දැදුරුඔයේ වැලි හාරන බලවත් මැරයෝ

deshaya.lk

වයඹ පළාතෙන් ආරම්භ වී වයඹෙන්ම සමුදුර සිපගන්නා දැදුරු ඔය පුරාණයේ අලංකාර වටපිටාවක ගලා ගිය ජල ප්‍රවාහයක් වුවත් දශක තුනක පමණ සිට එය වැලි ගොඩ දමන්නන්නේ ගැහැටවලට නිරතුරුව ලක්වෙමින් දූෂණයට පත් ගංගාවක් බවට පත්ව අවසානය. පරිසරවේදීන් චෝදනා කරන්නේ වැලි ජාවාරම්කරුවන් මහා පරිමාණයෙන් නීතිවිරෝධී අයුරින් දිනපතා දැදුරුඔයේ ඉවුරු පවා හාරමින් වැලි ලබාගන්නා බවයි. ඓතිහාසික වටිනාකම් ැසක් සඟවාගත් දැදුරුඔය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මූලාශ්‍රයක් ලෙස සැලකේ. එය ආරම්භ වන්නේ මාතලේ කඳුවැටිවලින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගොන්මුත්තාව හා මොරන්කන්ද යන යන කඳුවලින් උපත ලබනා දිය උල්පත්වලිනි. දැදුරුඔය, මුහුදට ගලායාමට පෙර ස්ථාන කිහිපයකින් හරස්කොට අමුණු සකසා ඇළ මාර්ග හරහා කෙත්වතු සහ වැව්වලට ජලය ගැනීමට පුරාණයේ කටයුතු කර තිබේ.

ගම් නගර පසුකරමින් තවත් ඔය මාර්ගවලින් පෝෂණය වෙමින් පැමිණ හලාවතින් මුහුදට වැටෙන දැදුරු ඔය ඒ අතරතුරදී එහි වැලි සූරාගෙන ගංඉවුරු පවා විනාශ කිරීමට ජාවාරම්කරුවෝ කටයුතු කරති. මේ දිනවලද එහි හොරෙන් මහ දවල් හදිසියේ මෙන් වැලි ටිපර්වලට පටවන අන්දම ප්‍රසිද්ධ රහසකි. දේශපාලන බලපුළුවන්කාරකම් නිසා නීතිය පවා වල්වැදී ගොසිනි.

මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම, ආරච්චිකට්ටුව, හලාවත යන පොලිස් බල ප්‍රදේශවල හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, රස්නායකපුර, බිංගිරිය, කොබෙයිගනේ ඇතුළු පොලිස් බල ප්‍රදේශ රුසක දරුණු වී ඇති බව පරිසරවේදීහු වෝදනා කරති.

දැදුරුඔය කිලෝමීටර් 142ක් දුර ගලාගෙන ගොස් හලාවතින් මුහුදට වැටෙන්නේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ගොවිබිම් ැසක් සරුසාර කරවමිනි. වැලි හෑරීම නිසා ඔයේ ගැඹුර වැඩිවී ජල මට්ටම පහත වැටී කෘෂිකර්මාන්තයට ජලය ලබාගැනීම පවා ගැටලුවක් වී පවතින බව ගොවීහු පවසති. වසර කිහිපයකට පෙර ගොන්මුත්තාව කඳු පන්තියේ ඉහළම කොටසක ආරම්භ කර ඇති මහා පරිමාණ ගල්කොරියක් හේතුකොටගෙන එහි ආරම්භක ජල උල්පත් සිඳීයාමේ තර්ජනයකටද මුහුණ දී තිබුණි.

පසුගිය දශක දෙක තුළ ඉදිකිරීම් වැඩිවීමත් සමඟ මෙහි වැලි කැණීම ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගියේය. මහත්වූ පරිසර විනාශයක් ඇති කරවමින් මේ දිනවල යළිත් වරක් හලාවත දැදුරු ඔයේ නීති විරෝධීව වැලි ගොඩදැමීම සාර්ථකව සිදුවන බව පරිසර හිතකාමීහු පෙන්වා දෙති. මෙම නීති විරෝධී වැලි ගොඩ දැමීම නිසා දැදුරු ඔය සුරුකීමේ අදිටනින් පරිසර සංවිධානයක් එම වැලි ජාවාරම් නතර කරදෙන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව එම පෙත්සමේ විභාග කිරීම් නිම කෙරෙන තෙක් පුත්තලම දිස්ත්‍රික්කය හරහා ගලා යන දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමීම, ප්‍රවාහනය කිරීම හා ළඟ තබා ගැනීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙයට වසර වර්ෂ 2005දී නියෝගයක් නිකුත් කරන ලද අතර එම නියෝගය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිසිය වෙත පවරා දෙනු ලැබූ බව පැවසේ. වර්ෂ 2011 දී ද පුත්තලම් දිස්ත්‍රික්කයේ දැදුරු ඔයේ වැලිගොඩ දැමීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාදී ඇත. එය ක්‍රියාත්මක වූයේ වසර කිහිපයක් පමණක් බව පරිසරවේදීහු චෝදනා කරති.

