නෞකාවෙන් වුණු හානියට වන්දි ගෙවන්න බෑ කියා නෑ

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, නීතිඥ දර්ශනී ළහඳපුර

  • පරිසර පද්ධතියට වූ හානි ගණනය කර නිම නෑ
  • තෙල් විසුරුමක් වුණොත් ඊට සූදානමින් සිටියේ
  • වෙරළ තීර හොඳ අතට ගන්න අපට හැකි වුණා

ආන්දෝලනාත්මක එම්වී පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගැනීම සහ එහිදී ගනු ලැබූ පියවර මෙන්ම ඉදිරියේදී ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවා ද යන්න සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ළහඳපුර මහත්මිය සමඟ දිනමිණ සිදු කළ සාකච්ඡාවකි.

 එම්වී එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගැනීමෙන් සාගරයට හා වෙරළ තීරයට විශාල හානියක් සිදු වී තිබෙනවා නේද?

ඇත්තෙන්ම ඔව්. අප නිහතමානීව ඒ ඇත්ත පිළිගන්න ඕනෑ. මෑත ඉතිහාසයේ සාගරයට සහ වෙරළ තීරයට සිදු වූ විශාලතම හානිය මෙයයි. ඒ වගේම ලෝක මට්ටමින් ගත්තාම සිදු වී ඇති නෞකා අනතුරුවලින් මෙය විශේෂ තැනක තිබෙන හානියක්. මේකෙන් පරිසර හානියක් සිදු වී තිබෙනවා: පරිසරය අපවිත්‍ර වුණා; ප්ලාස්ටික් නර්ඩ්ල්ස් පිට වුණා; රසායනික ද්‍රව්‍යවලින් හානි වුණා; විශාල ලෙස සතුන් මිය ගියා. මේ සියලු දේ සලකා බැලුවාම සමස්තයක් ලෙස විශාලතම හානියක් සිදු වූ බව කිව යුතුයි.

සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරන්න ශ්‍රී ලංකාවේ තිබෙන එකම වගකීම් දරන ආයතනය තමයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. මේ ආයතනයට මේ අනතුර වළක්වන්න නොහැකි වුණේ ඇයි? උදාහරණයක් ලෙස මේ නැව මීට කලින් ඇදගෙන යන්න තිබුණා…

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් පමණයි. සමුද්‍ර දූෂණ පනත ප්‍රකාරව අපිට පැවරී තිබෙන බලයට අනුව නෞකාවක හදිසි අනතුරක් සිදු වුව හොත් ඔවුන්ට නිසි උපදෙස් දෙන්නත්, විධාන කරන්නත් අපිට බලය තිබෙනවා. ඒ අනුව මේ අනතුර ගැන අපි දැන ගත්තේ පසුගිය මැයි මාසේ 20 දා සවස. 21 වනදා පෙරවරුවේ මේ සම්බන්ධ රජයේ සියලු ආයතන සමඟ එක්ව නිරීක්ෂණයකට ආවට පසු අප මුලින්ම සිදු කළේ අදාළ විධාන නිකුත් කිරීම. ගින්න නිවන්න වගේම අනෙකුත් රසායනික ද්‍රව්‍ය කාන්දු වීම වළක්වා ගන්න නොහැකි නම් අපේ මුහුදු තීරයෙන් ඉවත් වන ලෙස අප ඔවුන්ට දැනුම් දුන්නා. මේ දැනුම් දීම් සියල්ලම සිදු කරනු ලැබුවේ ලිඛිතවයි. නැවේ අයිතිකරුවන්ට, අදාළ රක්ෂණ සමාගමට, නැවේ දේශීය නියෝජිතයන්ට අපි මේ දැනුම් දීම සිදු කළා. ඔවුන් ඒ සඳහා ක්‍රියාත්මක වීම හෝ නොවීම නීතිමය කාරණයක්. එය අප ඉදිරියේදී සලකා බැලීමට නියමිත කාරණයක්. මැයි මාසේ 21 දා වගේම 25 දා දැනුම් දුන්නා අදාළ පියවර ගන්න කියලා. මෙතනදී කාරණා දෙකක් අපි අවධානයට ගත්තා. එකක් තමයි සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීම, අනෙක රාජ්‍යයක් ලෙස අපට වගකීමක් තිබෙනවා යම් අනතුරක් නැවකට වන විට ඔවුන්ට ආරක්ෂාව සැපයීමට. මේ දෙකම කළමනාකරණය කර ගනිමින් අප කටයුතු කළා.

