කාබනික පොහොරින් රටම ඇනහිටිද්දී ගොවියා රවටන පොහොර මගඩි

අමරනන්ද විජේසේකර – මහවැව – divaina.lk

“පොහොර ලෙස බොහෝ දෙනා දන්නා කොම්පෝස්ට් නිෂ්පාදනය එක රැයකින් කළ හැකි ක්‍රියාවලියක් නොවේ. ඒ සඳහා අවම වශයෙන් සති අටක්, දහයක් අතර කාලයක් ගත වේ”. එවැනි පසුබිමක නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කාබනික වගාවට ජනතාව යොමු කිරීමට රජය කටයුතු කළේය.ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය යන්න ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දුවක් ලබා දී තිබුණි.එම ඉලක්ක ජය ගැනීම සඳහා ”දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය“ නමින් ජනාධිපති කාර්ය සාධක බළකායක් ද පත් කළේ කාබනික පොහොර භාවිතය විධිමත්ව පවත්වා ගෙන යෑමටය.

ඒ අනුව රසායනික පොහොර භාවිතය තහනම් කළ අතර පොහොර ආනයනයටද තිත තබන ලදි. අනතුරුව කාබනික පොහොර අවශ්‍යතාවයෙන් උපරිම ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කිරීමටත්, ඊට අමතරව කාබනික පොහොර ආනයනය සඳහාත් පියවර ගැනීමට කටයුතු කළේය. රසායනික පොහොර තහනම ගැන ඇතැමුන් ඊට කණස්සල පළ කරද්දී තවත් පිරිසක් කාබනික පොහොර භාවිතයේ වටිනාකම ගැන මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීමට කටයුතු කළහ.“හීනෙන් බයවෙලා වගේ මේ ගත්තු තීන්දුව අවිද්‍යාත්මකයි. දශක පහක් තිස්සේ අපි වගා කරපු ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා. පාරිසරික වගාව,කාබනික ගොවිතැන කියන්නේ ඉතාම හොඳ සංකල්පයක්. නමුත් කාබනික පොහොර ගොවියාට ලබා දීමට අදාළ සමස්ත ක්‍රියාවලියට ආණ්ඩුවට සැලැස්මක් නෑ. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේකට වැඩපිළිවළක් හදාගෙන යනවා කියලා. දැන් ආණ්ඩුව නිර්දේශ කරන කාබනික පොහොරත් නෑ, රසායනික පොහොරත් නෑ. ඒගොවීන්ගේ මැසිවිලිය.

මේ අතර කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ගොවීන් ලියාපදිංචි කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කිරීමට කටයුතු කළේය.රසායනික පොහොර තහනමත් සමඟ කාබනික වගාවට ජනතාව යොමු වීමට කටයුතු කරද්දී බොහෝ පිරිසක් තම අවශ්‍යතාව ගෘහස්ථව සකසා ගැනීමට පෙළඹුණි. මේ අතර මහා පරිමාණ ලෙස නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ව්‍යාපාරිකයන් පෙළ ගැසුණෝය. මෙහිදී ප්‍රමිතියට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට කටයුතු කරද්දී සුළු පිරිසක් අධික ලෙස ලාභ ලැබීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට තොරතුරු ලැබෙන්නට විය.මීට ආසන්නම සිදුවීම වාර්තා වූයේ කල්පිටිය නොරොච්චෝලෙ ප්‍රදේශයෙනි. ඒ ඉකුත් 15 වෙනි දිනය. පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලි මහත්මියට ලැබූ නිර්නාමික දුරකථන පණිවිඩයක මෙහි තොරතුරු සඳහන් විය.

පවත්වාගෙන යන ස්ථානයේ වූයේ නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ය. පුත්තලම කල්පිටිය මාර්ගය ආසන්නයේ ඉඩම් කොටසක පවත්වාගෙන යන මෙම ස්ථානයේ නාම පුවරුවක්ද නොමැත. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ඇතුළුවන විටත් එහි සේවකයන් පොහොර යැයි සඳහන් දෑ ඇසුරුම් කරමින් සිටියහ. එම ඇසුරුම්වල උළුගල ඕගනික් ෆාම් පුද්ගලික සමාගම ලෙස සඳහන් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැනිය ලත් බව සඳහන් කර තිබීමෙන් මෙය පැහැදිලිවම ජාවාරමක් බවට සනාථ කර ගැනීමට නිලධාරීන්ට වැඩි කාලයක් ගත නොවීය. ස්ථානයට තිබුණා යැයි පැවසූ ලේඛන පරීක්ෂා කිරීමේදී කිසිදු නීත්‍යනුකූල බවක් දැක ගත නොහැකි විය. මෙම එක් ඇසුරුමක කිලෝ ග්‍රෑම් 40 ක් අඩංගුය. එවැනි ඇසුරුම් 750ක් ප්‍රවාහනය කිරීම සූදානම් කර තිබූ අතර තවත් ස්ථානයක මෙසේ අසුරන ලද උර 400 ක් සොයා ගැනීමට හැකිවිය.අනතුරුව අධ්‍යක්ෂවරිය පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සරත් පතිරණ මහතාට සහ හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ යුද හමුදා නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කළාය. එම නිලධාරීන් පැමිණීමෙන් අනතුරුව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමේදී මෙම ඇසුරුම්වල බහා ඇති ද්‍රව්‍ය පස්, වැලි, අඟුරු ඇතුළු දෑ බව හඳුනාගැනීමෙන් ව්‍යාපාරයේ ස්වභාවය පැමිණි නිලධාරීන් සියල්ලෝම එක නිගමනයකට පැමිණියහ. ඒ ආයතන දෙකෙහිම නම් අවභාවිත කරමින් සිදු කරන කූට ව්‍යාපාරයක් බවටය.

කෙසේ වෙතත් වැටලීම සිදුකිරීම ආරම්භයේදී මෙහි රැඳී සිටි පුද්ගලයා ව්‍යාපාරය පවත්වාගෙන යන අයිතිකරු නොවන බවත් ඔහු ඥාති පුත්‍රයෙකු බවත් හඳුනාගත්තේය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි.මෙම ස්ථානයට අමතර ඊට කිලෝමීටර් එක හමාරක් පමණ නුදුරින් පිහිටි නොරෝච්චෝල කලපු තීරයේද මෙලෙස කාබනික පොහොර සෑදීමට සූදානම් කර තිබූ අඟුරු කුඩු, වැලි, ලුණු මඩ ඇතුළු ස්ථානයක්ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.නිලධාරීන් විසින් මෙම ස්ථානය පරික්ෂා කර ස්ථානයේ කිසිදු ලෙසකින් කාබනික පොහොර සඳහා සුදුසු දෑ භාවිත කිරීම සිදු නොවන බවත් මෙම ස්ථානය සඳහා වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් බෑග් තුළ තිබූ ද්‍රව්‍යවලින් සාම්පල කොටස් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට යොමු කළ බවත් නිලධාරීන් පැවසූහ.

මේ සම්බන්ධව අදහස් දක්වන පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලි මහත්මිය……….

මෙම ස්ථානය පිළිබඳව අපිට ලැබුන තොරතුර මත එහි ගොස් පරීක්ෂකා කිරීම සිදුකළා. එහිදී අපිට අනාවරණය වුණේ කිසිදු අවසරයකින් තොරව මෙම ස්ථානයේ අසුරා තිබූ වැලි හා අඟුරු කුඩු මිශ්‍ර ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ඇසුරුම්වල කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නම කිසිදු අවසරයකින් තොරව භාවිත කර ඇති ආකාරය. මෙම ස්ථානය පවත්වාගෙන ගිය හිමිකරු අදාළ නිලධාරීන් මහහරිමින් නොපැමිණීම නිසා පොහොර මහ ලේකම් කාර්යාලයට ඒ බව දැනුම් දීමට කටයුතු කළා. කාබනික නිෂ්පාදන ක්‍රියා ක්‍රියාවලිය සිදු වනවා නම් ඊට අදාළ යන්ත්‍ර සූත්‍ර, උපකරණ තිබිය යුතුයි. මෙම ස්ථානයේ ඒ කිසිවක් දක්නට තිබුණේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම වැලි, මැටි, අඟුරු, ගල් කුඩු වැනි දෑ අසුරා තිබුණේ. නිෂ්පාදනය, අලෙවිය සඳහා බලපත්‍රයක් නොමැති බව තහවුරු වුණා. ඒ වගේම මීට අදාළ තත්ත්ව සහතික ලබාගැනීමට කීප වරක් උත්සාහ කර ඇති බවත් ඒ සියල්ල අසමත් වී ඇති බවද තහවුරු වුණා. ඒ අනුව මෙය නීති විරෝධී අයුරින් සිදු කරන ව්‍යාපාරයක් බවට කියන්න පුළුවන්. ඉදිරි නීතිමය කටයුතු සඳහා අපි සාම්පල් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට යොමු කර තිබෙනවා. මෙම ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නිසා කාබනික ගොවිතැන ප්‍රචලිත කරන්න හදන උත්සාහය සම්පූර්ණයෙන් අසාර්ථක වෙන්න පුළුවන්. මෙය සුළුවෙන් බලා සිටියොත් අපිට ලොකු ගැටලු රැසකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවෙයි. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් කියා සිටියාය.

පොහොර ලේකම් කාර්යාලයේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ හේමන්ත දිසානායක මහතා…….

“අපි ඒ ස්ථානයට ගොස් පරීක්ෂා කළා. එම එහි වසර 15 ක සිට කුකුළු හා ගොම පොහොර අලෙවි කිරීම සිදුව තිබෙනවා. නමුත් මෙම කාබනික පොහොර නිෂ්පාදනයටත් බෙදා හැරීමටත් අවසර දීමක් කර නැහැ.ඒ නිසා එම ස්ථානයේ ඒ වන විටත් ඇසුරම් කර තිබූ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නම සඳහන් කර තිබූ උර ඉවත් කරන්නත් කාබනික පොහොර බව සඳහන් කර තිබූ අමුද්‍රව්‍ය බෙදාහැරීමත් නවතා දමන්න උපදෙස් දුන්නා.
එයට අමතරව මෙම ස්ථානයෙන් රටවටා ස්ථාන කිපයකට ප්‍රවාහනය කර තිබූ කාබනික පොහොර බව සඳහන් ඇසුරුම් පිළිබඳව සොයා බලන්න ඒ ඒ දිස්ත්‍රික්කවල සහකාර අධ්‍යක්ෂවරුන්ටත් දන්වා සිටියා.ඒ සමගම මෙම ස්ථානයේ කිසිදු ලෙසකින් මෙම කාබනික පොහොර ඇසුරම් කිරීම නවතා දැමීමටත් අප කටයුතු කළා.

මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන හිමිකරු වන ෂාහුල් හමීඩ් මොහොමඩ් රාවුෆ්……

මට අලෙවි නියෝජිතයෙකුගෙ මාර්ගයෙන් බදුල්ල ප්‍රදේශයේ පොහොර නිෂ්පාදනය කරන ස්ථානයකින් ඇනවුමක් ලැබුණා. ඒ මේ කලපු තීරයේ ලවණ ගතියෙන් යුතු වැලි සහ මේ ඇසුරුම් කර ඇති ද්‍රව්‍ය අවශ්‍යයි කියල. ප්‍රථම වතාවට තමයි මම මේ ප්‍රවාහන කටයුතු සූදානම් කළේ. ඒගොල්ලො කිලෝග්‍රෑම් 40,000ක් ඉල්ලුවා. මම එක කිලෝග්‍රෑමයක් අලෙවි කරන්නෙ රුපියල් 14.50 කට. ඒ අය කියන්නේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍යයක් වශයෙන් මේවා කලවම් කරනවා කියලා. ඉතින් ඒවා ප්‍රවාහනය කරන්න ඒ ගොල්ලෝ මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර කාර්යාලයේ නම සඳහන් බෑග් එවලා තිබුණා. ඒ නිසා ඒව බෑග්වලට අසුරා ප්‍රවාහනය කරන්න සූදානම් කළේ. ඒගොල්ලන්ගෙන් මම ඇහුවම කියන්නේ මේ අමුද්‍රව්‍යත් එකතු කරලා කාබනික පොහොර නිෂ්පාදනය කර රජයට ලබා දෙනවා කියලා. ඒකෙ සත්‍ය අසත්‍යතාව මම දන්නෑ. “දැන් ආණ්ඩුව නිර්දේශ කරන කාබනික පොහොරත් නෑ, රසායනික පොහොරත් නෑ. තෙල් ටිකත් ගිනි ගනං. මේ සේරගෙන්ම බැට කන ගොවියා අන්තිමට වෛර කරන්නේ කාබනික වගාවට. මෙවැනි දෑ සිදුවීමෙන් ගොවීන්ට සිදුවන අගතියට සාධාරණයක් ඉටු වේද?

අමරනන්ද විජේසේකර – මහවැව

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

තලිබාන් පාලනය ඇෆ්ඝනිස්ථාන කාන්තාවන්ගේ නිදහස අහිමි කරන හැටි

Read Next

PM’s Committee proposes chemical fertilizer sack at Rs.10,000

Leave a Reply

Your email address will not be published.

Translate »