කැබිලිත්ත රක්ෂිතයේ අවසානය !

ජනක විතානගේ – පරිසර යුක්ති කේන්ද්‍රය

කතරගම දෙවියන්ටත් වැඩ ඉන්න අලුත් නිවහනක් සොයා ගන්න කාලය එලබ ඇත . 2012 /11/12 අංක 1784/9 දරන ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර 28,926 වත්තේගම කැබිලිත්ත රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත්කර ඇත . මිට අමතරව 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමෙන් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති විවෘත කැළෑ ඉඩම් හෙක්ටයාර 9960ක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මේ වනවිට පවරා දී ඇත.එය ආසන්න වශයෙන් අක්කර 25 000 ක පමණ භූමියක් වේ. මීට අමතරව රක්ෂිතය ලෙස ගැසට් කර ඇති ප්‍රමාණයෙන් හෙක්ටයාර 4000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අනවසරයෙන් හේන් වගාව සඳහා එලිපෙහෙලි කර ඇත.මෙවැනි වාතාවරණයක් තුල සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ජනතාව අතරේ බෙදා දීමට අවශ්‍ය යැයි පවසමින් තව තවත් ඉඩම් නිදහස් කර දෙන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල කරමින් තිබේ.දැනගන්නට ඇති පරිදි එම ප්‍රමාණය අක්කර 12 000ක් පමණ වේ.දැනට නිදහස් කර ඇති ඉඩම් අක්කර 5 බැගින් බෙදා දෙන බවට ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.ඒ අනුව නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණයෙන් රජයේ නීති රීති වලට අනුව ඉඩම් ජනතාව අතරේ බෙදාදුන් පසුවත් අක්කර 9 000 ක පමණ ප්‍රමාණයක අතිරික්ත ඉඩම් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම්වරයා සතුව ඉතිරි වේ.එසේනම් මේ අතිරික්ත ඉඩම් ප්‍රමාණය හා නැවතත් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ඉඩම් කාගේ උවමනාවකට නිදහස් කර ගන්නවාදැයි අපැහැදිලි ය.එසේනම් මේ කතාව තුළ සැඟවුණු යමක් පවතින බව පැහැදිලිය.එම තත්වය අප විමසිල්ලෙන් සලකා බැලිය යුතුය.
මෙම භූමිය තුළ බඩ ඉරිඟු වගාව සිදු කරන කුඩා ගොවීන්ට අමතරව අක්කර 200 -300 පමණ ප්‍රමාණ වලින් අනවසරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති පිටස්තර පුද්ගලයින් සහ ප්‍රදේශයේ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඇත. ඔවුන් සතු භූමිය අක්කරයකට ‍රු.5 000 බැගින් ලබාගෙන බඩඉරිඟු වගාව සඳහා සුළු ගොවීන්ට ඉඩම් නිදහස් කරන ක්‍රමවේදයක් එම පුද්ගලයින් ක්‍රියාත්මක කරමින් සිටී .ඒ අනුව ඔවුන් රජය සතු භූමියක් අනවසරයෙන් අත්පත් කරගෙන පහසුවෙන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කොට ඇත.ප්‍රදේශයේ ජනතාවට ඉඩම් නිදහස් කරන ලෙස පවසමින් උද්ඝෝෂණ මෙහෙයවන්නේ මෙම කූට ව්‍යාපාරයේ යෙදෙන ගම්භාරයින් බව සක් සුදක් සේ පැහැදිලිය.ජනතාවට ඉඩම් බෙදාදීමේ වැඩසටහන තුළදී මෙම මහාපරිමාන ඉඩම් මංකොල්ලය සිදු කරන කණ්ඩායම විසින් ඔවුන් පරිහරණය කරන ඉඩම් සඳහා ඔවුන්ට හිතැති කණ්ඩායම් යොමු කර ඉඩම් ඉල්ලුම් කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් දියත් කරමින් සිටී.මෙම කටයුත්ත පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නොදන්නවා ද එසේත් නැත්නම් දැනගෙන නොදන්නවා සේ සිටිනවාද යන්න අපැහැදිලි ය.නැතිනම් ප්‍රදේශයේ දේශපාලකයන්ගේ උවමනා එපාකම් සඳහා මුදල් වියදම් කරන ඉහත කී ගම්භාරයන් දේශපාලන හයිය යොදා නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙනවා විය හැක.

තවද යෝජිත කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හරහා ජලය සැපයීම සිදුවන්නේ කොටියාගල ඇතිමලේ ආශ්‍රිත මෙම භූමිය වෙතයි. රජයේ සැලසුම් අනුව මෙම භූමිය විවිධ සමාගම් සදහා අබ කෙසෙල්,බඩඉරිඟු හා උක් වගා කිරීම සදහා ලබාදීමේ පැහැදිලි සැලසුමක් ද ක්‍රියාත්මක වෙමින් පවතී මේ වනවිටත් සූර්ය ව්දුලි බලාගාරයක් සදහා අක්කර 500 නිදහස් කර ඇත.
මෙම භූමිය තුල මහාපරිමාන ගවගාල් විශාල ප්‍රමාණයක් දැකියහැක අවම වශයෙන් ගවයන් 50,000 කට අදික ප්‍රමානයක් එහි ජීවත් වේ . මෙම ගව හිමයන් මෙහි සංක්‍රමණය වී ඇත්තේ ලුනුගම්වෙහෙර , රන්න . හම්බන්තොට ආදී ප්‍රදේශ වලිනි . භූමිය යනු සීමිත සම්පතකි ගොවියකු සදහා අක්කර 5 ක් ලබාදිම වෙනුවට විය යුත්තේ එම අස්වැන්න අක්කර 2ක කින් ලබාගැනීමට අවශ්‍ය යෝග්‍ය තාක්ෂණය ගොවීන්ට ලබාදීමය. ගව පාලනය තාක්ෂණිකව ක්‍රමානුකූල කිරීමය.

මෙම වනාන්තර විනාශයත් සමගම වන අලින්ගේ වාසභූමිය අහිමි වෙමින් පවතී එහි ප්‍රතිපලයක් ලෙස අලි මිනිස් ගැටුම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී . භූමිය කොටු කර සමාගම් විසින් පෞද්ගලික අලි වැටවල් ඉදිකර ඇත. ඒ හේතුවෙන් වන අලි පාරවල් තුලින් ගමන් කොට ගම්මාන තුලට පැමිනීම නිරන්තරයෙන් සිදුවේ . මෙම අලි වැටවල් නියාමනය කිරීමටද නිසි ක්‍රමවේදයක් නොමැත .

මෙම භූමිය ආශ්‍රිතව වත්තේගම පන්සලට අයත් නින්දගම් ඉඩම් අක්කර 5,000 ක් පමන ඇත. එම ඉඩම් සියල්ල මේ වනවිට විවිධ සමාගම් යටතට පත්කර උක්, අබ වැනි වගාවන් සිදුවේ.

මේ ආකාරයෙන් මෙම ප්‍රදේශයේ බඩඉරිඟු වගාව හා වෙනත් කටයුතු සදහා විනාශකර ඇති වනාන්තර ප්‍රමාණය අක්කර 50,000 කට වැඩිය. එම ව්නාශය ආරම්භ වූයේ 2009 වසරේ පමන සිටය .විනාශයේ උච්චතම අවස්තාව වර්තමානයේ සිදුවෙමින් පවතී. පසුගිය කාලය තුළ ලංකාවේ සිදුවූ වන විනාශයන් අතුරින් කැබිලිත්ත වනාන්තර විනාශය පෙරමුනේ ඇත. වන විනාශය සිංහල ,දෙමළ හෝ මුස්ලිම් ලෙස වර්ග කල නොහැක . ආගම් බේද නැත . පසුගිය කාලය තුල වර්ගවාදී ව වන විනාශයන් ත්ක්සේරු කිරීමේ ප්‍රතිවිපාක කැබිලිත්ත වන විනාශයෙන් මොනවට පැහැදිලි වේ.

මේ ආකාරයෙන් කැබිලිත්ත රක්ෂිතය විනාශ විම සිදුවුවහොත් තව දශකයක් ගිය තැන කතරගම දෙවියන්ටත් උන්හිටිතැන් අහිමි වනු නියතය ….…

ජනක විතානගේ – පරිසර යුක්ති කේන්ද්‍රය

Chandana Sesath Jayakody

Read Previous

‘ඔයගොල්ලෝ පොහොර නැව ගේන්න, ඉතුරු හරිය අපි බලාගන්නම්’ (යහපත් මිනිසුන්ගේ පව්කාර නිහැඬියාව)

Read Next

Does Covid related waste pose a Health Risk?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »