දිවයින කතුවැකිය 2021.07.21 – “රස පරීක්ෂක කඬේ”

මන්නාරම වන්කාලෙයිපාඩු වෙරළට පසුගිය 17 වැනිදාත් මියගිය කැස්බෑවන්ගේ නරක් වූ සිරුරු 6 ක් ගොඩගසා ඇත. වනජීවී සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ නියත වශයෙන්ම මෙම කැස්බෑවන් ද මිය යන්නට ඇත්තේ ගිනි ගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ බලපෑම නිසා බවයි. ඒ බව හඳුනාගන්නට ඔවුන්ගේ අත්දැකීම හොඳටම ප‍්‍රමාණවත්ය. මේ අනුව එම අනතුර නිසා මෙතෙක් වාර්තා වී ඇති මිය ගිය කැස්බෑවන්ගේ ගණන 275 ඉක්මවන බව වනජීවී නිලධාරීහු පවසති.

මීට අමතරව තල්මසුන් 6 දෙනකු, ඩොල්පින් මසුන් 31 දෙනකුට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට අනතුර නිසා ශ‍්‍රී ලංකා මුහුදු තීරයේදී මිය ගොස් ඇත. ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුද වන ජීවී පශු වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලැබ ඇත. හිටපු වෙරළ සංරක්ෂණ හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ විෂය භාර ඇමැති නාලක ගොඩහේවා මහතා විසින් මෙසේ සතුන් මිය යෑමට හේතුව වාරකන් සමයේ අයහපත් කාලගුණය නිසා යැයි පවසා හොඳටම නාගත්තද, ඉකුත් ජුනි මස 30 වැනිදා වන විට මෙසේ නාවික අනතුර නිසා මිය ගිය කැස්බෑවන් 176 ක්, ඩොල්පින් මසුන් 20 ක් හා තල්මසුන් 4 ක් සිටි බව නීතිපතිවරයා විසින් පවා අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත. එසේ හෙයින් නොදන්නා දේ කියන්නට ගොස් ආණ්ඩුව අපහසුතාවට පත්කළ හා මුහුදු විෂය පිළිබඳව කිසිත් නොදන්නා ගොඩහේවා මහතා වෙරළ සංරක්ෂණ විෂයයෙන් පහකිරීම පිළිබඳව ආණ්ඩුවට එක අතකින් අපගේ ස්තුතිය පුදකළ යුතුය.

කෙසේ හෝ කවුරුන් විසින් සිදුකරන්නට යෙදුනත්, ඉහත සත්ත්ව ඝාතනය අපට කිසිසේත් නොතකා සිටිය හැක්කක් නොවේ. (කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළු ඇසට පෙනෙන නොපෙනෙන අනිකුත් ජීවීන් නොසලකා) ශ‍්‍රී ලංකාවේ අනභිබවනීය මුහුදු තීරය වාසස්ථානය කරගෙන ජීවත් වූ මෙම සතුන්ට මරණ වරෙන්තුව ලියා දීම පිළිබඳව නෞකා අනතුරට උඩගෙඩි දුන් සියල්ලන්ම වග උත්තර බැඳිය යුතුය. කැස්බෑවන් යනු ලොව දිගුම ජීවිත කාලයකට හිමිකම් කියන සත්ව කොට්ඨාසය වේ. වසර 150 ක් පමණ දිවිගෙවන්නේ යැයි කියන මෙවන් සතුන් 275-300 ක් ශ‍්‍රී ලංකාවේදී මිය යෑම යනු නොතකා සිටිය නොහැකි, ලෝකයේ මෙතෙක් සිදුවූ අතිශයම ඛේදජනක සිද්ධියකි.

එහෙත් පුදුමය නම්, රජයේ බලධාරීන් මේ මහා පාරිසරික විපත නොසලකා සිටින බව පෙනෙන්නට තිබීමය. මේ දක්වා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර වැඩිදුර මරණ පරීක්ෂණ වාර්තා අපේක්ෂාවන් (මරණයට සැබෑ හේතුව දක්වන රසායනාගාර වාර්තා) රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලද එකම සත්ත්ව සාම්පලයක් සඳහාවත් රස පරීක්ෂක වාර්තාවක් නිකුත් කරගැනීමට රජයේ රස පරීක්ෂකවරයාට නොහැකි වීමය.

අපට මේ පිළිබඳව නිගමන කිහිපයකට එළැඹෙන්නට හැකිය. එනම්, රස පරීක්ෂකවරයාට මේ පිළිබඳව නිගමනයකට එන්නට තරම් හැකියාවක් නැත. නොහොත්, සුදුසු තාක්ෂණය, තාක්ෂණික මෙවලම් නැත. එක්කෝ මේ පිළිබඳව දැනුම ඇති රස පරීක්ෂකවරු නැත. නැතහොත් කොරෝනා නිසා අවශ්‍ය තරම් රස පරීක්ෂකවරු, කම්පියුටර් ඔපරේටර්වරු, වැඩට එන්නේ නැත. එසේත් නැතිනම් වාර්තා ලබාගෙන ඇත, ලබාගත් වාර්තා එළියට දමන්නට ඔහුට බියක් ඇත. නැතහොත් කවුරුන් විසින් හෝ ඔහුව වළක්වනු ලැබේ.

කෙසේ හෝ අපට කියන්නට ඇත්තේ නැව ගිනිගෙන මාස දෙකක් ගතවෙන්නටත් ආසන්නය. රට වටේ මුහුදු ජීවීන් මැරෙන්නට පටන්ගෙන මාසෙකටත් වඩා වැඩිය. සිය ගණන් සතුන් මියගොස්

ඇත. එම සතුන්ගේ සාම්පල් ද ඇති තරම් රස පරීක්ෂකවරයා වෙත ලැබී ඇත. ඒත් තවමත් රස පරීක්ෂක වාර්තාවක් දෙන්නට නොහැකි රස පරීක්ෂකවරයා ඊට නිදහසට කරුණු කිව යුතුය. නැතහොත් ඔහු ඉල්ලා අස්විය යුතුය.

රස පරීක්ෂක ඒකකය අයත් වන අමාත්‍යාංශය නියෝජනය කරන්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාය. ඔහු නැවේ කටයුතු සම්බන්ධයෙන් ඍජුව මැදිහත් වන්නෙකි. එසේ නම් රස පරීක්ෂක වාර්තා ගැන ඔහු නොදැන සිටින්නට කිසිසේත් හේතුවක් නැත. මෙවන් මොහොතක රටම බලාපොරොත්තුව සිටින රස පරීක්ෂණ වාර්තාවක් දෙන්නට නොහැකි රස පරීක්ෂක ඒකකයක් තවත් රටට වැඩක් නැති බව අපගේ අදහසයි.

මේ අතර මෙසේ සතුන් මිය යෑම පිළිබඳව කරන පරීක්ෂණ සඳහා අන්තර්ජාතික සහාය ලබාගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීන්දුකර ඇත. එය සැබෑ චේතනාවකින් කරන කටයුත්තක්ද යන්න පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙන බව පරිසරවේදීහු පවසති. මෙයින් අදහස් කරන්නේ රජයේ රස පරීක්ෂකවරයා වැඩකට නැති අයකු බව හෝ ඔහු තාක්ෂණික වශයෙන් සන්නද්ධ නොවන බව නම් ඊට අවශ්‍ය ප‍්‍රතිකාර රජය මගින් වහා ලබාදිය යුතුය. නැතිනම් හැම වර්තාවක්ම පිටරටින් රැුගෙන මේ කඩය වහා වසා දැමිය යුතුය.

Chandana Sesath Jayakody

Read Previous

Steps underway to seek intl. legal experts to claim damages from X-Press Pearl

Read Next

AG to submit a report on death of seven elephants in Habarana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »