
lankatruth.com
ඇමරිකාවට පිටුවහල් කිරීමට නියමිත විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ගේ ජීවිතය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ස්ථාවරය හේතුවෙන් ඔවුන් විසින්ම පෙනී සිටින මානව අයිතිවාසිකම් හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීම වැනි කාරුණු මේ වනවිට ලොව පුරා දැඩි විහිළුවකට හා විවේචනයට ලක් වී ඇත.
ලෝකයේ සෑම නිදහස් සටන්කාමීන්ගේ ආරක්ෂාව සහතික කරන විප්ලවීය බිම ලෙස සැලකෙන ප්‍රංශයේ එරට පාර්ලිමේන්තුව විසින්ද පෙබරවාරි 4 වැනිදා ජුලියන් අසාන්ගේ හට දේශපාලන රැකවරණ ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම ප්‍රංශයේ හා ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන වල දැඩි විවේචනයට ලක් වී ඇත.
අතීතයේ සිටම ප්‍රංශය ප්‍රකටව පැවතියේ ලොව කිසියම් හෝ ජනතා අරගලයකට සම්බන්ධ වූ සියළුම සටන්කාමීන්ට ආරක්ෂාව හා රැකවරණය ලබා දෙන රටක් ලෙසිනි. 1789 දී ප්‍රංශ විප්ලවයට නායකත්වය දුන් රොබේස්පියර් හා ඩන්ටන් විසින් සම්පාදනය කරන ලද 1791 ප්‍රංශ ව්‍යවස්ථාව මගින් ප්‍රථමයෙන්ම මෙම අයිතිය ලබා දෙනු ලැබුවේ යුදෙව් ජනතාවට වේ. ඉන් පසුව 1871 පැරිස් කොමියුනය සමයේදී ප්‍රංශය ආක්‍රමණකාරී බිස්මාක්ගේ හමුදාවට එරෙහිව සටන් වැදුණු කොමියුනයේ කම්කරු නායකයින් ලෙස විශිෂ්ඨ කාර්‍යයක් සිදු කල පෝලන්ත කොමියුනිස්ට්වාදීන්ගේ සිට මාක්ස්, ලෙනින්, ඉරාන ආගමික නායක වන අයතුල්ලා කුමේණි දක්වා සියළුම දේශපාලන නායකයින්ට රැකවරණ ලබා දුන් ඉතිහාසයක් ප්‍රංශයට ඇත.
1945 දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව ප්‍රංශයතුලත් ඇමරිකානු හමුදාවක් රැඳවීමට ඇමරිකාව හා මහා බ්‍රිතාන්‍යය විශාල උත්සාහයක් දැරීය. නමුත් එය ව්‍යර්ථ කරමින් එවකට ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සමග ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයට(CNR) නායකත්වය දුන් ජෙනරල් චාල්ස් ඩිගොල් විසින් නොර්මන්ඩියේ සටනට පසුව ඇමරිකන් හමුදාව පැමිණීමට පෙර ප්‍රංශයේ සියළුම ප්‍රදේශ තමා යටතට ගන්නා ලදී. එතැන් සිට ප්‍රංශය හා ඇමරිකාව අතර පැවතියේ සීතල යුද්ධයක් වුවද එරට තුල නේටෝ කඳවුරු 167ක් ස්ථාන ගත කර තිබිණි.
එසේම දෙවන ලෝක මහා යුද්ධය අවසානයේ සිට ප්‍රංශ සමාජය තුල පැවතී දැඩි ඇමරිකන් විරෝධී බව නිර්මාණය කල කොමියුනිස්ට් පක්ෂයේ හා අනෙකුත් වාමාංශික ව්‍යාපාර වල බලපෑම ඉතා විශාල විය. 1958 දී බලයට පැමිණි චාල්ස් ඩිගොල් විසින් එම සීතල යුධ සමයේදී නේටෝවේ සාමාජිකත්වයෙන් 1966 පෙබරවාරි 21 වනදා ප්‍රංශය ඉවත් කර ගන්නා ලද්දේ ප්‍රංශය තුල පැවැති නේටෝ මුලස්ථානය ජනසතු කර එම භුමියේ විශ්ව විද්‍යාලයක්ද විවෘත කරමිනි.
ඉන් පසුව නැවතත් ප්‍රංශය නේටෝ සංවිධානයට ඇතුළු කරනු ලබනුයේ 2009 වර්ෂයේදී බලයට පැමිණි ඇමරිකන් සුරතලෙකු යැයි සැලකෙන නිකොලා සර්කෝසි විසිනි. එතැන් සිට ප්‍රංශයේ වාම හා දක්ෂිණාංශික ජාතිකවාදී පක්ෂවල ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත්ව ඇත්තේ ප්‍රංශය නේටෝ සංවිධානයෙන් ඉවත් කරගන්නා බවට සිදු කෙරන ප්‍රකාශයයි.
මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහා මැතිවරණය සඳහා ප්‍රංශය සුදානම් වන පසුබිමක ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 17දෙනෙකුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරන ලද මන්ත්‍රී යෝජනාවක් වූ ජුලියන් අසාන්ගේට දේශපාලන රැකවරණ ලබාදීම පරාජය කිරීමට ජනාධිපති මක්රෝන් ගේ පාලක පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පෙබරවාරි 4 වැනිදා සමත් වී ඇත.
ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ හා අනෙකුත් වාම හා පරිසර පක්ෂ වල සහය ලැබූ මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ පාලක මක්රෝන්ගේ(LREM) පක්ෂයේ සිට විපක්‍ෂයට එක්වූ Jennifer de Temmerman විසිනි. යෝජනාව පරාජය වීමෙන් පසුව ප්‍රංශයේ ප්‍රකට ලිබරල් පුවත්පතක් වන මැරියන්හි කතුවැකියේ ප්‍රධාන සිරස්තලය වූයේ “ප්‍රංශ පාර්ලිමේන්තුවේ ගරුත්වය කෙලෙසු දිනයක්” ලෙස සඳහන් කරමිනි.
මේ වන විට වසර 175ක සිර දඬුවමකට මුහුණදීමට සිටින ජුලියන් අසන්ගේ හට මහා බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කිරීමට අවසර ලැබී ඇති බවද පැවසේ.