20 දා මේ අනතුර ආරම්භ වී 24 දා වන විට යම් මැඬපැවැත්වීමක් වී තිබුණා. අන්තර්ජාතික ගලවා ගැනීමේ සමාගම් පැමිණියා. ‘සමිට්’ කියන ගලවා ගැනීමේ සමාගමත් පැමිණියා. සේරම හිතුවේ මෙය යථා තත්ත්වයට පත් වෙලා කියලා. අපේ පැත්තෙන් අප සිතුවේ මේ නැව ඇද ගෙන යෑමට හැකි සමුද්‍ර කලාපයක් සොයා ගන්න ඕනෑ කියන එක. ඒ වගේම අප කළේ නැව වැඩිපුර ගිනි ගත්තොත් ඇද ගෙන යා හැකි සමුද්‍ර කලාපයක් නම් කරන එක. මේක ඇදගෙන යා හැකි සමුද්‍ර කලාපයක් අප නම් කරන්න ඕනෑ. සරණාගතයකුට අපි රටක් දෙනවා වගේ මේකටත් අපි නිශ්චිත ස්ථානයක් දෙන්න ඕනෑ. නාවික සැතපුම් 50ක් දුරින් අපේ ධීවර කර්මාන්තයට වගේම නාවික ගමනාගමනයට හානි නොවන ස්ථානයක් හඳුනාගෙන අපි ඔවුන්ට කිව්වා නා.සැ. 200ක් දුර යන්න ඕනෑ එහෙම බැරි නම් නා.සැ. 50ක දුරින් නෞකාව රඳවා ගන්න කියලා. ඒ විධාන අපි ඔවුන්ට දීලා තිබෙනවා. ඒ වගේම අ‍ෙ ඔවුන්ට දිගින් දිගටම උපදෙස් දුන්නා ගලවා ගැනීමේ සමාගම ආවම තෙල් තිබෙනවා ද නැද්ද යන්නත් සොයා බලන්න කියා. තෙල් විසිරීමක් වුණාම එය පාලනය කරන්න අ සෑම අවස්ථාවකම විධාන නිකුත් කර තිබෙනවා.

ඔබ ආයතනය නිකුත් කළ විධාන ඔවුන් ක්‍රියාත්මක කළා ද?

සමහර විධාන ක්‍රියාත්මක කළේ නැහැ. ඒවා ඊට පසුව නීතිමය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හොරකු වුණත් පොලිසිය අල්ලා ගෙන ගිහින් අධිකරණයට ඉදිරිපත් කරනවා. අනෙකුත් කාරණා සලකා බලන්නේ ඊට පසුවයි.

මේ නෞකාව අනතුරට පත් වෙලා මාස හතරක් ඉක්මවා තිබෙනවා. මේ කාලය අතරතුර වෙරළ පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්න හැකි වී තිබෙනවා ද? තවත් එහි සිදු කළ යුතු කාර්ය ඉතිරිව තිබෙනවා ද?

