර්ලන්තයේ ජිනීවා නුවරදී පැවත්විනි. මෙහිදී;

1. රටවල් අතර අන්තරායක අපද්‍රව්‍ය ප්‍රවාහනය සහ බැහැර කිරීම පිළිබඳ බාසල් සම්මුතියේ 15 වන පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණයත් (CoP 15)

2. අන්තර්ජාතිකව වෙළඳාම් වන ඇතැම් අන්තරායකර රසායනික සහ පළිබෝධනාශක සඳහා පූර්ව එකඟත්වය ලබා ගැනීම පිළිබඳව වන රොටර්ඩෑම් සම්මුතියේ 10වන පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණයත් (CoP 10)

3. හායනය නොවන කාබනික රසායනික නියාමනය වන ස්ටොක්හෝම් සම්මුතියේ 10 වන පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණයත් (CoP 10) පැවැත්විනි.

මෙහිදී ගත් තීරණ පිළිබඳ මෙයින් ඔබව දැනුවත් කරන්නෙමු.

මෙවර සාකච්චාවේදී බාසල් සම්මුතිය යටතේ සියළුම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (අන්තරායකර වන හෝ නොවන) පූර්ව එකඟත්වය යටතේ පමණක් ආනයනය/ අපනයනය කිරීමේ ක්‍රියාවලියට යටපත් කරන ලදී. මේ අනූව නැව්ගත කරන භාණ්ඩ පිළිබඳව එම අපද්‍රව්‍ය අපනයනය කරන රටවලට විස්තරාත්මක තොරතුරු ලබා දීම අනිවාර්ය වේ. එසේම ආනයනය කරන රටේ අනුමැතියකින් තොරව, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපනයන කල නොහැකිවනු ඇත. ඒ අනූව යම් රටක ආයතනයකට/ පුද්ගලයෙකුට ඉලෙක්ට්‍රොනික කසළ අපනයනය කිරීමට අවශ්‍ය නම් එහි සංයුතිය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබා දී ඒ සඳහා පූර්ව අනුමැතියක් ලබාගත යුතු අතර ශ්‍රී ලංකාව තුල මෙම තීරණය ක්‍රියාත්මක කල යුතු රාජ්‍ය ආයතනය වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි. මෙම තීරණය හුදෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල මිනිසුන්ගේ සෞඛ්‍ය සහ පරිසරයට හානිකර විය හැකි අපද්‍රව්‍ය ඇතුළුවීම වළක්වාලීම වෙනුවෙන් ගන්නා ලදී.

පරිසර යුක්ති කේන්ද්‍රය මින් පෙර, ආනයනය කරන ලද කසළ කන්ටේනර් 263 නැවත එංගලන්තයටම ප්‍රතිඅපනයනය කිරීමට අදාල නිලධාරීන්ට ලබාදුන් නියෝගය ලබාගන්නා ලද්දේ ද මෙම සම්මුතිය හරහායි. නමුත් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නැවත භාවිතය මෙන්ම අලුත්වැඩියාව සඳහාද රටවල් අතර හුවමාරුවන බව බලධරයින් මතක තබාගත යුතුව ඇත.

මෙහිදී ගත් වෙනත් තීරණ අතර;

රසදිය අඩංගු අපද්‍රව්‍ය සඳහා තාක්ෂණික මාර්ගෝපදේශ සම්මත කිරීම,

හායනය නොවන කාබනික රසායනික අඩංගු අපද්‍රව්‍ය බැහැර කිරීම, අන්තරායකර අපද්‍රව්‍ය දහනය, සහ අන්තරායකර අපද්‍රව්‍ය බැහැර කිරීම පරිසර හිතකාමී ලෙස සිදු කිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ යතාවත් කිරීම,

ඉවතලන ඊයම්-අම්ල බැටරි (ලෙඩ් ඇසිඩ් බැටරි) පරිසර හිතකාමී ලෙස කළමණාකරණය සඳහා තාක්ෂණික මාර්ගෝපදේශ යතාවත් කිරීම,

වෙනත් බැටරි වර්ග පරිසර හිතකාමී ලෙස කළමණාකරණය සඳහා තාක්ෂණික මාර්ගෝපදේශ සෑදීම ආරම්භ කිරීම,

ආදිය වේ.

ස්ටොක්හෝම් සම්මුතිය යටතේ ගන්නා ලද වැදගත් තීරණයක් වන්නේ ඇඳුම්වල පැල්ලම් ඇති නොවීම සඳහා, ගිනි නිවන ද්‍රව්‍යයක් ලෙස, ආහාර ආසුරණ තුල ආදියෙහි යොදා ගනු ලබන හායනය නොවන කාබනික රසායනිකයක් ලෙස හඳුනා ගත් ප’ෆ්ලූරොහෙක්සේන් සල්ෆොනික් ඇසිඩ් එහි ලවණ සහ ඊට සබැඳි රසායනික 80 ක් පමණත්, එහි ඇමිනුම “ඒ” තුලට ඇතුලත් කිරීමයි. ඒ අනූව මෙම රසායනිකය තවදුරටත් නිශ්පාදනය කිරීම මෙන්ම භාවිත කිරීම තහනම් කිරීම පාර්ශව කරුවන්ගේ වගකීම වනු ඇත. එසේම, මෙම තීරණයත් සමඟ පැන නගින නවතම ගැටලුව වන්නේ එම රසායනිකය අඩංගු ද්‍රව්‍ය බැහැර කිරීම්යි. එසේම නව නිශ්පාදන සඳහා වෙනත් විකල්ප භාවිතයට නිශ්පාදකයන් යොමුකල යුතුව ඇත.

ගන්නා ලද වෙනත් තීරණ අතර;

වසර 2025 වන විට පීසීබී (පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල්) සහ ඩීඩීටී අඩංගු උපකරණ භාවිතයෙන් පූර්ණවශයෙන් බැහැර කිරීම,

පීසීබී (පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල්) අඩංගු අපද්‍රව්‍ය වසර 2028 වන විට පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට

දැනට රෝගකාරක පරපෝෂිතයන් පාලනයට ඩීඩීටී යොදා ගන්නා රටවල් සඳහා ඒහි අවශ්‍යතාවය සලකා බලා 2030 වන විට පූර්ණවශයෙන් භාවිතයෙන් ඉවත් කිරීම සඳහා සැලසුම් කිරීමට උපදෙස් නිකුත් කිරීම

ආදිය විය.

පරිසර යුක්ති කේන්ද්‍රය මුලින්ම පීසීබී (PCB) (පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල්) කළමණාකරණයට මැදිහත් වූයේ 2012 වසරේදී පමණය. තහනම් සංයෝගයක්ව තිබියදීත් “ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ්” ලෙස අර්ථකථනය කරමින් නිදහසේ ගෙන්වන පීසීබී අඩංගු ට්‍රාන්ස්ෆෝමර ඇතුළු වෙනත් උපකරණ එච් එස් සංකේත සමඟම නිරාවරණය කල පරිසර යුක්ති කේන්ද්‍රය, මෙම පීසීබී අඩංගු ට්‍රාන්ෆෝමර් තෙල් මිනිසුන් විසින් තුවාල වල ආලේපකරන ලද බව පවා සමීක්ෂණයක් හරහා පෙන්වා දෙන ලදී. ඒ අනූව අද වනවිට යුනිඩෝ ආයතනය හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය තුලින් මේවන විටත් පීසීබී අඩංගු ට්‍රාන්ෆෝමර හඳුනා ගැනීමටත්, ඒවා පිරිසිදු කිරීමට මෙන්ම පීසීබී අඩංගු තෙල් භාවිත වන වෙල්ඩින් ප්ලාන්ට් හඳුනා ගනිමින් ඒවා පීසීබී රහිත තෙල් වලින් ප්‍රතිස්ථාපනය කිරීමටත් කටයුතු කරයි. අවාසනාවකට මෙන් මෙම ව්‍යාපෘතිය යටතේ දියත් කිරීමට නියමිතව තිබූ මව්කිරිවල අඩංගු පීසීබී ප්‍රමාණය පිළිබඳ පර්යේශණය පසුගියදා ඉවත දැමිණි. පාසල් මෙන්ම විශ්ව විද්‍යාල සඳහා “සැලකිය යුතු රසායනික” (Chemicals of concern) පිළිබඳ විෂය නිර්දේශ සැකසීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරිණි. එම නිසාම මෙම පීසීබී පිළිබඳ තීරණ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව දැනටමත් අරඹා ඇති බව සතුටින් කිව හැක.

රොටර්ඩෑම් සම්මුතිය යටතේ; ඩෙකාබ්‍රෝමොඩයිෆීනයිල් ඊතර් සහ ප’ෆ්ලූරො ඔක්ටොනික් ඇසිඩ් එහි ලවණ සහ ආශ්‍රිත රසායනික පූර්ව එකඟත්වය යටතේ පමණක් ආනයනය/ අපනයනය කිරීමේ ක්‍රියාවලියට යටපත් කරන ලදී. එසේ වුවද මෙම ලැයිස්තුගත කිරීමට ඇතුලත් කිරීමට යෝජිතව තිබුණු, ඊට අදාල සියළු සුදුසුකම් සපුරා තිබුණු ක්‍රිසොලයිට් (සුදු ඇස්බැස්ටෝස් ), ඇසිටොක්ලොර්, කාබොසල්ෆාන්, ෆෙන්තියොන් (ක්‍රියාකාරී සංඝටකය ලෙස ලීටරයට ග්‍රෑම් 640ට වඩා අඩංගු සංයෝග ), සහ පැරකොට් ඩයික්ලෝරයිඩ් ලීටරයට ග්‍රෑම් 276 හෝ ඊට වඩා අඩංගු සංයෝග ආදිය ඇතුලත් කිරීම පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකුගේ විරෝධතාවය මත ඉවත දැමුනි. එසේ වුවද අවම වශයෙන් මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට හානිකර හායනය නොවන රසායනික දෙකක් පිළිබඳව ගත් තීරණය පරිසර ක්‍රියාකාරීන්ගේ පැසසුමට ලක් විය.

මෙසේ ගෝලීය වශයෙන් පාරිසරික සහ මානව සුභසිද්ධිය සඳහා ගන්නා ලද තීරණ ශ්‍රී ලාංකීය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ප්‍රතිපත්ති සහ තීරණ තුලට ඇතුළුකර ගැනීම මෙරට බලධරීන් සතු වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ.

මූලාශ්‍ර:

http://www.pic.int/Implementation/PublicAwareness/PressReleases/BRS2022COPsconclude/tabid/9215/language/en-US/Default.aspx

https://ipen.org/conferences/brs-cop-2022/interventions

Chandana Sesath Jayakody

Read Previous

පශු සම්පත් මණ්ඩලේ පොල් ගෙඩි ලක්ෂ 17ක් ගබඩාවල පැළවෙලා

Read Next

අපහාස නීතිය අලු‍ත්කිරීම කාලෝචිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!