දැදුරු ඔයේ නීති විරෝධීව සිදු කෙරෙන වැලි ජාවාරම් පසුගිය කාලයේ සිප්පිකලාන, රඹේපිටිය, ආරියගම, මානුවන්ගම, ජයබිම යන ප්‍රදේශවල බහුලව සිදුවූ අතර මේ දිනවල පල්ලම, ආරච්චිකට්ටුව, හලාවත යන පොලිස් බල ප්‍රදේශවල බහුලව හිස ඔසවා තිබේ. වැලි ටිපර් ගං ඉවුරට ගැනීම සඳහා මාර්ග ද සකස් කරගෙන ඇත.

දැදුරුඔය හරස් කර ඉදිකළ වාරියපොළ දැදුරුඔය ජලාශ රක්ෂිතයද වැලි ජාවාරමුන්ට ගොදුරු වී ඇති බව පසුගියදා වාර්තා විය. ජලාශ රක්ෂිත ලෙස වෙන්කර ඇති පොල්ගම්මන, මලගනේ, කිතුල්වැහැර, පොතුවැව, තඹරව, ඉපලව, නෑටිය ගම්මානවල විශාල වළවල් හාරමින් වළවල්වලට ජලාශයේ ජලය පොම්ප කරමින් වැලි වෙන්කර ගැනීම සිදුවේ. මේ පිළිබඳව කුරුණෑගල වාරිමාර්ග අධ්‍යක්ෂවරිය පවසන්නේ අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ඇතත් ඒ අංශ ක්‍රියාත්මක වීම නම් දුර්වල බවයි.

වැලි ජාවාරමුන් කෙතරම් බලවත්ද යත් කොබෙයිගනේ පොලිස් වසමේ නිලධාරීන් පිරිසක් විසින් නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් පිරිසක් වැටලීමට යාමේ දීජාවාරම් කරුවන් විසින් ටිපර් රථයකට පොලිස් නිලධාරියකු යට කර මරාදමා පලා ගියේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඔහු කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ 32 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.

2006 වසරේ මුලදී රස්නායක පුර පොලිසියේ එවක ස්ථානාධිපති ප‍්‍රදීප් කරුණාධීර දැදුරුඔයේ වැලි ජාවාරමක් වටලන්නට ගිය අවස්ථාවේදී ‌මැරයන්ගේ දරුණු ප‍්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබීය. වැලි ජාවාරම්කරුවන්ගේ සවල් හා උදළු ප‍්‍රහාරයට ලක්වූ තරුණ කරුණාධීර මහතා දින 8ක් සිහිසුන්ව රෝහලේ ප‍්‍රතිකාර ලැබූවේය. ජීවිතය බේරුණත් ඔහුගේ මුහුණේ අස්ථි බිඳී එක් ඇසක් අහිමි වූ අතර දත් 11 ක් කැඩී ආබාධිත තත්ත්වයට පත් විය. මෙම මැර ප‍්‍රහාරයට වගකිවයුතු කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා කොබෙයිගනේ සමුපකාර සමිතියේ හිටපු සභාපතිවරයා ඇතුළු මැරයන් 19 දෙනකුට එරෙහිව පොලීසිය පවරා තිබූ නඩුවේ තීන්දුව 2020 ජනවාරි මාසයේ දී ලබාදුන්නේ කුරුණෑගල මහාධිකරණයෙනි. එහිදී විත්තිකරුවන් වරදකරුවන් බවට පත්කර තීන්දුව ලබාදී තිබිණි. ඉන් අනතුරව ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රදීප් කරුණාධීර ඒ පිළිබඳ වන්දි නඩුවක් ගොනුකළ අතර වන්දි නඩුව දීර්ඝකාලයක් විභාග කළ නිකවැරටිය අධිකරණය පසුගිය වර්ෂයේදී නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කළ අතර එහිදී පැමිණිලිකාර පොලිස් පරීක්‍ෂක කරුණාධීර මහතාට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස විත්තිකරුවන්ට නියම කෙරිණි.

මෙවන් මැර ප්‍රහාර නිසා අවම පහසුකම් යටතේ රාජකාරි කරන පොලිස් නිලධාරීන්ටද දැදුරුඔයේ වැලි වැටලීම් කලින් පැවති කොටි පාලන ප්‍රදේශවල යුද්ධ මෙන් අවදානම් වී තිබේ.

මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල දැදුරුඔය දැඩි ඉවුරු ඛාදනයකට ලක්ව අවසන්ය. ඔය අවට ඉඩම්ද දැඩි ලෙස ඛාදනයට ලක්ව පවතින අයුරු ඕනෑ කෙනෙකුට පෙනෙන කරුණකි. ඔය ගැඹුරුවීම නිසා‍ වටිනා පොල් ඉඩම් රුසක් දැදුරුඔයට බිලිවෙන්නට පටන්ගෙන ඇත. අධික වැසි සමයට ඉවුරු කඩාගෙන ඉඩම් සෝදාපාළු වී යයි.

දැදුරුඔය හරස් කිරී‍මේ කතාව ආරම්භ වන්නේ මහා පරාක්‍රමබාහු රජ සමයෙනි. දක්ඛිණ දේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අදහස් කළ පරාක්‍රමබාහු රජු තම නිලධාරීන්ට උපදෙස් දී උනන්දු කරවා ඇති අතර ප්‍රදේශයේ පැවති වියළි දේශගුණික තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර දක්ඛිණ දේශයේ ප්‍රධාන ජල මාර්ගය වූ ජජ්ජර නදිය (දැදුරු ඔය) ආශ්‍රිතව වාරිමාර්ග තැනීම කෙරෙහි අවධානය යොමු කළේය. පොළොන්නරු යුගය වනවිට දැදුරු ඔය නිම්නය ජනාවාස වීමත් සමග කෘෂිකාර්මික කටයුතු ඉහළ ගිය අතර ඒවාට ජල සම්පාදනය අවශ්‍ය විය. මේ විශාල වශයෙන් වැව් අමුණු ඉදිකර තිබේ. ලංකාවේ ශේෂව තිබෙන ලොකු කුඩා වැව් අතර වැඩි ව්‍යාප්තියක් දැදුරුඔය ආශ්‍රිතව දක්නට ලැබේ.

කොට්ටබද්ධ ව්‍යාපාරය යටතේ ලී කොට දමා හරස්කොට සෙංගල්ඔය ව්‍යාපාරය සඳහා ජලය ලබාගත් බවක්ද කියවේ. සෙංගල්ඔය ව්‍යාපාරය යටතේ වැව් හතකට ජලය ලබාගෙන ඇති අතර ඒ මඟින් කුඹුරු අක්කර 1400ක් පමණ අස්වද්දා ඇත.
එල්ලංගනා සුවිශේෂ වාරි පද්ධතියට උදාහරණ සපයන හලාවත ආනවිලුන්දාව වැව් පද්ධතිය ද පරාක්‍රමබාහුගේ නිර්මාණයකි. එයට ප්‍රධාන ලෙස ජලය සැපයූ දැදුරුඔය මඟින් පෝෂණය වන පින්කට්ටිය, මරදන්සෝලේ, ආනවිලුන්දාව, සුරුවිල, මයියාව, වෙල්ලවල, ඉරක්කාවෙල වැව් හත හෙක්ටයාර 200ක පමණ භූමි භාගයක පැතිර තිබේ. මෙම වැව් ආශ්‍රිතව පවතින රුම්සා තෙත් බිම් ජාත්‍යන්තර වටිනාකමක් සහිත තෙත්බිම් කලාපයක් ලෙසද හඳුනාගෙන ඇත. මේ අතරින් බොහෝ වැව් අද වනවිට සිඳී ගොස් ඇත්තේ දැදුරුඔය හරහා වැව්වලට ජලය ගලා නොයාම හේතුවෙනි.

පල්ලම සෙංගල්ඔය ව්‍යාපෘතියට ද දැදුරුඔයේ ජලය ලබාගැනුණි. මුල් කාලයේ දැදුරුඔය පිහිටා තිබුණේ සෙංගල්ඔයට අඩි දෙකක් පමණ උසිනි. එනිසා සෙංගල්ඔය ව්‍යාපෘතියට ජලය ලබාගැනීමේ ගැටලුවක් ඇති නොවූ අතර සෙංගල්ඔය ව්‍යාපෘතිය හරහා පෝෂණය වූ වැව් 7ට ජලය ප්‍රමාණවත් තරම් ලබාගත හැකිවිය. වැලි ගොඩදැමීම හේතුවෙන් දැදුරුඔය මේ වනවිට සෙංගල්ඔය ව්‍යාපෘතියට ජලය සැපයූ ප්‍රධාන ඇළට වඩා අඩි 10ක් පමණ පහළට ගොස් ඇතැයි ගොවීහු චෝදනා කරති.

කුසුම්සිරි විජයවර්ධන

Chandana Sesath Jayakody

Read Previous

මහා භූ කම්පනයට පසු හයිටියට කුණාටුවක්!

Read Next

සියලු දෙනාම එන්නත් ලබාගත් පසුව කොවිඩ් මරණ අඩු වෙනවා – මහාචාර්ය නීලිකා මලවිගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »