Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නැදුන්ගමුවේ රාජා සහ අලි ගැන ජීව විද්‍යාත්මක කරුණු: ඇත් පැටියෙක් හදන සූත්තරේ

BBC සිංහල – සුනෙත් පෙරේරා

ලෝක අලි සුරක්ෂිතතා දිනය අදයි (අගෝස්තු 12)

මේ ඇසල සැණකෙළි සමයයි. සෙංකඩගල ඇසල මංගල්‍ය සමග ඇසල පෙරහැර පිළිබඳ බරසාර කතන්දර කලඑළි බසින සමයයි.

කොරෝනා උවදුර අතර කියා ඒ කතිකාවේ වෙනසක් නැත.

සුපුරුදු ලෙස නැදුන්ගමුවේ ඇතා මෙවරත් සමාජ ජාල ඇතුළු මාධ්‍යවල ප්‍රධාන “නළුවා” බවට පත්වීම අරුමයක් නොවේ.

ආසියාවේ විශාලතම ඇත්රජෙකු ලෙස සැලකෙන නැදුන්ගමුවේ රාජා මේ වන විට දිවි ගමනේ සැඳෑ සමය වෙත ළඟා වෙමින් සිටියි.

ඔහුගෙන් පසු ඒ “හිස්තැන” පුරවන්නේ කවුරුන්ද? ඔහුට දාව පැටවෙකු බිහි කළ නොහැකිද? ඔහුගේ ජාන සංරක්ෂණය කළ නොහැකිද? වැනි ප්‍රශ්න ද මේ දිනවල සංවාදයට ලක් වේ.

නැදුන්ගමුවේ රාජා ඇතුළු අලිඇතුන්ගේ ජීව විද්‍යාත්මක කරුණු පිළිබඳ ඔබට ඇති විය හැකි මෙවැනි ගැටලුවලට ශ්‍රී ලංකාවේ හීලෑ අලිඇතුන් පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකු වන පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල BBC සිංහල සේවය වෙත ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

අලියගෙයි ඇතෙකුගෙයි ජීව විද්‍යාත්මක වෙනස?

අලියට දළ නැහැ. ආසියානු උප විශේෂ හතරෙන් එකක් වෙන ලංකාවේ අලින්ගෙන්, පිරිමි සතුන්ගේ පමණක් කෘන්තක දත (දළ) දක්නට ලැබෙනවා.

ඒ අතරින් ඇතුන්ගේ කෘන්තක දත දිගට වර්ධනය වෙනවා. අලින්ට තිබෙන්නේ කෙටි කෘන්තක දත්. ඒවට ‘පණු දත්’ කියනවා.

දළ හිමි වන්නේ ප්‍රමුඛ ජානයකින් නොවෙයි. ඊට හේතු වන්නේ නිලීන ජානයක්.

ඒ නිලීන ජානය මවගේ ජාන සමග එකතු වී තිබෙනවා.

හම්බ වෙන්න ඉන්න අලි පැටියා පිරිමි සතෙක් නම් අලියෙක් ද ඇතෙක් ද කියලා තීරණය කරන්නේ අම්මා.

ඒ කියන්නේ ඇතෙකුට නෙමෙයි ඇත් පැටියෙක් හම්බ වෙන්නේ.

අලියෙකුටත් ඇත් පැටියෙක් හම්බ වෙන්න පුළුවන් අම්මා ඇතින්නක් නම් (කෙනරක් නොවෙයි නම්).

හැබැයි ඇතින්නකට ඇත් පැටවෙක් හම්බ වෙන්නත් පුළුවන්, අලි පැටියෙක් හම්බ වෙන්නත් පුළුවන්.

ඒ කියන්නේ නැදුන්ගමුවේ රාජා ඇතෙක් වුණත් ඔහුට දාව ඇත් පැටවෙකුම ලබා ගන්න බැරිද?

අපි කැලේ ඇත්තුන්ට ඇත් පැටව්ම හම්බ වෙනවද කියලා බලලා නැහැ.

පින්නවල, අනෙකුත් සත්වෝද්‍යාන තුළ කලාතුරකින් ඇත් පැටව් උපදිනවා.

ඒ ඇත් පැටව් කාගෙවත් තාත්තලා ඇතෙක් වෙලා ඉඳලා නැහැ.

පින්නවල ඉපදුනු ඇත් පැටව් තුන් හතර දෙනාගෙම තාත්තලා අලියෙක්.

ඒ නිසා පැටවා ඇතෙක් ද කියලා තීරණය කරන සාධකය වෙන්නේ ඇතින්න.

නැදුන්ගමුවේ රාජා සහ ලංකාවේ සෙසු ඇතුන් අතර වෙනසක් තිබේද?

නැදුන්ගමුවේ රාජා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ සතෙක්.

ඒ කියන්නේ එලිෆාස් මැක්සිමස් මැක්සිමස් (Elephas maximus maximus) කියන විශේෂය නෙමෙයි.

නැදුන්ගමුවේ රාජා අයිති වෙන්නේ එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස් (Elephas maximus indicus)විශේෂයට.

එතකොට අපේ අලින්ට වැඩිය ජානමය වශයෙන් ටිකක් වෙනස්.

