
නුවන් කොඩිකාර – dinamina.lk
රජය අවධාරණය කරයි
- රසායනික පොහොර ආනයන තහනම දිගටම
- කාබනික පොහොර භාවිතය ජගත් ප්‍රමිතීන්වලට අනුවයි
දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිත කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් කොට නැතැයි රජය අවධාරණය කරයි.
ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් නොකරන බව පවසන රජය දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් දී නැති බව පවසයි.
කෘෂිකර්මාන්තය සඳහා භාවිත කළ හැක්කේ අන්තර්ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූල අනුමැතිය දී ඇති කාබනික පොහොරවලට පමණක්ම බව රජය පෙන්වා දෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් කරන ලද සංගණනයන්ට අනුව එම ආයතනවල ඍජු අධීක්ෂණය යටතේ මාස 6ක කාලයක් සඳහා නිකුත් කරන බලපත්‍ර මඟින් හරිතාගාර (greenhouse) තුළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි ආයතන වෙත සහ ජල පෝෂක වගා (hydroponics) හා වායු පෝෂක වගා (aeroponics) සහ විසිතුරු මල් වගා (floriculture) කටයුතු සඳහා පමණක් නයිට්‍රජනීය ඛනිජ හෝ රසායනික පොහොර සහ කිලේටකරණය (chelated) කරන ලද ඛනිජ සහ ශුද්‍ර පෝෂක ආනයනයට අවසර දී ඇතැයි රජය පවසයි.
කෘෂිකර්ම ඇමැතිවරයා 2021 මැයි මස 31 දා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාක පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට ඇමැති මණ්ඩලය විසින් අනුමැතිය දී තිබිණි.
ඉහත කී ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක මේ වන විට අංක 2226/48 දරන ගැසට් පත්‍රය මඟින් ආනයනය කිරීම තහනම් කර තිබූ සංකේතාංක (HS Code) යටතේ ආනයනය වන බැවින් ඉහත දක්වන ලද කෘෂිකර්ම ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයට දී තිබූ ඇමැති මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2226/48 ගැසට් පත්‍රය සංශෝධනය කරන ලදි.
ඒ අනුව මුදල් ඇමැතිවරයා විසින් 2021 ජූලි 30 දා නිකුත් කර ඇති 2021 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) නියමයන් (Regulations) අනුව පහත සඳහන් වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර දී තිබේ.
එමෙන්ම ඉහත සඳහන් බලපත්‍ර මඟින් ඛනිජ හෝ රසායනික නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන ශාක පෝෂක තුනම අඩංගු මිශ්‍රිත පොහොර ඒවායින් දෙකක් අඩංගු මිශ්‍රණවලින් සකස් කරන ලද පොහොර කරල් (capsule) හෝ එවැනි නිෂ්පාදන අඩංගු බර 10kg හෝ ඊට වඩා අඩුවෙන් සකස් කරන ලද පැකට් සඳහා අවසර දී ඇත.
මේ සියලු පොහොර ආනයනය අදාළ අවශ්‍ය ආයතන මඟින් අවශ්‍යතා අනුව හෝ එම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රමාණයන් සඳහා පමණක් නිකුත් කරන විශේෂ වූ බලපත්‍ර යටතේ පමණක් ආනයනයට අවසර තිබේ.
මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ (කාබනික) හා ඛනිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර, ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරේ.
“නිරෝගිමත් සහ ඵලදායි පුරවැසියකු බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය.” යන්න ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව වේ.