මේ වන විට තිබුණු තත්ත්වයකට වඩා හොඳ තත්ත්වයකට වෙරළ තීර පත් කරන්න අපිට හැකි වී තිබෙනවා. ඇතැම් වෙරළ තීර විශාල ලෙස අපවිත්‍ර වී තිබුණා. උදාහරණයක් ලෙස ගත්තම සරප්පු වගේ ප්‍රදේශ ඉතාමත් අපිරිසුදු තත්ත්වයට පත්ව තිබුණා. ඒ බව එහි යන බොහෝ දෙනා කියනවා. එහෙත් එකම කාරණය වන්නේ ප්ලාස්ටික් නර්ඩ්ල් මුහුදට සහ පරිසයට එක් වූ විට ඒවා සියයට සියයක් ඉවත් කළ බව කියන්න බැහැ. මුහුදේ පවතින ඒවා දිනෙන් දින වෙරළට ගොඩ ගහනවා. ඒ නිසා තවත් මාස කිහිපයක් යනතුරු මේවා පවිත්‍ර කිරීමට අපිට සිදු වනවා. ලබන වසරේ මුල වන තෙක්ම වගේ අපට මේවා ඉවත් කරමින් වෙරළ තීරය පිරිසුදු කරන්න සිදු වේවි.

මේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස්වලින් තවත් කොපමණ හානි වේයැයි ඔබ විශ්වාස කරනවා ද?

සුළු ප්‍රමාණවලින් හානි වීම් සිදු වනවා. උදාහරණයක් ලෙස සුළි සුළං පැමිණෙන විට ගල්පරවල, කොරල් පරවල රැඳී තිබෙන ඒවා එක් එක් දිශාවලට යනවා අප දුටුවා. ඉන් වැඩිම හානිය වුණේ සරක්කුවලට. ඒ වගේම අඟුලාන මොරටුව වැනි පැතිවලටත් මුහුදු රළ සුළඟේ දිශාව සමඟ ගමන් කරනවා. තවදුරටත් එහි බලපෑම තිබිය හැකියි.

සමුද්‍ර හා වෙරළ පරිසරයට සිදු වූ හානිය ගණනය කර අවසන් ද?

අප ඇත්තටම වෙරළ තීරය පිරිසුදු කෙරුවට වෙරළ තීරයට වෙරළ පරිසර පද්ධතියට වූ හානිය අප ගණනය කර අවසන් නැහැ. ඒ වගේම සාගරයට වූ හානිය අප දන්නේත් නැහැ. හානිය සහ ගණනය කිරීම් සිදු කරන්න ඕනෑ. තවම නෞකාව එතැන තිබෙනවා. යට තිබෙන කන්ටේනරුත් තිබෙනවා. ඒ අතරතුර හානිය ගණනය කරනවා කියන්නේ විශාල කාර්යයක්. මේ වගේ නෞකා අනතුරු සිදු වී පරිසරයට වූ හානිය ගණනය කරන්නට වසර තුනක් යන තෙක් පුළුවන්. ඒ වගේ වසර තුනක කාලයක් ලබා දෙන්නේ එම ක්‍රියාවලිය දීර්ඝ ක්‍රියාවලියක් නිසයි. අප මේ සඳහා 43 දෙනෙක්ගෙන් යුක්ත එක්ස්පර්ට් පැනල් එකක් පත් කර තිබෙනවා. මේ අයට අපි ඒ කාර්යය සිදු කරන්න මාස තුනක කාලයක් දීලා තිබෙනවා. ඒක හරිම අභියෝගාත්මකයි. අප දළ වශයෙන් බලාපොරොත්තු වෙනවා පළමු මාස තුන තුළ ඒ වාර්තාවේ පළමු කොටස හෝ නිකුත් කරන්නට. ඒ හානිය ගණනය කිරීම සිදු කරනවා. ඒ වගේම මේ හානිය ක්ෂේත්‍ර 10ක් ඔස්සේ ගණනය කිරීම සිදු කරනවා. ජෛව විවිධත්ව හානිය, සාගර ජලයට සිදු වූ හානිය. මිනිස් සෞඛ්‍ය ආරක්ෂාවට වූ හානිය, ධීවර ජනතාවට සිදු වූ හානිය වගේ අංශ ගණනාවක් ඔස්සේ ගණනය කර වන්දි ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ ක්‍රියාදාමය තුළ පරිසර පද්ධතියට සිදු වූ හානිය වෙනුවෙන් මේ වන විට කොපමණ වන්දි මුදලක් සපයා තිබෙනවා ද?

දැනට අප ඉල්ලා තිබූ අ.ඩො.මි. 40න් මි. 3.6ක මුදලක් තමයි ලැබී තිබෙන්නේ.

මේ වන්දිය නොලැබී යෑමේ තත්ත්වයක් තිබෙනවා කියලා ඇතැම් මාධ්‍ය වාර්තා කළා…

අපට ඉතිරි මුදල් නොලැබී යනවා කියලා මතයක් ඇති වී තිබෙනවා. ඒත් කොතැනක වත් කියලා නැහැ මේ අ.ඩො.මි. 3.6න් ඉතිරි මුදල් අපිට ලැබෙන්නේ නෑ කියලා. අපට වියදම් වූ මුදල්වලට අදාළ ඉන්වොයිස් සහ ඒවා තහවුරු කිරීමට අදාළ ලිපි ලේඛන එම ආයතන විසින් අපෙන් ඉල්ලලා තිබෙනවා. එසේ නොමැතිව මේ මුදල් ගෙවන්නේ නැහැ කියලා කොතැනකවත් සඳහන් කරලා නැහැ. මේ අයට ගෙවන්න පුළුවන් මුදල තමයි මේ අය ගෙවලා තිබෙන්නේ. අපි ඉතිරි ලිපි ලේඛන යවන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේම පළමු අන්තර් හිමිකම් පෑමට අමතරව තවත් අන්තර් හිමිකම් පෑම් කිහිපයක් අපි ඉල්ලන්න සූදානමින් ඉන්නවා.

මේ ලිපි-ලේඛන දිය යුතු පාර්ශ්වය කවුද?

අපි තමයි මේවා දෙන්න ඕනෑ. උදාහරණයක් ලෙස කිව්වොත් නවාතැන් ගාස්තු කියා කීවාට ඒවාට අදාළ ලිපි ලේඛන අප ඔවුන්ට දෙන්න ඕනෑ. මේ අ.ඩො.මි. 40ට අදාළ ඇස්තමේන්තුව දැම්මේ මැයි 20 සිට ජූනි 03 වන තෙක් පමණයි. අනෙකුත් කාලයට අදාළ මුදල් අපි ඉල්ලීම් කළ යුතුයි.

අපේක්ෂා කර තිබෙන වන්දි මුදල සමුද්‍ර හා වෙරළ පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රමාණවත් ද?

මුලින් කතා කළේ අපිට ගිය වියදම් ගැනයි. පරිසර හානිය ගණනය කිරීමෙන් ඉල්ලන වන්දිය තමයි පරිසරය ප්‍රතිස්ථාපනය කරන්න තියා ගන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ලැබුණු උපදෙස් තමයි මේ වන්දි මුදලෙන් නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මෙරට විද්වතුන් සමඟ එක් වී ශ්‍රී ලංකාවේ පරිසර හානිය පූරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න කියන එක. මේ ලැබෙන මුදලින් ඒ දේ නිසි ආකාරයෙන් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ලැබෙන මුදලින් ව්‍යුහගත ක්‍රමවේදයකට අනුව හැකි තරම් දුරට ප්‍රතිස්ථාපනය කරන්නත් බලාපොරොත්තු වනවා. පරිසරයත් නිතරම ස්වාභාවිකව අනුවර්තනය වෙමින් ඉදිරියට යනවා. පරිසරය ප්‍රතිස්ථාපනය කරන්න මහන්සි වන විට පරිසරයත් එය අවබෝධ කර ගෙන හොඳ ප්‍රතිචාර දෙමින් නැවත සකස් වේවි කියලා අප සිතනවා.

සමුද්‍රීය පරිසරයට සහ සමුද්‍ර ජීවින්ට මේ වන විටත් විශාල හානි සිදුව තිබෙනවා. කැස්බෑවන් වැනි සතුන්ට මේ අනතුරින් විශාල ලෙස බලපෑම් සිදු වුණා. පසුගිය කාලය තුළ මේ අනතුර හේතුවෙන් කැස්බෑවන්ගේ මළසිරුරු වෙරළට ගොඩ ගැසුවා…

මේවා සිදු වුණේ නැවෙන් වූ හානිය නිසයි. නැව ගිනි ගත්තාම උෂ්ණත්වය වෙනස් වුණා. රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් නර්ඩ්ල්ස් සහ තෙල් පිට වුණා. මේ බොහොමයක් කැස්බෑ මරණවලට හේතු වුණා. මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරනවා. මේ වන විට මිය ගිය සෑම කැස්බෑවෙක්ම වනජීවි දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයට යවා තිබෙනවා. රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ සෑම මරණයටම හේතුව සොයා ගන්නවා. ඒ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ පසුව ප්‍රසිද්ධ ලේඛනයක් ලෙසින් අපිට දීමට හැකියි. එවිට මහජනතාවට ඒවා නිදහසේ බලන්න පුළුවන්. එතෙක් මේවා සංවේදී තොරතුරු.

මේ නෞකාවේ තෙල් තිබෙනවාද-නැද්ද යන්න ගැන වගේම තෙල් විසුරුමක් වී ඇති වුණ තෙල් පැල්ලමක් ගැනත් සමාජයේ බොහෝ කතා වුණා. මේ ගැන ඔබේ අදහස?

මේ නෞකාවේ ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන මෙ.ටො. 300ට අධික ප්‍රමාණයක් තිබුණා. ඒකට කියන්නේ ‘බන්ක් ඔයිල්’ කියලා. ඊට අමතරව නෞකාවේ කන්ටේනර්වල ගෙනා ලුබිරිකන්ට් ඔයිල් තව මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් තිබුණා. මේ දෙකම තිබියදී තමයි නෞකාව ගිනි ගත්තේ. මේ නිසා අපි නෞකාවේ අයිති පාර්ශ්වයන්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට දැනුම් දුන්නා නෞකාවේ තිබෙන තෙල්වල තත්ත්වය ගැන සහ තෙල් විසුරුමක් තිබෙනවා ද යන්න ගැන අපට දැනුම් දෙන්න කියලා. අප කළ දැනුම් දීමට අනුව පීඑන්අයි ක්ල්බ් එක සහ අයි ටොප්ස් ආයතනය ලිඛිතව අපට දැනුම් දුන්නා නෞකාවේ ගින්න පැතිරුණු ප්‍රදේශය, නෞකාවේ උෂ්ණත්වය ඇතුළු සාධක රූපසටහන්වලින් දක්වලා මේ සියල්ල උපයෝගී කර ගෙන නෞකාවේ තෙල් තිබෙන්න හැකියාවක් නැහැ තෙල් ගොඩක් පිච්චිලා තියෙන්නේ කියලා. පීඑන්අයි ක්ලබ් එක ලිපියක් නිකුත් කළා නෞකාවේ කිසියම් වෙලාවක තෙල් විසුරුමක් වුණොත් එහි වගකීම ඒ අය ගන්නවා කියලා. හදිසි ලොකු තෙල් විසුරුමක් වුණොත් එය පාලනය කර ගන්න උපකරණත් ඕඑස්ආර්එල් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ගෙනැත් නෞකාව ආසන්නයේ තිබෙන ටග් යාත්‍රාවට ඒවා දාලා තිබ්බා. එතැන මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන්න ඕඑස්ආර්එල් ආයතනයේ අයෙක් පැය 24ම සිටියා.

සුභාෂිණී සේනානායක

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

108 Elephants Privately Owned

Read Next

“සුජීවා” ඇතින්න සහ ඇගේ පැටවා පිළිබඳව අද (2021.09.24) පැවති නඩු විභාගය ( B 23073/01/15 – මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »