Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කොළඹ කල්ලියක් ගල්කිරියාගම කිරලව රක්‍ෂිතය වනසති

lankatruth.com

උතුරු මැද පළාතට අයත් ගල්කිරියාගම කිරලව මහවැලි රක්‍ෂිතයේ විශාල ප්‍රදේශයක් යම්කිසි පිරිසක් යන්ත්‍ර සූත්‍ර දමා හෙළි පෙහෙළි කරමින් සිටිති. මෙම කණ්ඩායම් යන්ත්‍ර සූත්‍ර යොදා එහි තිබූ වටිනා ගස් ඩෝසර් දමා විනාශ කර ඇත. වනාන්තරය එළි පෙහෙළි කිරීම නිසා ප්‍රදේශයේ රැඳී සිටින වන අලින් සියයක පමණ රංචුවකට වාසස්ථාන අහිමිවී තිබේ.

ඇතැම් රජයේ නිලධාරීන්ගේ ආශිර්වාදය මත කොළඹ සිට පැමිණි කණ්ඩයමක් මෙය බලහත්කාරයෙන් කරති.

රජයේ රක්‍ෂිතය හෙළි පෙහෙළි කිරීම් පිළිබඳව සොයා බැලීමට 25 දින අප එම ස්ථානයට යන විට රක්‍ෂිතයේ තිබුණු වටිනා ගස් රැසක් ඩෝසර් දමා විනාශ කොට තිබිණි.

ගල්කිරියාගම කිරලව මහවැලි රක්‍ෂිතය මීට පෙර කාබනික පොහොර ව්‍යාපෘතියකට බව පවසමින් මේ ආකාරයෙන්ම අත්පත් කර ගැනීමට හිටපු අමාත්‍යවරයකු උත්සාහ දරා ඇත. ගම්මුන්ගේ විරෝධය මත මෙම උත්සාහය අසාර්ථක විය. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉතා සූක්‍ෂ්ම ලෙස මෙම කණ්ඩායම ගොවිතැන් කිරීමේ මුවාවෙන් රක්‍ෂිතය හෙළි කිරීමේ කටයුතු කරන බව ජනතාව පෙන්වා දෙති.

මෙම ස්ථානයට ගිය අවස්ථාවේදී කොළඹ කිහිප දෙනකු වාහනවලින් රක්‍ෂිතයට පැමිණෙන අයුරු දැක ගැනීමට හැකි විය. එම පිරිස් කියා සිටියේ මහවැලි අධිකාරිය තමන්ට රක්‍ෂිතයේ වගා වැඩසටහනක් සඳහා අවසර ලබාදී ඇති බවයි. ඒ අනුව තමන් හෙළි පෙහෙළි කිරීම් කටයුතු කරන බව පැමිණි පිරිස් සඳහන් කළහ.

ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම රක්‍ෂිතය හෙළි පෙහෙළි කිරීම නිසා තම ප්‍රදේශයේ වන අලින්ට ජීවත් වීමට ඇති එකම වාස භූමිය අහිමිවී ඇත.

රක්‍ෂිතයේ වන අලින්ට අමතරව අනෙකුත් කුරුල්ලන් සහ විවිධ සතුන් ජීවත් වන බවද මිනිසුන් සහ වන සතුන් එක්ව මෙම ප්‍රදේශයේ ජීවත්වීම කාලයක පටන් කරගෙන එද්දී මහවැලි නිලධාරීන් ඉතා සූක්‍ෂ්ම ලෙස වන ලැහැබ පිටස්තර පුද්ගලයන් සතු කර දීම බලවත් අසාධාරණයක් බව ගම්මුන් සහ මහා

සංඝරත්නය අවධාරණය කරති. වන විනාශයට විරුද්ධව 26 දින ප්‍රදේශවාසීන් එක්ව විරෝධතාවක් කරන බව කිරලව විහාරාධිපති හිමියෝ පවසති.

ගම්මු වන විනාශය පිළිබඳව මහවැලි අධිකාරියේ මඩාටුගම කාර්යාලයෙන් විමසීමේදී සඳහන් කොට ඇත්තේ ඉහළින් ලැබුණු නියෝගයක් මත කොළඹ පුද්ගලයකුට මහවැලියට අයත් රක්‍ෂිතය ලබාදී ඇති බව විහාරාධිපති හිමියෝ අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ කලාප භාර නේවාසික ව්‍යාපෘති කළමනාකරු අසංක ගුණතිලක මහතාගෙන් විමසීමේදී කියා සිටියේ විධිමත් බැහැර කිරීමේ ක්‍රමවේදයක් යටතේ රක්‍ෂිතය කෘෂිකර්ම, මහවැලි, ග්‍රාම සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා වෙත ලබාදී ඇති බවයි.

මෙම ඉඩම් කොටස කෘෂිකාර්මික කටයුතු සඳහා මහවැලි අධිකාරියෙන් වෙන් කොට ඇති ප්‍රදේශයක් බව හෙතෙම සඳහන් කළේය. මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියලුම පාර්ශ්වවල එකඟත්වය පරිදි මහවැලි අධිකාරියේ සහ රජයේ නීති රෙගුලාසි යටතේ වගා ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම් බැහැර කිරීම් කටයුතු කර ඇති නිසා එම කණ්ඩායම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩම් හෙළි පෙහෙළි කිරීමේ කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

දඹුල්ල – කේ. කේ. ආරියදාස

තොරතුරු මූලාශය

Chandana Sesath Jayakody

Read Previous

Dragonfly thought to be extinct found again

Read Next

ස්වභාව විද්‍යාවේ නොබෙල් ත්‍යාගය ප්‍රථමවරට ලාංකිකයකුට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!