බ්‍රෝකර් ගාස්තුව!

මෙයට අවුරුදු 33 ට පෙර අද ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණය තිබෙන තැන තඩි මඩ වළක් විය. මේ මඩ ගොහොරුවේ තැනින් තැන ගොඩකරගත් දුගී ජනයා කුඩා පැල්පත් සාදාගෙන බෙහෙවින් දුක්ඛිත ජීවිත ගත කළහ. මේ කියන කාලයේදී මේ රටේ අගමැති ආර්. පේ‍්‍රමදාස ය. කොළඹ නගරාධිපති සිරිසේන කුරේ ය. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ද එකල ඉතා වේගයෙන් ඉහළට නැගෙමින් තිබිණ. ඒ නිසා කොළඹ නගර සීමාව තුළ අලූත් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් තැනිය යුතු බව අගමැති පේ‍්‍රමදාසට කල්පනා විය. ඔහු සිය අරමුණ සිය ළඟම හිතවතා වූ සිරිසේන කුරේට දැන්වූ කල සිරිසේන කුරේ කියා සිටියේ ඛෙත්තාරාමේ මරු තැනක් තිබෙන බවය. ඊළඟ මොහොතේදී අගමැති පේ‍්‍රමදාස සහ සිරිසේන කුරේ දෙපළ ඛෙත්තාරාමයේ විශාල මඩ ගොහොරුව බැලීමට ගියහ.

මඩ වළ සහ එයට යාබද මුඩුක්කුව දුටු අගමැති පේ‍්‍රමදාස ඔළුවේ අත ගසා ගත් බව ඔබ කල්පනා කරන්නේද? කිසිසේත්ම නැත. ”අයිසේ මේක මරු තැන. මෙතන ගොඩ කරලා ක‍්‍රිකට් ග‍්‍රවුන්ඞ් එකක් හැදුවොත් මේ ඒරියා එක සම්පූර්ණයෙන්ම දියුණු වෙනවා” අගමැතිතුමා පුරපති සිරිසේන කුරේට කිව්වේය. ”අපි මේක භාරදෙමු ඉංජිනේරු සංස්ථාවට” අවුරුදු දෙකක් හෝ දෙකහමාරක් වැනි කාලයක් තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කිසිම රටකින් සල්ලි ණයට නොගෙන ලංකාවේ රුපියල් පාවිච්චි කොට ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණය ගොඩනැඟුවේය. වැඩිදෙනා නොදන්නවාට මේ ක‍්‍රීඩාංගණය තුළ හතළිස් දාහකට ඉඳගෙන මැච් බැලිය හැකිය. රාති‍්‍ර ක‍්‍රීඩා තරඟ සඳහා ද මෙහි විශේෂ ආලෝක පහසුකම් ඇත. එයට ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය යන නම යොදන්නේ ආර්. පේ‍්‍රමදාස මහතාගේ මරණයෙන් පසුවය.

ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණය මෙකල තිබෙන ඇතැම් යෝධ ඉදිකිරීම්වලට හොඳ පාඩමකි. අද පොදු කක්කුස්සියක් සෑදීම සඳහා අවශ්‍ය වුවද මේ රට දුවන්නේ පිටරටක් වෙතය. ඊළඟට ඒ සඳහා ලොකු පොලියකට දිගු කාලීන හෝ කෙටිකාලීන ණයක් ගනු ලැබේ. පිටරටවල් කෙටිකාලීන ණය දීමට ඉතා කැමැතිය. ඒ ඉක්මනින්ම පොලියත් සමග අයකර ගැනීමට හැකි බැවිනි. ඒ සඳහා දෙන බ්‍රෝකර් ගාස්තුව හෝ කොමිස් මුදල ද වැඩිය. සමහරවිට අදාළ ව්‍යාපෘතිය ඉදිකර අවසන් වීමට කලින් එයට අතරමැදි වූ බ්‍රෝකර් තැන ව්‍යාපෘතියෙන් කාලක් තරම් විශාල තමන්ගේම ඉදිකිරීමක් වෙනත් තැනක කරනවා ඇත. 1962 දී රාජ්‍ය කර්මාන්ත ආයතන පනත යටතේ පිහිටුවන ලද ඉංජිනේරු සංස්ථාව යනුවෙන් යමක් තිබෙනවා ද යන්නවත් අද වන විට මතක නැත. මේ ආයතනය තුළ අති දක්ෂ සැලසුම්කරුවොත් ඉංජිනේරුවොත් ඉදිකරන්නෝත් සේවය කරති. එහෙත් අද මේ ආයතනයට ලැබෙන්නේ දේශපාලනඥයකුට හෝ වෙනත් බලධාරියකුට කිසිදු කොමිසක් ගසා කෑමට ඉඩ නොලැබෙන හාන්චිපයිස් ව්‍යාපෘති පමණි. අත යටින් ගාණ කැරකෙන වැඩ සියල්ලම පිටරට ඉදිකිරීම් සමාගම්වලට ප‍්‍රදානය කරනු ලැබේ. සමහර ඒවා ටෙන්ඩර් හරහා පිටරටට දෙනු ලැබේ. තවත් සමහර ඒවා ටෙන්ඩර් නැතිවම ප‍්‍රදානය කෙරේ. ඒ වැඬේ ටෙන්ඩර් නැතුව දුන්නේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත‍්‍රී කෙනකු අසන තාක් කල් වැඬේ යටගොස් පවතී. එම ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවේදී නොඇදුනොත් සදාකාලිකවම රහසක් ලෙස පවතිනවා ඇත. විවිධ ඉදිකිරීම් සඳහා වෙන රටවල ඉංජිනේරු සංස්ථා පස්සේ දුවන ආණ්ඩුව 60 අවුරුද්දක ඉතිහාසයක් ඇති මේ රටේ ඉංජිනේරු සංස්ථාව අමතක කිරීම හෙණ ගහන අපරාධයකි. තුල්හිරියේ දැවැන්ත රෙදි මෝල ඉදිකළේ ඉංජිනේරු සංස්ථාවය. කොළඹ ග‍්‍රහලෝකාගාරයත්, කළුතර බෝධියේ සුවිශාල බුබ්බුලාකාර කොන්ක‍්‍රීට් චෛත්‍යයත්, ශ‍්‍රී දළදා මාලිගාවේ රත්තරන් පියස්සත් ඉදිකළෝ ඔවුහුම ය. අග්ගබෝධි රජතුමා ක‍්‍රිස්තු වර්ෂ 600 දී අඩි 37 අඟල් 10 ක් උස බුද්ධ ප‍්‍රතිමාවක් ඌව පළාතේ මාලිගාවිල දී හුණු ගලෙන් ඉදි කළේය. මෙයට ශතවර්ෂ ගාණකට පෙර මේ පිළිමය බිමට ඇද වැටී කැබලි කිහිපයකට කැඩිණ. මෙය නැවත සිටුවා පිහිටුවීම ඉතා දුෂ්කර කාර්යයක් විය. ඒ සඳහා කැමැත්ත පළ කළ එකම ආයතනය වූයේ ඊජිප්තුවේ නයිල් ගෙඟ් ගංවතුරෙන් පරිස්සම් කර ගැනීමට, එම ගං ඉවුරේ පිහිටි අවුරුදු 5000 ක් පැරණි අබු සිම්බල් වැලිගල් දේවාලය කැබලි කපා වෙනත් තැනක සවි කළ යුරෝපීය ආයතනය පමණි. එහෙත් ඔවුන්ගේ ඉංජිනේරු ගාස්තුව දැරීමට ලක් රජයට කිසිසේත් බැරි විය. මෙහිදී ඉදිරිපත් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එහි ඉංජිනේරුවකු වූ ආචාර්ය ගැමුණු සිල්වා ලවා පිළිමය කෙළින් කොට ප‍්‍රතිෂ්ඨාපනය කර දුන්නේය. අප මේ උදාහරණ ස්වල්පය සටහන් කළේ ඉංජිනේරු සංස්ථාවට විවිධ ක්ෂේත‍්‍රවල තිබෙන හැකියාව ගැන කීමට ය.

ඛෙත්තාරාමයේ ආසන 40000 සේ ක‍්‍රීඩාංගණය ඉදිකළ ඉංජිනේරු සංස්ථාවට 2009 දී පල්ලේකැලේදී විවෘත කළ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය හැදීමට ඉඩ ලැබුණේ නැත. ඒ ටෙන්ඩරය වෙන රටකට ගියේය. ඒ සමගම තනන ලද හම්බන්තොට ක‍්‍රිකට් ස්ටේඩියම් එකේ කොන්ත‍්‍රාත්තුව ගියේද වෙන රටකට ය. එහි ධාරිතාව ආසන 35000 ක් පමණි. අද සියලූම අධිවේග මාර්ග සෑදීමටත් රජයේ සියලූම ඉදිකිරීම් සඳහාත් ආණ්ඩුව දුවන්නේ වෙන රටවල්වලට ය. ඒ රටවල් අපට ව්‍යාපෘතිය සඳහා පොලියට මුදල් දෙයි. එයට කොන්දේසියක් තිබේ. අදාළ ඉදිකිරීම සඳහා සියලූ අමුද්‍රව්‍යය මිලට ගත යුත්තේ ණය නිකුත් කරන ආයතනය පිහිටි රටෙනි. ශ‍්‍රමිකයන්ගෙන්ද 75% ක් වත් ඒ රටින් ගත යුතුය. ඉදිකිරීම අරඹා ස්වල්ප කලකින් ප‍්‍රධාන ඉදිකිරීමේ වැඩ හැර සෙසු වැඩ සියල්ලම ලංකාවේ උප කොන්ත‍්‍රාත්කරුවන්ට භාරදෙනු ලැබේ. පිටරටවල් සමග වැඩ කිරීමට යෑම ඉතා භයානක ය. දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස තිබෙන ආරක්ෂිත වැටවල් ඉදිකළ ඇතැම් දේශීය කොන්ත‍්‍රාත්කරුවන්ට අදටත් සල්ලි ලැබී නැත. ඒ වැඬේ භාරගත් විදේශීය සමාගම් වැඬේ නිමකර සිය රට බලා ගොස් ඇති බැවින් නඩු කීම ද ඉතා දුෂ්කර ය.

1970 දී බලයට පත්වූ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවත් 1977 දී බලයට පත්වූ ජයවර්ධන ආණ්ඩුවේ මුල් කොටසේදීත් කිසිම රටකින් ණයට ගෙන ඉදිකිරීම් නොකරන ලදී. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව මෙරටට ලැබුණු ආධාරයකි. වික්ටෝරියා යෝජනා ක‍්‍රමය සහ රන්දෙනිගල යෝජනා ක‍්‍රමය ද ඒ ආකාරයෙන්ම ආධාර ලෙස මෙරටට ලැබිණ. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. සියලූ ප‍්‍රතිපත්ති බ්‍රෝකර් ගාස්තුව මත තහවුරු වී ඇත. මේ රටේ ගොවිතැන් කටයුතු සඳහා මහා පරාක‍්‍රමබාහු රජතුමා ඉදිකරවූ පරාක‍්‍රම සමුද්‍රය තනිකරම දේශීය ශ‍්‍රමයේ සහ නිර්මාණශීලිත්වයේ ප‍්‍රතිඵලයකි. එයට හේතුව පරාක‍්‍රමබාහු රජතුමා කොමිස් අරබයා බ්‍රෝකර්ලා සමග වැඩ නොකිරීම වන්නට පුළුවන. ගොවිජනපද ව්‍යාපාරය සඳහා වතුර දීම පිණිස අගමැති ඞී. එස්. සේනානායක ඉදිකර වූ සේනානායක සමුද්‍රය තනිකරම දේශීය නිර්මාණයකි. ලංකාවේ වාරි කර්මාන්තය කොපමණ විචක්ෂණ දේශීය තාක්ෂණයක් මත පදනම් වී තිබිණි ද යන්න ආර්. එල්. බ්‍රෝහියර් ලියූ Ancient irrigation works in Ceylon නමැති පොතෙන් බලාගත හැකිය. බ්‍රෝහියර් ද බ්‍රෝකර් ලාගෙන් විනිර්මුක්ත වාරි පර්යේෂකයෙකි.

මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

දෙවැනි බූස්ටර් එන්නතට ජර්මනියේ අනුමැතිය

Read Next

වික්ටෝරියා ජලමට්ටම අඩුවී ජනතාවට පීඩා

Leave a Reply

Your email address will not be published.

Translate »