Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කිසිවකුටත් පසුපසින් ජීවත් නොවෙමු

dinamina.lk

අදට යෙදෙන ලෝක ආදිවාසි දිනය නිමිත්තෙනි

ලෝ වටා රටවල් 90 ක මිලියන 476 ක් ආදිවාසීහු ජීවත් වෙති. එය ලෝක ජනගහනයෙන් 6.2 කි. ආදිවාසීහු තම දේශජ භූමිය සමඟ සමීපව බැඳී සිටිති. ලෝක ප්‍රජාව අතර පුළුල් සංස්කෘතික විවිධත්වයක් නියෝජනය කරන ආදිවාසීන් පරිසරය සමඟ දක්වන සංවේදී සුවිශේෂි සබඳතාව ආදර්ශවත්ය. තම ජන කණ්ඩායමේ ප්‍රමුඛතා හා තමන්ටම අනන්‍ය වූ විශ්වාස නිසා නූතන සංවර්ධන ප්‍රවාහයන් පිළිබඳව ඔවුනගේ මත විවිධාකාරය.

“කිසිවකුටත් පසුපසින් ජීවත් නොවෙමු: ආදිවාසි ජනතාව හා නව සමාජ ගිවිසුම”, යන්න මෙවර ලෝක ආදිවාසි දිනයේ තේමාවයි. 1994 දෙසැම්බර් 23 දින පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 49/214 අංක දරන යෝජනාව මඟින් සෑම වර්ෂයකම අගෝස්තු 9 දින ආදීවාසි දිනය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම දිනය යෝජනා කරනු ලැබූයේ, 1982 වර්ෂයේ ආදි වාසි ජනතාවගේ මානව අයිතාවාසිකම් සුරක්ෂිත කිරීම හා ප්‍රවර්ධනය පිළිබදව පත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරි කමිටුව මඟිනි.

1995-2004 දක්වා කාලය ආදිවාසි ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ දශකය ලෙස නම් කර තිබුණි. ආදිවාසීන්ගේ ක්‍රියාකාරීත්වය හා ගෞරවය පිළිබඳ දශකය ලෙස 2005-2015 එක්සත් ජාතීන් විසින් නම් කරනු ලැබීය. ආදිවාසීන් පිළිබඳ යහපත් දැනුවත්භාවය හා අගේ කිරීම් ඇති කිරීම මෙම දශකයේ අරමුණයි. ලෝ පුරා ආදිවාසීන්ගේ භාෂා 2680ක් විනාශ වීමේ අනතුරක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා වී තිබුණී.

ආදිවාසීන්ගේ භාෂා වර්ෂය

ඒ අනුව 2019 ආදිවාසීන්ගේ භාෂා වර්ෂය ලෙස නම් කරනු ලැබූයේ එම භාෂා සුරක්ෂිත කර ගැනීම සඳහා ලෝක ජනතාව හා රාජ්‍යවල අවධානය ලබා ගැනීම සඳහාය. දැනට ආදීවාසී භාෂා 7000ක් පමණ භාවිත වන අතර එයින් 40%ක් විනාශ වීමේ අවදානමකට මුහුණ දෙමින් තිබේ. එම භාෂා සුරක්ෂිත කර ගැනීම සඳහා 2022 – 2032 දක්වා දශකය ආදිවාසී භාෂා දශකය ලෙස නම් කිරීමට නියමිතය.

ලොව 22%ක භූමි ප්‍රමාණයක ආදීවාසීහු ජීවත් වෙති. මේ අතර තම භූමියේ ස්වයං පාලනය යටතේ ජීවත් වන ආදීවාසී ජන කණ්ඩායම් ද සිටිති. එහෙත් බහුතර ආදීවාසී ජන කොට්ඨාසවල ඉඩම්, භූමිය හා සම්පත් ඒ ඒ රාජ්‍යවල පාලනයට යටත්ය. ස්වයං පාලනය මෙන්ම රාජ්‍යයේ අවසන් පාලනය යටතේ ජීවත් වුව ද ආදීවාසීහු තම සංස්කෘතිය හා බැදුණු පාලන ක්‍රම නියෝජනය කරති. යහපාලනය සහ පරිසරය සුරැකීම පිළිබඳ ආදීවාසීන්ගේ පාලන ක්‍රම අසාමාන්‍ය වැදගත්කමකින් යුක්ත බව යුනෙස්කෝ පිළිගැනීමයි.

සේවාවන්ගේ නිරත වන ආදීවාසීන්ගෙන් 86 අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයන්හි කටයුතු කරති. විවිධ රැකියාවල යෙදෙන ආදීවාසීන්ගෙන් 47%කට ලියවීමට හෝ කියවීමට නොහැකිය. මේ අනුව තම භූමියේ මුල් අයිතිකරුවන් වන ඔවුන්ගේ පැවැත්ම අපට අවබෝධ කර ගත හැකිය.

සාමය සහ සහජීවනය

පසුගිය වසර 30ක කාලය තුළ සාමය සහ සහජීවනය ලබා ගැනීම පිළිබඳ විවිධ සමාජ සංවිධාන ක්‍රියාකාරීත්ව මගින් නිතීමය ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා සංශෝධන අන්තර්ජාතික වශයෙන් සිදු විය. ආදීවාසීන්ගේ පැවැත්ම පිළිබද එක්සත් ජාතීන්ගේ ක්‍රියාමාර්ග සාධනීය ලෙස බලවත් කිරීම සඳහා මෙම ප්‍රයන්තයන් උපයෝගි වී තිබේ. ආදීවාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්ථාවර මණ්ඩලයක් ඇති කිරීම මෙහි එක් අපේක්ෂාවකි. සමාජ අසමතුලිතතාව පිටුදැකීම කෙරෙහි ප්‍රතිචාර දක්වමින්, අන්තර්ජාතික සංවිධාන සමාජ ක්‍රියාකාරීත්ව ක්‍රියාමාර්ග වර්ධනය වෙමින් පවතී. මේ සඳහා සියල්ලන්ගේම සහාය නොලැබෙතත් එම ඒකාබද්ධතා මඟින් ‘කිසිවෙක් කිසිවකුට පසුපසින්’ නොසිටිය යුතු බව සහතික කිරීම අපේක්ෂාවයි. මෙහිදී පොදු යහපත සුරැකි මනුෂ්‍යත්වය හා සොබාදහම සුරැකීමේ උනන්දුව ගොඩනැඟීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමයි. මෙම සමාජ වෙනස ඇති කළ යුතු වන්නේ පාලිත ජන සමාජ ඇසුරෙනි. සියල්ලන්ගේ ගෞරවය, අයිතිය සහ නිදහස පිළිබඳ අවස්ථාව නිරීක්ෂණය කරමින් අව්‍යාජ සහභාගිත්ව හා අන්තර් සබදතා ජාල ගොඩනැඟීම මේ සඳහා අත්‍යවශ්‍ය කරුණක් බව යුනෙස්කෝ සංවිධානය විසින් පිළිගෙන තිබේ. ආදීවාසීන් තීරණ ගැනීම සඳහා සහභාගි කර ගැනීම අවශ්‍යතම කාරණයක් බව අවධානයට ලක්ව ඇති කරුණකි. ආදී වාසීන්, රජය හා ප්‍රතිසංවිධාන වීමේ අවස්ථා ගොඩනැඟීම අවශ්‍ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවධාරණය කර තිබේ.

නිරන්තර අරගලයක

තමන් නොතැකීම, කොන් කිරීම්වලට භාජනය කිරීමට එරෙහිව නිරන්තර අරගලයක ආදීවාසීහු යෙදී සිටිති. අතිශය දුප්පත්කමකින් සහ මානව අයිතිවාසිකම් කඩවීම්, නොතකා හැරීම්වල පීඩනයට ඔවුහු ලක්ව සිටිති. ලෝක සංස්කෘතින් හා ජීව විද්‍යාත්මක විවිධත්වය රැක ගැනීමට ආදීවාසීන් දක්වන උනන්දුව හා වෙසෙසියාව යුනෙස්කෝ සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ. එම තත්ත්වය අප වටහා ගත යුතු මෙන්ම සුදුසු ක්‍රියා මාර්ග ගැනීම කළ යුතු වන්නේ අප රටට ආවේණීක ආදීවාසීන් කෙරෙහි අවධානය යොමු කරමිනි.

ශ්‍රී ලංකාවේ ආදීවාසීන් අප භූමියේ මුල් පදිංචිකරුවන් හා සබැඳි බව පිළිගැනීම සහේතුකය. මහාවංශය වැදිජන සම්භවයට රාජකීය සබඳතාවක් සපයා දෙයි. එනම්, කුවේණීයගේ දරුවන්ගෙන් වැදි ජනයා ඇති වූ බව සහ ඔවුන් සබරගමු ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වූ බව වංශකථාවල සඳහන්ය. විජය ඇතුළු පිරිස පැමිණෙන විට, අප රටේ දියුණු සංස්කෘතියක් පැවති බව සඳහන් කළ හැකිය. අප ආදීවාසීන් මෙම විදේශීය ආක්‍රමිණිකයන්ට විරුද්ධ වූ ජන කොටස නියෝජනය කළ බව පිළිගත හැකිය. එනම්, අප රටේ ආදීවාසීන් විජයගේ පැමිණීමට පෙර මෙහි ජීවත් වූවෝය.

මුල්ම බ්‍රාහ්මීය අක්ෂය විග්‍රහයක දී, “මිලක තිස” යන පුද්ගල නාමය පාලි මිලක්ඛ හා සංස්කෘත ම්ලේච්ඡ යන වදන් හා සබඳතාවක් ඇති බව සදහන් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන ඔවුන් ආදීවාසී ජන කොටසට අයත් බව සඳහන් කරයි. අප රටට ආවේණීක ජීවමාන ආදීතම ජන කණ්ඩායම ලෙස වැදි ජනතාව සැලකිය හැකි බව ශාස්ත්‍රීය පිළිගැනීමයි. මෙම ජන කොටස දඹාන, රතුගල, හෙන්නානිගල, දළුකාන, ගිනිදමන, පොල්ලේබැද්ද ගම්මානවලට සීමිතව ජීවත් වෙති. එසේම වාකරේ හා මුත්තූර් ප්‍රදේශ හා නැගෙනහිර වෙරළ බඩ ජීවත් සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ ආයතනයේ නිර්දේශිත වැඩසටහන්වල සක්‍රිය ප්‍රතිඵල මෙම ජන කොටස්වලට යොමු වී තිබේ ද යන්න අවධානය යොමු කළ යුතු කරුණකි.

අනුරාධපුරයේ පුළුල් සංඛ්‍යාත්මකව ආදීවාසීන් ජීවත් වී තිබේ. ඔවුන් පුළුල් ලෙසට සිංහල බෞද්ධ සමාජයට අවශෝෂණය වී තිබෙන බව පිළිගත යුතු සත්‍යයකි. මෙම ආදීවාසීන් විවාහ සබඳතා පවත්වා ඇත්තේ ගොවිගම කුලය සමඟය. ශ්‍රී ලංකා කුල ධුරාවලියේ එය ඉහළ කුලයක් ලෙස සැලකේ. මෙයින් කරුණු දෙකක් සනාථ වේ. මෙම ජන කොටස කෙරෙහි සමාජයේ සැලකිල්ල මෙන්ම ගෞරවයක් තිබූ බවත් ඔවුන් කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ඉඩම්වලට අයිතියක් තිබූ පිරිසක් බවයි. ඉන්දියාවේ ආදීවාසීන් සැලකෙන්නේ කුල ධුරාවලියේ පහළ ස්තරයක පිරිසක් ලෙසය.

දේශපාලන බලය සහ ආධිපත්‍ය මත ශිෂ්ටාචාර ගත කිරීම් මඟින් මෙම පිරිස් සිංහල බෞද්ධ සමාජයට අවශෝෂණය වූ අතර උතුරු නැඟෙනහිර පළාත්හි දෙමළ හින්දු ආධිපත්‍යයට යටත්ව තම අනන්‍යතාව අහිමි කරගෙන හෝ අහිමි කර තිබේ. දෙමළ භාෂාව කතා කරන ඔවුන් ආදී වාසී කොට්ඨාස ලෙස ස්වකීය අනන්‍යතාවයෙන් දුරස්ව සිටි.

පොළොන්නරුවේ පළමුවැනි පැරකුම්බා රජුගේ හමුදාවේ වැදි සේනාවක් සිටි බවක් පිළිගන්නා කරුණකි. දිගු හෙල්ල සහිත ආයුධවලින් සටන් කළ ඔවුහු රට බේරා ගැනීම සඳහා රජුට සහාය වී තිබේ. 1818 කැප්පෙටිපොළ විසින් මෙහෙයවූ බ්‍රිතාන්‍ය විරෝධි ජන අරගලයේ වැදි ජන සටන්කරුවෝ විශාල සංඛ්‍යාවත් සක්‍රිය දායකත්වය දී තිබේ. ඌව තලාව සටනේදී මෙම ජන දායකත්වය පුළුල් වූවකි.

අභියෝග

සිංහල රාජ සමයේ වැදි ජනයා ජීවත් වූ ප්‍රදේශ ඔවුන්ට අත්හැර තිබු අතර ඒවායේ ජනපද පිහිටුවා නැත. බටහිර ජාතීන්ගේ ශිෂ්ටකරණය හා පසුකාලීන සංවර්ධන කේන්ද්‍ර සංකල්ප මඟින් ආදීවාසීන්ට ඔවුන් නොදැනුවත්ම මෙන්ම ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ වුව ද අකමැත්තෙන් හෝ සිය අනන්‍යතාව අත­්හැරීමට සිදු විය. ජනපදකරණය මඟින් වැදිජනයා සතු භූමි සංවර්ධන ව්‍යාපෘති යටතට ගැනුණි. දෙමළ ආධිපත්‍ය ජාතිවාදය හා සන්නද්ධ හමුදාවල ක්‍රියාකාරීත්වයට යටත්ව කටයුතු කිරීමට නැඟෙනහිර මුහුදුබඩ ආදීවාසීන්ට සිදු විය. ඔවුන් දෙමළ භාෂාව කතා කරන ජන කොටසක් වූ බැවින් ආදිවාසීන් ලෙස හඳුනාගැනීමේ නිර්ණායක නොවීය.

මෙම සියලු අභියෝග මධ්‍යයේ තමාගේ අනන්‍යතාව රැක ගනිමින් මෙම ජන කොටස ජීවත් වන බව අවබෝධ කර ගත යුතුය. සවිඥානිකව තමන්ට අහිමි කරන ලද සුපැහැදි ජීවන රටාවක් සහිත යටගියාවට දක්වන ඇල්ම මොවුන් තුළ පවතී. මෙය අප සමාජයේ ද පවතින මතවාදයකි. ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ අනන්‍යතාව පිළිබඳව අධ්‍යයන කළ මානව විද්‍යාඥයකු වන යූවී තංගරාජා මෙය සංකල්ප ගත කරන්නේ හානිපත්භාවයේ මතවාදය නමිනි (An ideology of victimhood). අප රටේ ආදීවාසීන්ගේ අනන්‍යතාව දේශයේ මුල්ම ජන කොටස හා බැදී පවතී. එහෙත් ඔවුනගේ වර්තමානය අසාධාරණ, දුක් කම්කටුලුවලින් ගහන වූවකි. එම සියලු ප්‍රතිරෝධවලට මුහුණ දෙමින් ස්වකීය අනන්‍යතාව රැක ගැනීමට දරන ප්‍රබල ප්‍රයන්තය සුවිශේෂ වුවකි.

යුනෙස්කෝ ආයතනය සඳහන් කරන සිය උරුමය වෙනුවෙන් පෙනී සිටීමට ඔවුනට ඇති අයිතිය අනුල්ලංඝය වූවකි. එම ජන කොටස කෙරෙහි ගොඩනැඟිය යුත්තේ අනුකම්පාවක් නොව සමාජ ගෞරවයකි. සමාජ පිළිගැනීමකි. අගය කිරීමකි. ලෝක ආදීවාසී දිනයේ අපගේ ජාතික එළඹුම විය යුත්තේ එයයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

සංචාරකයන් අතර ජනප‍්‍රිය වූ නිව්යෝක් නගරයේ ‘බැරී’ බකමූණා මියයයි

Read Next

UN Ambassador on Climate Change praises Lanka for initiatives already taken

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!