පොහොර: විද්‍යාත්මක විමසුමක්

2021 මැයි 10 Daily FT පුවත්පතේ පළවූ
“The Science of Fertilizers and Consequences of Banning Chemical Fertilizers”
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

උපුටා ගැනීම ලංකාදීීප වෙබ් අඩවිය

මෙතෙක් කල් ශ්‍රී ලංකාව තුළ භාවිතා කළ රසායනික පොහොර වර්ග ආනයනය සහ භාවිතය තහනම් කරමින් ගන්නාලද තීරණයේ විනාශකාරී ප්‍රතිඵල දැක මේ ලිපිය ලියන්නට මට සිත්විය. විද්‍යාඥයකු ලෙස, ශාක සහ කෘෂිකර්මයට අදාළ විද්‍යාත්මක තතු පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමක් හා බැඳීමක් මා හට ඇතැයි මම සිතමි. මෙම තහනම නිසා රට පුරා පැතිරෙන ආහාර හිඟයක් සහ තේ, රබර්, පොල් ඇතුළු අපගේ අනෙකුත් කෘෂි අපනයනවල වෙළඳපොළ බිඳවැටීමකුත් නිර්මාණය වනු නියතය.

රසායනික පොහොර ආනයනය සහ භාවිතය තහනම් කිරීම තතු නොසොයා, නොසැලකිල්ලෙන් ගත යුතු තීරණයක් නොව, එය විද්‍යාත්මක සාක්‍ෂි වඩාත් සැලකිල්ලට ගෙන කල්පනාකාරීව ගත යුතු තීරණයකි. සමස්ත ජාතියේ ආහාර සුරක්‍ෂිතතාවට සහ ජීවන පැවැත්මට බලපාන තීරණ රජය විසින් ආවේගශීලී ලෙස නොගත යුතුය.

අප වසංගත තත්ත්වයක පසුවන නිසා ලෝකය පුරා ඉන්නා සියලු ජාතීන් තම රටවල ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කර ගැනීම කෙරේ වඩාත් සැලකිල්ලෙන් යුතුව ඊට ප්‍රමුඛතාව දිය යුතුවේ. මෙවැනි අර්බුද සමයක කිසිම රජයක් මෙවැනි තීරණයක් ගනු ඇතැයි මම විශ්වාස නොකරමි.

මෙම තීරණය ගත යුත්තේ විද්‍යාඥයන්ගෙන් සහ කෘෂිකාර්මික විශේෂඥයන් වෙතින් නිසි උපදෙස් ගෙන, සාගතයක් ඇතිවන්නට ඉඩ නොදී, කාබනික කෘෂිකර්මයට ප්‍රමුඛතාව දෙන වැඩපිළිවෙළකට ක්‍රමානුකූලව මාරුවන ආකාරයේ හොඳින් වර්ධනය වූ සැලැස්මක් සහිතවයි.

කාබනික කෘෂිකර්මාන්තය පදනම් කරගත් ක්‍රමයට හා සාම්ප්‍රදායික රසායනික පොහොර භාවිත හා කාබනික කෘෂිකර්මය මිශ්‍රිත ක්‍රමයකින් තුලිත ලෙස මාරු වීමට අවශ්‍ය වේනම් ඒ සඳහා නිසි සැලැස්මක් තිබිය යුතු බව විද්‍යාත්මක පර් යේෂණවලින් ලත් දැනුමෙන් හා වසර ගණනාවක් පුරා ලත් අත්දැකීමෙන් මම හොඳින් පසක් කරගත්තෙමි.

සම්ප්‍රදායික රසායනික පොහොර මත යැපීම (පදනම්ව සිටීම) අඩු කරගැනීමේ ප්‍රවණතාවක් කරා යා යුතු නම් ඒ සඳහා ක්‍රමානුකූලව යොමු වීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

දැනට පවතින තාක්‍ෂණය යටතේ සාම්ප්‍රදායික රසායනික පොහොර භාවිතය යම් මට්ටමක් දක්වා ක්‍රමානුකූලව අඩු කිරීම කළ හැකිය. යම් මට්ටමක් දක්වා හා ක්‍රමානුකූලව යන පද මෙහිදී විශේෂයෙන් අවධාරණයට ගත යුතුය.

පොහොරවල රසායනික ගුණය නිසි පරිදි නිපදවීම හා කළමනාකරණය කරන්නේ නම් එයම දිලීර රෝග හා බැක්ටීරියා රෝග පාලනය උදෙසාත්, කෘමි නාශක භාවිතය අඩු කිරීම සඳහාත් භාවිත කළ හැකිය. කෙසේ වුවද එම වර්ගයේ තාක්‍ෂණයක් ශ්‍රී ලංකාව තුළ නොමැත. කෘෂිකාර්මික ජාතියක් ලෙස එම වර්ගයේ තාක්‍ෂණය උදෙසා ආයෝජකයන ඇද ගැනීමට කටයුතු කළ යුතුය. අවාසනාවකට මෙන් මෙවැනි අදූරදර්ශී නොසැලකිලිමත් තීරණ නිසා ශ්‍රී ලංකාවට එවැනි ආයෝජකයන් පැමිණීමද වැළැකේ. ජීවිතයත් මරණයත් අතර කාරණා සම්බන්ධයෙන් පදනම් විරහිත, තර්කානුකූල නොවන තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාව තුළ ඇති විදේශ තානාපති කාර්යාල ඒ ගැන බැරෑරුම් ලෙස සලකා බලන බවට සැකයක් නැත. මන්දයත් එම තීරණ ආයෝජකයන්ට පමණක් නොව ජනතාවටත් ඔවුන්ගේ ආහාර සැපැයුමටත් බලපාන බැවිනි. ඒ හරහා වර්ධනය වන ව්‍යසනවලට ජනාධිපතිවරයා වෙත එම තීරණ ගැනීම උදෙසා උපදෙස් දෙන සියල්ලන් වගකිව යුතුය.

ශාක පෝෂක විද්‍යාව

වර්ධනය වීමට සහ හොඳ අස්වැන්නක් නිෂ්පාදනය කිරීමට බෝග සඳහා මූලද්‍රව්‍ය 16ක් අවශ්‍ය වේ. කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O), නයිට්‍රජන් (N), පොස්ෆරස් (P), පොටෑසියම් (K), කැල්සියම් (Ca), මැග්නීසියම් (Mg), ගෙන්දගම් හෙවත් සල්ෆර් (S), බොරොන් (B), ක්ලෝරීන් (Cl), තඹ (Cu), යකඩ (Fe), මැන්ගනීස් (Mn), මොලිබිඩිනම් (Mo) සහ සින්ක් හෙවත් තුත්තනාගම් (Zn) එම මූලද්‍රව්‍ය වේ. ඇතැම් බෝගවලට නිකල් (Ni) සහ ඇලුමීනියම් (Al) යන මූලද්‍රව්‍යද විශේෂ කර්තව්‍යයක් උදෙසා අවශ්‍ය වේ. කාබන් (C), හයිඩ්‍රජන් (H) සහ ඔක්සිජන් (O) ලබාගන්නේ වාතයෙන් සහ ජලයෙනි. මෙම මූලද්‍රව්‍ය තුන උදෙසා රසායනික පොහොර හෝ කාබනික පොහොර භාවිත වන්නේද යන්න අදාළ නොවේ. ශාක, නයිට්‍රජන් (N) අවශෝෂණය කරගන්නේ ඇමෝනියම් (NH+) හෝ නයිට්‍රේට (NO3) මගිනි. පොස්ෆරස් ලබාගන්නේ පොස්ෆේට් මගිනි. (PO4-3) පොටෑසියම් ලබාගන්නේ පොටෑසියම් අයන (K+) මගිනි. සල්ෆර් ලබාගන්නේ සල්ෆේට (SO 4-2) මගිනි. කැල්සියම් Ca+2 අයන මගින්ද, මැග්නීසියම් Mg+2 ලෙසත්, බොරොන්, බෙරේට (BO 3-3) වලින්ද, තඹ Cu+2 ලෙසත් යකඩ Fe+2 ලෙසත්, මැන්ගනීස් Mn+2 අයන ලෙසත්, මොලිබ්සනම්, මොලිබේට (Mo O4-2) ලෙසත්, තුන්තනාගම් හෙවත් සින්ක් 2n+2 ලෙසත් ශාක අවශෝෂණය කර ගනී.

මෙම මූලද්‍රව්‍ය රසායනික පොහොරවලින් සැපැයුවත්, කාබනික පොහොර මගින් සැපැයුවත් ශාක මෙම මූලද්‍රව්‍ය අවශෝෂණය කරගන්නේ එකම ආකාරයටයි. ඒවායේ ප්‍රභවය අනුව එහිදී වෙනසක් සිදු නොවේ. රසායනික පොහොරවල යෙදීමේදී මෙම පෝෂක ඉහළ ප්‍රතිශතයකින් ලැබෙන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ කුඩා ප්‍රමාණයකි. සමහර සංයෝගවලට මූලද්‍රව්‍ය කිහිපයක්ද සැපැයීමේ හැකියාව ඇත. (මොනො පොටෑසියම් පොස්ෆේට්වලට පොටෑසියම් සියයට 34ක්ද පොස්ෆරස් සියයට 52ක්ද ලබාදිය හැකියි) තීරණාත්මක ලෙස වැදගත් වූ මෙම පෝෂ්‍ය පදාර්ථ කාබනික ප්‍රභව තුළ සොයාගත නොහැකිය. මෙය කාබනික කෘෂිකර්මය වෙත මාරු වීමේදී දැන ගත යුතු ලොකුම කඩුල්ලයි. නයිට්‍රජන් සැපැයෙන කෘත්‍රිම ප්‍රභව නම් යූරියා, ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් සල්ෆේට්, ඩයි ඇමෝනියම් සහ මොනො ඇමෝනියම් පොස්ෆේට් යන ඒවාය. මේ සියල්ලගෙන් අද දවසේ පෘථූල ලෙස භාවිත වන ලාභදායීම නයිට්‍රජන් ප්‍රභවය වන්නේ යූරියාය. එසේම යූරියාවල සාපේක්‍ෂව සියයට 46ක තරම් වැඩි නයිට්‍රජන් ප්‍රතිශතයක් පවතී. 2019 වසරේදී ලෝකයේ කෘෂිකාර්මික කටයුතු උදෙසා යූරියා ටොන් මිලියන 198ක් පරිහරණය වී තිබේ. නයිට්‍රජනීය පොහොර භාවිතයෙන් තොර වූයේ නම් ලෝකයේ ජනගහනය අඩක් දක්වා පමණක් බව එය පදනම් කොට කිව හැකිය. නයිට්‍රජනීය පොහොර භාවිතයෙන් තොර වූයේ නම් ශ්‍රී ලංකාවේ අද සිටින්නේ මිලියන 22ක ජනගහනයක් නොව මිලියන 11ක ජනගහනයක් බව ඒ අනුව (දන්නා දත්ත අනුසාරයෙන් නොදන්නා දත්ත කියන කලාවට අනුව) කිව හැකි වේ.

වාසි සහ අවාසි
රසායනික පොහොර හා කාබනික පොහොර පදනම් කරගත් ගොවිපොළ ක්‍රමවලට ඒවාටම අදාළ වූ වාසි අවාසි පවතී. රසායනික පොහොර භාවිතයේදී බෝගයට අවශ්‍ය මූලද්‍රව්‍ය නිශ්චිත ලෙසම සැපැයීම කළ හැකිය. මෙම මූලද්‍රව්‍ය ඉහළම දියවීමේ හැකියාවෙන් යුතු ආකාරයට සූදානම්ව පවතින නිසා පැලෑටිවලට ඒවා පහසුවෙන් උරාගත හැකිය. රසායනික පොහොර සංයෝගකරණය නිශ්චිත ලෙස හා පාලනයකින් යුතුව කළ හැකි වන අතර නිතරම එක් කාණ්ඩයක සිට තවත් කාණ්ඩයක් එක සමාන අයුරින් නිෂ්පාදය කළ හැකිය. එම නිසා නිෂ්පාදිතයේ එක සමාන ආකාරයක් ඇත. (මෙය ඖෂධ නිෂ්පාදනයේ පවතින ඒකාකාරී බව හා සමානය.) මේ හේතුව නිසා රසායනික පොහොර යොදා බෝග සැලසුම්කරණය ඉතා පහසු වේ. වර්තමානයේ වගා කරන සෑම බෝගයකටම ප්‍රශස්ථ අස්වැන්නක් ලබාගැනීම සඳහා ලබාදිය යුතු සෑම මූලද්‍රව්‍ය ප්‍රමාණයක්ම හොඳින් දත හැකිය. වාණිජ පොහොර භාවිතයෙන් සෑම බෝගයකටම අවශ්‍ය වන දෑ නිශ්චිතවම සම්පාදනය කිරීමේ හැකියාව ඇත.

කෙසේ වුව ද ඖෂධ නිෂ්පාදන භාවිත කරන රෝගියකු වෛද්‍ය නිර්දේශය මත නිසි ඖෂධ මාත්‍රාව ගත යුතු වනවා සේම ගොවියකු ද යෙදිය යුතු පොහොර නිර්දේශය හරියටම අනුගමනය කළ යුතුය. මෙම යෙදිය යුතු පොහොර ප්‍රමාණය පිළිබඳ නිර්දේශ නිසි ලෙස අනුගමනය නොකරන අවස්ථාවල සිදුවන්නේ ‘වැඩියෙන් දැමූ විට වඩා හොඳය’ යන මානව ප්‍රවණතාව අනුව ක්‍රියා කිරීමයි. වාණිජ පොහොර පමණට වඩා යෙදීමෙන් සිදුවන්නේ අමතර පෝෂ්‍ය පදාර්ථ භූගත ජලයටත්, ජල ප්‍රවාහයන්ටත් එක්වීමයි. ජල ධාරාවල පමණට වඩා නයිට්‍රජන්, පොස්ෆරස් ආදී ශාක පෝෂණ තැන්පත් වීමත්, ඒවායේ ආම්ලික තත්ත්වය පමණට වඩා වැඩි වීමත් එහි ප්‍රතිඵලය වේ. මෙම තත්ත්වය මානව සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ද බලපෑම් කරයි. මෙකී පොහොර යොදන නිසි ප්‍රමාණය කෙරේ ශ්‍රී ලාංකීය ගොවියා විශ්වාසය තබා ඒ අනුව කටයුතු කළමනාකරණය කරන්නේදැයි මම හරිහැටි නොදනිමි. එසේ නොවන්නේ නම් පමණට වඩා පොහොර යෙදීම හේතුවෙන් ඒ සමඟම සෞඛ්‍ය ගැටලු ද ඇති වේ.

අඩු මිලක් ඇති, වඩා පිරිසුදු රසායනික පොහොර අඩු වියදමකින් නිෂ්පාදනය කිරීමට නවීන තාක්‍ෂණය සමත් වේ. ඒ අතරම බැර ලෝහ අවම ලෙස පොහොරවල පවතින ආකාරයෙන් ඒවා නිෂ්පාදනය කිරීමට ද නවීන තාක්‍ෂණයට හැකිය. හරිත යූරියා (Green Urea) මීට හොඳ උදාහරණයකි. අඩු බලශක්තියක් භාවිත කොට හරිත යූරියා නිෂ්පාදනය කළ හැකිය. නැනෝ තාක්‍ෂණය භාවිත කිරීමෙන් මුක්ත වන හරිතාගාර වායු ප්‍රමාණය ද එහිදී අවම කළ හැකිය. සාම්ප්‍රදායික යූරියා නිෂ්පාදනයේදී, නිෂ්පාදනය වන සෑම යූරියා ටොන් එකකටම කාබන්ඩයොක්සයිඩ් (CO2) ටොන් 5ක් නිකුත් වීම සිදුවේ. එහෙත් හරිත යූරියා නිෂ්පාදනයේදී, ටොන් එකකට මුක්ත වන CO2 ප්‍රමාණය ටොන් දෙකකටත් අඩුය.

සාම්ප්‍රදායික රසායනික පොහොර හා සසඳා බැලූ විට කාබනික පොහොර මගින් ශාකයකට සැපැයෙනු ලබන්නේ ඉතාමත් අඩු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයකි. මෙම නිසා කාබනික පොහොර විශාල ප්‍රමාණයක් යෙදිය යුතු වේ. ගුණාත්මක බවින් උසස් කාබනික පොහොර සංයෝග කිරීම සඳහා අවශ්‍ය වන බොහෝ ද්‍රව්‍ය ප්‍රමාණයක් ද ලෝකයේ නැත. ඒවායින් පොහොර ගතිය නිස්සාරය (අඹරා උපුටා ගැනීමට) කරගැනීමට ඇති ක්‍රම ද සීමිතය. සහතික කරන ලද කාබනික පොහොර වීමට නම් ඒ සඳහා යොදාගත යුත්තේ සහතික කරන ලද කාබනික ප්‍රභවයන්ය. ඒවා ද සීමිත ප්‍රභව වන අතර ඒ නිසාම ඒවා වඩාත් මිලෙන් ද අධික වෙයි.

උදාරහණයක් දක්වතොත් සියයට 46ක නයිට්‍රජන් සංයුතියකින් යුක්ත සාම්ප්‍රදායික යූරියා කිලෝ ග්‍රෑමයක් ඩොලර් ශත 88කට මිලදීගත හැකි වන අතර සියයට 12ක නයිට්‍රජන් සංයුතියේ ඇති ශාක පදනම් කරගත් කාබනික නිෂ්පාදන (ශාක පදනම් කරගත් කාබනික නයිට්‍රජන් තිබිය හැකි උපරිම % ප්‍රතිශතය එයයි.) කිලෝ ග්‍රෑමයක් ඇ.ඩො. 12ක් පමණ මිල වෙයි. එම නිසා යූරියා කිලෝ එකකට සමාන නයිට්‍රජන් ප්‍රතිශතයක් කාබනික පොහොරවලින් ලබාගැනීමට අවශ්‍ය නම් එවිට ඔබට ඇ.ඩො. 50කට ආසන්න මුදලක් ඒ සඳහා වැය කිරීමට සිදුවේ. මේ නිසා කාබනික නයිට්‍රජන් තෝරා ගැනිමේදී 50 ගුණයකට අධික වියදමක් යූරියා භාවිතයට වඩා වියදම් කරන්නට සිදුවන බව කිව හැකිය. වගාකරුවාටවත්, ආහාර පරිභෝජනය කරන පාරිභෝගිකයාටවත් එවැනි අමතර වියදමක් දැරීමේ හැකියාව නැත.

අංශු මාත්‍ර පෝෂක කොටස් ලබාගැනීම (බෝරොන්, තඹ, යකඩ, මොලිබ්ඩිනම්, මැන්ගනීස්, සින්ක් ආදිය) සඳහා සුදුසු කාබනික ප්‍රභවයක් නොමැත. මෙම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලබාගැනීම උදෙසා සාම්ප්‍රදායික රසායනික පොහොර මූලාශ්‍රවලටම යොමුවන ලෙස (සෝඩියම්, බෝරේට්, කොපර් සල්ෆේට්, අයන් සල්ෆේට්, මැන්ගනීස් සල්ෆේට්, සෝඩියම් මොලිබ්ඩේට්, සින්ක් සල්ෆේට් ආදිය වෙත) කාබනික ක්‍රමයේදී නිර්දේශ කෙරේ. එසේ නිර්දේශ කෙරෙනුයේ ද අදාළ බෝගවල එම මූලද්‍රව්‍ය ඌනතාවක් පවතින්නේ නම් පමණකි. එම නිසා කාබනික කෘෂිකර්මාන්තය ද පදනම් වන්නේද අනිවාර්යයෙන්ම අංශුමාත්‍ර මූලද්‍රව්‍ය සපයන රසායනික පොහොර මත බව පැහැදිලිය.

කාබනික මූලද්‍රව්‍ය පවතින්නේ අඩු දියවීමේ ස්වභාවයකින් නිසා අස්වනු ඉලක්ක කරගැනීමද ඉතා අසීරු වේ. රසායනික පොහොරවල මෙන් නොව කාබනික පොහොර නිසා පසෙහිත්, ශාකවලත් ඇතැම් නොදන්නා සංයෝග ඒකරාශී වීමත්, එම සංයෝගයන් පැළෑටි වර්ධනය සහ මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර වීමත් සිදුවීමට ඉඩ තිබේ. විවිධ මූලාශ්‍රවල පැවතීම නිසාත්, ප්‍රධාන වශයෙන් ඝන ද්‍රව්‍යවල ස්වරූපයෙන් පැවතීම නිසාත් පෝෂණ ඌනතාවලට කාබනික පොහොර යොදා සැනෙකින් පිළියම් කළ නොහැකිය. එම සංයෝගවල ජලයේ දියවීමට ඇති හැකියාවද ඉතා අඩුය. මෙම සංයෝග දියර ස්වභාවයේ පවතින කාබනික පොහොරවලින් ලබාගන්නා විට බඳුන්වල අවලම්බනය වන අංශු මත රැඳී එම බඳුන් පැසීමට භාජන වෙයි. එහි ප්‍රතිඵල එම බඳුන් පිම්බීමට ලක් වීමයි. ඇතැම් විට එම දියර ඉසිනවල ඉසින තුඩ (නොසලය) ඒ නිසා අවහිර වීම මහා කරදර ගෙන එන්නකි.

මත්ස්‍ය ආහාර, කටු (අස්ථි) ආහාර සහ රුධිර ආහාර ද නයිට්‍රජන් සැපයෙන කාබනික මූලාශ්‍ර ලෙස සැලකේ. ඒවා නයිට්‍රජන් සහ පොස්ෆරස් සපයන කාබනික මූලාශ්‍ර වෙයි. මේවා නිතරම සතුන්ගෙන් ලබාගන්නා නිසා ඒවා උමතු ගව රෝගය වැනි සත්ව රෝගවලට සම්බන්ධ වෙයි. කාබනික යෙදවුම් ආනයනය කිරීමද ආරක්ෂාවට එතරම් හොඳ වන්නේ නැත. ඒවා ආනයනය කරන රටේ ජෛව විවිධත්වයට ඉන් තර්ජන එල්ල විය හැකි නිසා එයින්ද ආරක්‍ෂා විය යුතුය. මෙම ශාක හෝ සත්ව කොටස් සහිත ද්‍රව්‍යවල ක්‍ෂූද්‍ර ජීවින්ගෙන් සමන්විත වීමේ හැකියාව වැඩි නිසා ජීවින්ට වසංගත තර්ජනද ඒවායින් එල්ල විය හැකිය.

ජීවන චක්‍රයට අදාළ පරිවෘත්තීය ක්‍රියාදාමය විග්‍රහයට ලක් කරමින් 2017 දී ක්ලාරික් සහ ටිල්මාන් යන විද්‍යාඥයන් කළ අධ්‍යයනයකදී පෙනී ගියේ කාබනික ක්‍රම යොදා ආහාර ඒකකයක් නිපදවීමේදී ඉඩම් වැඩියෙන් අවශ්‍යවන බවත්, ශාක පොහොර ද්‍රව්‍ය නිරපරාදේ පසට හා ජලධාරාවලට එක්වීම වැඩි බවත්ය. එම ක්‍රමයේදී වැයවෙන බලශක්ති ප්‍රමාණය අඩුවුවද එම ක්‍රමයේදී නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය රසායනික පොහොර යොදා කරන කෘෂිකාර්මික ක්‍රියාවලියේදී නිකුත් වන එම වායු ප්‍රමාණයටම සමාන බවද පෙනී ගියේය. මෙම අධ්‍යයනය සඳහා කෘෂි ක්‍රම 742ක් ද ආහාර නිෂ්පාදන ක්‍රම 90ක් ද ඉවහල් කර ගැනිණි.

සම්ප්‍රදායික රසායනික පොහොර මත යැපීම අඩුකර ගැනීමේ ක්‍රම
රසායනික පොහොර භාවිතය මතම යැපීම අඩුකර ගැනීම සඳහා පහත සඳහන් යෝජනා වැදගත් වේ.
සැකසුම් නොකළ යූරියා යෙදීම තහනම් කිරීම – යූරියාවල සියයට 46ක් නයිට්‍රජන් අඩංගුය. ඒවා යෙදූ විට පසෙහි ඇති බැක්ටීරියා යූරිස් එන්සයිමවලින් හයිඩ්‍රෙලයිස් යූරියා අනු මතුකර දෙයි. මෙම ක්‍රියාවලියේදී යූරියාවල ඇති නයිට්‍රජන්වලින් සියයට 35-50 පමණ ඇමෝනියා වායුව ලෙස නිරපරාදේ නිකුත් වේ. සැකසුම් කරන ලද යූරියා යොදා ගැනීමේදී ඇමෝනියා වායුව ලෙස නිකුත් වී නිරපරාදේ යන නයිට්‍රජන්වලින් සියයට 60-95ක් ආරක්‍ෂා කරගත හැකි වේ. ඇමෝනියම් අයන සෑදුනු විට නයිට්‍රීකරණය සහ නයිට්‍රීයහරණ ක්‍රියාවලියට මඟපෑදේ. නයිට්‍රීයකරණයේදී ඇමෝනියම් අයන නයිට්‍රයිට් සහ නයිට්‍රේට බවට පරිවර්තනය වේ. නයිට්‍රේට බොහෝ විට පසට කාන්දු වී ගලායන ජලයට එක්වේ. මෙ මගින් නයිට්‍රජන අපතේ යන ප්‍රමාණය සියයට 80කින් පමණ වැඩිවේ. නයිට්‍රීකරණ නිෂේධක වෙළඳපොළේ ඇත. ඒවා යොදා නයිට්‍රජන් අපතේ යෑම වළක්වා එම නයිට්‍රජන භාවිතය වැඩි කර ගැනීමේ හැකියාව පවතී. බොහෝ සංවර්ධිත රටවල් මේ ආකාරයේ තාක්‍ෂණ ක්‍රම යොදා ගනී. මා දන්නා තරමින් මෙම තාක්‍ෂණයත් ශ්‍රී ලංකාවේ ගොවීන් යොදා ගන්නේ නැත. මෙම තාක්‍ෂණ යොදා ගැනීමෙන් ගොවීන්ට නයිට්‍රජන් අපතේ යාම වළක්වා ගත හැකිය.

කාබනික පොහොර ඇතුළු සියලුම වර්ගයේ පොහොර වර්ග දැඩි වර්ෂා කාලයේදී යෙදීම තහනම් කිරීම. මේ මගින් ගලායන ජලය පොහොර එකතු වීම වළක්වා ගත හැකි අතර බෝග සඳහා ඒවා උපයෝග කරගැනීමේ හැකියාවද වැඩිවේ.

වඩාත් කාර්යක්‍ෂම ශාකපත්‍රවලින් තැනූ පොහොර භාවිතයට හුරුවීම. මේ මගින් පොහොර භාවිතය කාර්යක්‍ෂම වන අතරම පොළවට බලපෑමද අඩුවේ.

රනිල කුලයේ බෝග වගාකිරීමේදී ආමුකුලනයන් (Inoculants) පසට එක්කිරීම. රයිසෝබියම් සහ බ්‍රාඩ්රයිසෝබියම් එක් කිරීම මගින් රනිල බෝගවලට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතා සියයට සියයක් අඩුකරගත හැකිය. (සෝයා බෝංචි, මුං, කඩල ආදිය රනිල කුලයට අයත්ය). මෙම inoculants යෙදීම වැඩි වියදම්කාරී, මුදල් ආයෝජන කළ යුතු ක්‍රමයක් නොවන අතර, ශ්‍රී ලංකාවේ මෙම තාක්‍ෂණය හරි හැටි භාවිතයට නොගැනීම විමතියට කරුණකි.

ආනයනික පොහොරවල බැරලෝහ ප්‍රතිශතය හා පෝෂ්‍ය පදාර්ථ සහිත බව පරීක්‍ෂා කර බැලීම.
එම පොහොර ශ්‍රී ලංකාවේ පසට යෝග්‍යවේදැයි ඒ මගින් පරීක්‍ෂා කර බැලිය හැකි වේ. මෙම පරීක්‍ෂා කිරීම තුන්වැනි පාර්ශ්වයක් ලවා කරවීමෙන් රට තුළට අහිතකර පොහොර වර්ග පැමිණීම වළක්වා ගත හැකිය.

පොහොර නිෂ්පාදන ආනයන සැපයුම්වලට අදාළ පර් යේෂණ හා තීරණ ගැනීම ස්වාධීන වූ තුන්වැනි පාර්ශ්වයකට පැවරීම.

දේශීය වශයෙන් පවතින කාබනික ද්‍රව්‍ය සාදවා ගැනීම සහ ඒවා සංයෝගකරණයටත් කර්මාන්ත උදෙසා යොදා ගැනීමටත් යොමු කරවීම.

ජාතික මට්ටමේ ආයතනයක් පිහිටුවා ඒ මගින් කාබනික කෘෂි අංශය නියාමනය කිරීම, ඊට අදාළ උපදෙස් සැපයීම, නිෂ්පාදන සහතික කිරීම ආදිය කිරීම (උදා – Organic Material Review Institute) රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට පෙර මෙය අනිවාර්යයෙන් කළ යුත්තකි.

(***)
2021 මැයි 10 Daily FT පුවත්පතේ පළවූ
“The Science of Fertilizers and Consequences of Banning Chemical Fertilizers”
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

තොරතුරු මූලාශ්‍රය –

http://www.lankadeepa.lk/features/%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB:-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/2-591112

Admin

Read Previous

ගෝලීය ජෛව පරිසර පාලනය පොදුවේ ඉදිරියට මෙහෙයවීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපති කියයි.

Read Next

චීනයේ “කෘතිම හිරු” වාර්තාගත අධික උෂ්ණත්වයක් උපදවයි – එය ලෝක වාර්තාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »