Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනිගත් නැව වළක්වා ගැනීමට හැකිව තිබූ අනතුරක්.? ජාත්‍යන්තර වරායන් 2ක් නැව භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා…

කර්තෘ Sagarika Chathumali 27 May, 2021 | 11:01 AM

COLOMBO (NEWS1ST) : කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ගිනිගත්, ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන M V X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් , නවතම ගෝලීය සමුද්‍රීය පුවත් පිළිබඳ තොරතුරු වාර්තා කරන Splash වෙබ් අඩවිය නවතම අනාවරණයක් සිදු කර තිබේ.
එම වෙබ් අඩවිය අනාවරණය කරන්නේ, මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට බලපෑමක් එල්ලකරමින් පසුගිය 20 වනදා සිට ගිනි ගැනීමට ලක් වූ M V X-Press Pearl නෞකාව අනතුරක් පිළිබඳ ඉඟි පළ වූ මුල් අවස්ථාවේ ම හානිය වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර වරායන් දෙකකට පිවිසීම අවසර ඉල්ලුව ද ඊට අවසර ලැබී නොමැති බවයි.

මීට මාස 3කට පෙර මෙහෙයුම් ආරම්භ කර ඇති 2700ක පමණ බහලුම් ධාරිතාවෙන් යුත් M V X-Press Pearl නෞකාවේ සම්පූර්ණ දිගම මේ වනවිට විනාශ වී ඇති අතර එහි හිමිකරුවන් උපුටා දක්වමින් අදාළ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, සිදුව ඇති විනාශයේ තරම විනාශ වූ නෞකාවේ දේපළවල වත්මන් වටිනාකමට ත් වඩා වැඩි බවයි.

සිංගප්පූරුවේ සිට Splash වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් නෞකාව හිමිකාරිත්වය දරන X-Press Feeders හි විධායක සභාපති ටිම් හාර්ට්නෝල් පවසා ඇත්තේ, දුර්වල ඇසුරුම්කරණය නෞකාවේ ඇසිඩ් කාන්දු වීමට වගකිවයුතු බවයි.

ඔහු අදාළ වෙබ් අඩවියට වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර තිබිණ.

”ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈත අරාබි මුහුදේදී කාර්ය මණ්ඩලය මෙම ACID කාන්දුව පිළිබඳ සොයා ගෙන තිබුණා. කාන්දුව හඳුනාගත් විට නැවේ කපිතාන්වරාය ඉන්දියාවේ හසිරා සහ කටාර්හි හමාඩ් යන වරායන් දෙකට ඇතුළු වී සැක සහිත බහාලුම් ගොඩබෑමට අවසරයක් ඉල්ලා තිබුණා. කොහොම වුණත් ඒ වරායන් දෙකෙන්ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුණා.”

‘නැව්වල ගිනිගැනීම් හට ගැනීම බහාලුම් නැව්ගත කිරීමේදී විශාලතම තර්ජනයයි. ”

– ටිම් හාර්ට්නෝල් –

මේ අතර නැව් සමාගමේ වෙනත් මූලාශ්‍යක් උපුටා දක්වමින් අදාළ වෙබ් අඩවිය වැඩිදුරටත් පවසා ඇත්තේ, නැව සහ කාර්ය මණ්ඩලය අවදානමක නොදමා අදාළ වරායන් දෙක නිසි පියවරක් ගත්තේ නම්, මෙම විනාශය අද වළක්වා ගත හැකිව තිබූ බවයි.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේදී වාර්තාවකින් ප්‍රකාශයට පත්වී තිබුණේ, සාමාන්‍යයෙන් සති දෙකකට වරක් බහාලුම් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නෞකාවල ගිනි ගැනීම් සිදු වන බවටයි.

එම වාර්තාවට අනුව රසායනික ද්‍රව්‍යයන් වැරදි ලෙස ඇසුරුම් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු 3ක් එලෙස ගිනි ගැනීම් සිදුවීමට ප්‍රධාන කරුණු ලෙස දක්වා තිබිණ.

සිංගප්පුරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව පසුගිය 20 වනදා කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ අතර එම අවස්ථාවේ සිට මේ දක්වා ගින්න පාලනය කිරීම කිරීම සහ මෙරට සමුද්‍රීය පරිසරයට මෙන්ම වෙරළ තීරයට වන හානිය අවම කිරීම සඳහා ආරක්ෂක අංශ ඇතුළු පාර්ශව රැසක් දැඩි ප්‍රයත්නයක නියැලෙමින් සිටී.

ගිනිගත් නෞකවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් තිබිණ.

පාඨක අවධානයට : උපුටා ගත් අදාළ වෙබ් අඩවියේ සඳහන් වාර්තාව News 1st ස්වාධීනව තහවුරු කර නොමැත.

තොරතුරු මූලාශ්‍රය

newsfirst.lk

Admin

Read Previous

කැලණි මෝයේ සිට මාඔය දක්වා සමුද්‍ර දූෂණයක් – පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර

Read Next

ගෝලීය ජෛව පරිසර පාලනය පොදුවේ ඉදිරියට මෙහෙයවීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපති කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!