
dinamina.lk
රාජකාරියේ නිරත විදුහලට අයත් භූමියේ තිබු වසර ගණනාවක් පැරණි විවිධ වර්ගයට අයත් වටිනා ගස් දහයක් කපා බිම හෙලු බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදුහල්පතිනියක මේ මස (5දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
රාජ්‍ය දේපළක් වන විදුහල් භූමියේ තිබූ පැරණි ගස් දහයක් කැපීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාපයේ පිහිටි ඉලුක්වැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියයි.
විදුහල්පතිනිය විසින් ඉලුක්වැව ප්‍රාථමික විද්‍යාල භූමියේ තිබෙන ගස් කපනා බවට අසල්වැසියන් පිරිසක් රාජ්‍ය ආයතන කිහිපයක් දැනුම්වත් කිරිමෙන් පසුව ගලෙන්බිදුණුවැව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ අදාළ ස්ථානය වටලා සැකකාර විදුහල්පතිනිය පොලිස් බාරයට ගෙන තිබේ.
ඇය විසින් විදුහල් භූමියේ තිබි කැපූ රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය වටිනාකමක් සහිත සියඹලා ගස් දෙකක් හුරිමාර ගස් හතරක් හා කොහොඹ ගස් හතරක් නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.සැකකාර විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබාගැනිමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇය විසින් පාසල් සංවර්ධන කටයුත්තක් සඳහා ගස් කැපූ බව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණාය.
අධිකරණයට කරුණු දැක්වු ගලෙන්බිදුණුවැව පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ පාසල් සංවර්ධන කටයුත්තක් සඳහා ගස් කැපූ බවට විදුහල්පතිනිය පොලිසියට ප්‍රකාශ ලබාදී ඇතත් එවැනි කිසිදු සංවර්ධන කටයුත්තක් විදුහලේ සිදුනොවන බවයි.ඇය පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා ගස් කපා බිම හෙළන්නට ඇති බවත් එම ගස් රජයට අයත් රාජ්‍ය දේපළ බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ තවම අවසන්වි නැති බවත් විදුහල්පතිනිය විසින් රජයට කර ඇති අලාභය සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවෙන් තක්සේරූ වාර්ථාවක් කැඳවිය යුතු බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.එතෙක් සැකකාර විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්ථා කරනා ලෙස පොලිසියට නියෝග කළ විනිසුරුවරයා එතෙක් සැකකාර විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
අනුරාධපුර මධ්‍යම විශේෂ-බී.එම් විජේසූරිය
තොරතුරු මූලාශ්‍රය