Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කාබනික පොහොර ආනයනය වැළැක්වීමට ගොනු කළ පෙත්සම ගැන දුන් නියෝගය

adaderana.lk

විදේශීය රටවල්වලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම අද (25) මෝසමක් මාර්ගයෙන් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය කෙරුණි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුව හදිසි නඩුකරයක් සේ සලකා එය කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙස නියම කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටියේ‍, රජය විසින් චීන සමාගමකින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බවය.

එම කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා හා කෘමීන් අන්තර්ගත ගත වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය භාවිත කිරීමෙන් මෙරට පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට ද දැඩි අගතියක් සිදුවිය හැකි පෙන්වා දෙයි.

මෙලෙස ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතයට ගැනීම තුළින් පැළෑටි සංරක්ෂණ පනත, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු අණ පනත් යටතේ වරදක් උද්ගත වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එම පොහොර වර්ග වගා කටයුතු සඳහා යොදාගත හොත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දැඩි ඛේදවාචකයක් ඇති වීමට ඉඩකඩ ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් විදේශ රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

එමෙන්ම ප්‍රමිතියෙන් තොරව කාබනික පොහොර ආනයනය කිරීමට තීන්දු කළ රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට හා නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා ඇත.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Appreciating frontline health workers!

Read Next

‘ඔයගොල්ලෝ පොහොර නැව ගේන්න, ඉතුරු හරිය අපි බලාගන්නම්’ (යහපත් මිනිසුන්ගේ පව්කාර නිහැඬියාව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!