නැදුන්ගමුවේ රාජාට දාව පැටවෙකු ලබා ගන්න බැරිද?

මේ ඇතා ලවා පැටියෙක් හම්බ කර ගන්න අමාරුයි.

එකක් ඇතාගේ වයස. ඒ කියන්නේ ඇතාගේ වයස දැන් අවුරුදු හැත්තෑවකට වැඩි වෙන්න ඕනි.

අනෙක මේ ඇතාට ගැහැණු සතෙක් එක්ක ඉඳලා හුරුවක් නැහැ.

කොහොමත් ඇතෙකුගෙන් නෙමෙයි ඇත් පැටවෙක් හම්බ වෙන්නේ කියන දේ තමයි අපි විද්‍යානුකූලව සොයා ගෙන තිබෙන්නේ.

මතු දිනක පැටවෙකු බිහි කර ගන්න ඇතාගේ ශුක්‍රාණු අධි ශීත කළ හැකිද?

පිරිමි සතෙකුගේ ශුක්‍රාණු එකතු කරන්න ක්‍රම දෙක තුනක් තිබෙනවා.

ඒ අතරින් ක්‍රම දෙකකට ලංකාවේ අලින්ගේ ශුක්‍රාණු එකතු කරන්න පුළුවන් බව පෙන්නලත් තිබෙනවා.

ඒ වුණාට මේ ශුක්‍රාණු දිගු කාලයක් ඩීප් ෆ්‍රෝසන් (අධි ශීත) හෝ චිල්ඩ් (ශීත) වශයෙන් තබා ගත හැකි ක්‍රමයක් අපට තාම නැහැ.

අනෙක් දේ තමයි කෘතිමව ශුක්‍රාණු එකතු කරන්න පිරිමි සත්තු පුරුදු කරන්න ඕනි.

එහෙම එකතු කරන්න පුරුදු කර ගත්ත අලියෙකුත් හිටියා. එකතු කරන්න පුළුවන් ඒත් කල් තියා ගන්න බැහැ.

පිටරටවල කෘතිමව බිහි වුණු හැම අලි පැටියෙක්ම වගේ, ශුක්‍රාණු එකතු කරලා ඒ වෙලාවෙම පාවිච්චි කරපුවා තමයි හරි ගිහින් තිබෙන්නේ.

දිගු කාලයක් සංරක්ෂණය කළ ශුක්‍රාණුවලින් කොහෙවත් අලි පැටවෙක් හැදුවා කියලා වාර්තා වෙන්නේ නැහැ.

හීලෑ අලි අභිජනනය සිදු නොවන්නේ ඇයි?

අනෙකුත් ගෘහාශ්‍රිත සත්තු දිහා බලන විදිහට අපි අලියා දිහා බලන්න හොඳ නැහැ.

අනෙක් සත්තු අවුරුදු දස දහස් ගානක්, පරම්පරා ගානක් අපිත් එක්ක ජීවත් වෙන්න හුරු වෙලා ඒ සත්තු ජානමය වශයෙන් පවා අපිට ඕනි විදිහට හැඩගස්සගෙන තියෙන්නේ.

එක එක, තනි තනි අලියා කැලෙන් ගෙනත් ගෙවල්වල හෝ පන්සල්වල තබා ගෙන ඉන්නවා.

අලියා කියන්නේ වන ජීවියෙක්, කැලෑ සතෙක්. එතකොට මේ සතා අපිට ඕනි විදිහට හැසිරෙන්නේ නැහැ.

අලින්ගේ ඩිම්බ මෝචනය, ආර්තව චක්‍ර අපිට ඕනි විදිහට සිද්ධ වෙන්නේ නැහැ.

ගොඩක් අධ්‍යනය කරලා, හෝර්මෝන මට්ටම් එහෙම බලලා තමයි කෘතීම සංසේචනය හෝ අභිජනනය කරන්න වෙන්නේ.

කෘතිමව අභිජනනය කරන්න පිරිමි සතා වගේම ගැහැණු සතාවත් හුරු කරන්න ඕනි.

ලංකාව බැලුවොත් කෘතීමව බෝ කරන්න තරම් අලි අවශ්‍ය ද කියලා අපි කල්පනා කර බලන්න ඕනි.

ගොඩක් වියදම් යන වැඩක්. ගොඩක් කාලය යන වැඩක්. නවීන විද්‍යාගාර තිබෙන්න අවශ්‍යයි.

අනෙක් දේ තමයි බොහෝ විට අලි බෝ වෙන්න නම් අලි රංචු පිටින් ඉන්න ඕනි. අලියා ඉන්න රට එතරම් වැදගත් වෙන්නේ නැහැ.

උදාහරණයකට ආසියාවේ අලි ඇමරිකාවේ ඉන්නවා. තනි තනියමත් ඉන්නවා, රංචු පිටිනුත් ඉන්නවා.

ඒත් ඒ අතර අලි රංචු පිටින් ඉන්න තැන්වල පැටව් බිහි වෙන්න පුළුවන් ප්‍රවණතාව වැඩියි.

මුල් ලිපිය කියවන්නන

Chandana Sesath Jayakody

Read Previous

Partitioning water between agriculture and hydro-power to maximise Sri Lanka’s clean energy output

Read Next

Sri Lanka Kandy Perahera goes online in Covid crisis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!