පිටිමකුණා වනසන්න කුරුමිණියෙක් ඇවිත්

  • දින පනහක දී පිටිමකුණන් 300 ක් ගොදුරු කරගන්නවා
  • කෘමිනාශක නැතිව ජෛව පාලනය සුදුසු බවට තවත් සාක්ෂියක්

සුදු පැහැති කුඩා පුළුන් කැබලි මෙන් ළපටි පැපොල් ගෙඩියක් වැසෙන තරමට පැතිරෙන, මඤ්ඤොක්කා, වම්බටු වැනි ශාක පත‍්‍ර යටි පැත්තේ හෝ කඳන් මත ඇලවී ජීවත්වෙන, පිටිමකුණා නමැති කෘමියාගෙන් සිදුවෙන වගාහානිය කෙතරම් දැයි මේ වනවිට මෙරට වගාකරුවන්ට හොඳ අවබෝධයක් තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එදා සිටම උපදෙස් දුන්නේ වේගවත් ජල පහරක් සතුන් සිටිනා ශාක ප‍්‍රදේශයන්ට යෙදීම වැනි සරල ක‍්‍රමයකින් මෙවැනි පලිබෝධකයින් පහසුවෙන් ඉවත් කරගන්නටය. මන්දයත් එවැනි සරල ක‍්‍රම තිබියදී රසායනික පළිබෝධනාශක වෙත යාම පරිසර සුවතාවය පැත්තෙන් බලනකල ප‍්‍රඥාගෝචර නොවන බැවිනි. වසවිස දියරයන් හමුවේ වටාපිටාවේ සිටින සමස්ත කෘමි ගහනයම මැරී වැටෙන්නේය. වගාවේ පළිබෝධකයින්ව ආහාරයට ගන්නා ගොවියාට හිතැති කෘමි සතුන් ගණනාවකගේ සේවය මේ හරහා ගොවියාට අහිමිව යයි. ඒකාබද්ධ පළිබෝධ පාලනයේ මූලධර්මයන් අනුගමනය කරන ලෙස විද්වත් උපදෙස් ලැබෙන්නේ මේ හේතුවෙනි. එම ක‍්‍රමවේදයන් අතර ජෛව පාලනය නමැති ක‍්‍රියාදාමය තිබේ. මෙහිදී ඉඩහරිනු ලබන්නේ පළිබෝධකයාගේ ස්වභාවික සතුරෙක් හරහා පළිබෝධ ගහනය අවම වීමටයි. පිටිමකුණාටත් මෙවන් සතුරන් රාශියක් සිටින අතර එයින් වඩාත් කාර්යක්ෂම කෘමියෙක් හඳුනා ගන්නටත්, විද්‍යාගාර තත්ත්වයන් යටතේ සාර්ථකව එම සත්වයා බෝකරන්නටත් ගන්නෝරුව උද්‍යාන බෝග ආයතනයේ කීට විද්‍යා අංශය සමත්වී සිටී.

”පිටිමකුණාගේ සතුරු කෘමියෙක් වශයෙන් අපි සොයාගත්තේ විලෝපික කුරුමිණියෙක්. එයාගේ සුහුඹුලා මෙන්ම පැටවුන් නොහොත් කීටයින් පවා පිටිමකුණාව ආහාරයට ගන්නවා. මේ කෘමියාගේ නම ක‍්‍රිප්ටොලෙමස් මොන්ට්රුසියෙරී (Cryptolaemus montrouzieri). නිජබිම වෙන්නේ ඔස්ටේ‍්‍රලියාව උනත් දැනට බොහොමයක් රටවල මේ සත්වයා ඉන්නවා. අපේ වගාවලත් ඉන්නවා. ප‍්‍රමාණය කියනවා නම් ලොකු කොත්තමල්ලි ඇටයක් තරම් ඇති. හැබැයි පිටිමකුණන් නම් ඇතැම් විට මෙයාට වඩා ලොකු වෙන්නත් පුළුවන්.”

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ ප‍්‍රධාන විද්‍යාඥ සේනානි වැලිගමගේ විසින් විලෝපික කෘමියා හඳුන්වා දුන්නේ එලෙසින්ය. බෝගවලට හානිකරන පළිබෝධකයින් පාලනය කරන ජෛව පාලන විධි තුනක් තිබේ. ඒ විලෝපිකතාවය, පරපෝෂිතතාවය හා ව්‍යාධිජනකතාවය යනුවෙනි. මෙහිදී භාවිතා කරන උපක‍්‍රමය වන්නේ සතුරෙක් මගින් පළිබෝධකයාව කෙලින්ම ගොදුරු කරගන්නා විලෝපිකතාවයයි. පිටිමකුණාට සතුරුවෙන මෙම කුරුමිණියා බිත්තර දමනු ලබන්නේද පිටිමකුණාගේ බිත්තර කැදලි අසලින්මය. වරකට බිත්තර 10 ක් පමණ දමන මොහු තම දින 50 ක පමණ වූ ජීවිත කාලය තුළදී බිත්තර 400-500 ක් පමණ දමනු ලැබේ. දින පහකින් පමණ ඒවා පුපුරා පිටතට එන කුරුමිණි කීටයින්ද රූපීයව පිටි මකුණාට යම් සමානකමක් පෙන්වයි. එහෙත් තරමක් සිලින්ඩරාකාර දිගටි දේහයක් දරන ඔවුන්ගේ දේහයෙන් පිටතට ඉටි සූත‍්‍රිකා දික්වී ඇත. පිටිමකුණා මෙන් නිසොල්මන් ජීවිතයක් ගත නොකරන මොවුන් ඉතා ක‍්‍රියාශීලීය.

”මෙම ක‍්‍රියාශීලී කීටයින් පිටිමකුණු බිත්තර වගේම සුහුඹුල් පිටිමකුණන්වත් කා දමනවා. ඔවුන් ශාකය පුරා ඇවිදිමින් කෑම හොයනවා. පිටිමකුණෙක් හමු වූ විටදී එතන නැවතිලා අධෝහනුවලින් ඌව හපලා ආහාරයට ගන්නවා. මීට අමතරව මොවුන් සුදු මැස්සාගේ බිත්තර හා ශිෂුවනුත් කෑමට ගන්නවා. සුහුඹුල් කුරුමිණියා ඊට වඩා කාර්යක්ෂමයි. එයිනුත් ගැහැනු කුරුමිණියා වඩාත් ක‍්‍රියාශීලීයි. මෙවන් සුහුඹුලෙක් තම ජීවිත කාලය තුළදී පිටිමකුණන් 250 – 300 ක් පමණ ආහාරයට ගන්නවා.”

වගාබිම් තුළ ඇවිදිමින් විලෝපික කුරුමිණියාගේ හැසිරීම නිරීක්ෂණය කළ කෘෂිකර්ම උපදේශිකා සමුද්‍රා විජේකෝන් තම අත්දැකීම් ඉදිරිපත් කෙරුවේ ඒ ආකාරයෙනි. උද්‍යාන බෝග ආයතනය මගින් මේ කුරුමිණියන් එකතුකර ආහාර පිණිස පිටිමකුණන්ව ලබාදෙමින් ඔවුන්ව ගුණනය කිරීමේ කටයුතු මේ වනවිටත් අරඹා ඇති බව ඇය සඳහන් කරයි. බිත්තරයෙන් බිහිවී අනතුරුව දින 17 පමණ තිස්සේ කීට අවස්ථා හතරකට මාරුවෙන කුරුමිණි කීටයා සෙවන සහිත පත‍්‍ර නටුවක් ආශ‍්‍රිතව අක‍්‍රිය පිලා අවස්ථාවට පත්වේ. සුහුඹුල් කුරුමිණියෙක් උපදින්නේ පිලවාට දින 7-10 ක් ගතවූ පසුවය. කෘමිනාශක වර්ග බහුලව භාවිතා නොකරන මඤ්ඤොක්කා වැනි වගාවන්හි පිටිමකුණාගෙන් ආසාදනය වී තිබෙන පත‍්‍ර ආශ‍්‍රිතව ආහාර සොයමින් ඔබමොබ යන මෙම සුහුඹුල් කුරුමිණියන් පහසුවෙන් සොයාගත හැකි බවද ඇය කියා සිටී. උද්‍යාන බෝග ආයතනයේ පිහිටි විද්‍යාගාර කුටීර තුළ මේ වනවිට කුරුමිණියන් ඇති දැඩි කරනුයේ ඔවුන්ගේ ආහාර පිණිස පිටිමකුණන් යහමින් ලබාදෙමින්ය. බෝකිරීමේ කටයුතු විධිමත් හා සාර්ථකව සිදුකිරීමෙන් අනතුරුව කුරුමිණි ගහනයන් ගොවීන් වෙත ලබාදීමට හැකි බවද පර්යේෂකයින්ගේ අදහසයි.

කෙසේ වුවත් ඕගැනොපොස්ෆෙට, කාබමේට, පයිරත්‍රොයිඩ හා කෘමි වර්ධක යාමන කාණ්ඩයට අයත් කෘමිනාශක මෙම කුරුමිණියන්ට අහිතකරය. ඒ නිසා එවන් භාවිතයන් හරහා පළිබෝධකයින්ගේ ස්වභාවික සතුරු හමුදාව ඉතා පහසුවෙන් අඩපන වේ. ඒ නිසා ජෛව පාලන අවියක් ලෙස කෘතිමව බෝකරන ලද මෙවැනි කුරුමිණියන් අප විසින් වගාබිමකට නිදහස් කළයුත්තේ ඉහත සඳහන් කෘමිනාශක භාවිතා නොකරමින් හෝ අවම ලෙස භාවිතා කරමින් බව සිහි තබාගත යුතුය. දැනට යෝජිත අනාගත වගා ක‍්‍රමවේදයන්ට අනුව පළිබෝධනාශක භාවිතයට ඉඩ ලැබෙන්නේ හදිසි වසංගත තත්ත්වයක් වැනි අවස්ථාවකදී පමණි. ඒ අනුව පිටිමකුණාගේ ජෛව පාලන ක‍්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යාමට හොඳ පරිසරයක් නිර්මාණය වී තිබේ.

සනත් එම්. බණ්ඩාර
sanathmalka@hotmail.com

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

හරිත සමාජ-ආර්ථිකය රටට ගලපා ගන්නේ කෙසේද…?

Read Next

Checks and Balances of Quarantine Law

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »