කාබනික ගොවිතැනට මොඩලයක්

ආර්ථික විශ්ලේෂක / ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ධන

ලංකාව තුළ ඉදිරියේ දී රසායනික පොහොර, කෘමිනාශක ද්‍රව්‍ය භාවිතය තහනම් වනු ඇත. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව පසුගිය දිනෙක ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ අතර, එය කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබේ. මේ වන විට රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සම්බන්දව විවිධ පාර්ශ්ව වෙතින් විවේචනය එල්ල වෙමින් තිබේ. රසායනික පොහොර භාවිතය තහනම් කිරීම ඉදිරියේ දී ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් බලපෑම් කරවන සාධකයක් වන බව පෙනේ.

මෙමගින් ආර්ථිකමය වශයෙන් රජයට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකිවන අතර තවත් අතකින් ගොවීන්ට අස්වැන්න අඩුවුවහොත් වන්දි ගෙවීමට සිදු වන බව පෙනේ. මෙහි දේශපාලනික බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ගොවීන්ගේ අස්වැන්න අඩුවුවහොත් ඔවුන්ගේ ආදායම්වලට බලපෑම් ඇති වන බව පැහැදිලිය. ඒ හරහා ගොඩනැගෙන ජනතා අප්‍රසාදය සුළු කොට තැකිය නොහැකිය.එහෙත් දේශපාලන සාධක නොසලකා ජනාධිපතිවරයා රටේ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් ගන්නා ලද සාධනීය පියවරකි. මෙය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා සහයෝගය ලබා දිය යුත්තේ එකී පදනමෙනි.

ලංකාවේ ගොවිතැන ගැන සලකා බැලීමේ දී යල මහ කන්නවල හෙක්ටයාර් මිලියන 1.33 වී ගොවිතැන සිදු කර ඇත. අනෙකුත් බෝග වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 97,120 ක් පමණවේ. 2020 වර්ෂයේ දී ලංකාවට රසායනික පොහොර මෙට්‍රිරික් ටොන් 574,705.9 ක් ආනයනය කර තිබූ අතර, ඒ සඳහා රුපියල් බිලියන 36 ක පමණ අති විශාල මුදලක් වැයකර තිබේ. මේ මුදල සෑම වසරකම සාපේක්‍ෂව ඉහළ යමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2020 වර්ෂයේ දී කෘමිනාශක ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1,260,053 ක් ආනයන කර ඇති අතර එම රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා රජය හා පෞද්ගලික අංශය වසරකට රුපියල් බිලියන 36 ක මුදලක් වැයකර තිබේ. අනෙක් අතට ජනතාවට වස කැවීම සඳහා ජනතාවගෙන්ම බදු මුදල් රුපියල් බිලියන 100 කටත් වැඩි ගණනක් වැය කිරීමට සිදුවීම කෙතරම් ඛේදජනක වන්නේදැයි සිතා බැලිය යුතුය.

ලංකාව තුළ පොහොර නිෂ්පාදනය වැඩි කිරීමේ හැකියාව පවතින අතර, විශේෂයෙන් එප්පාවල පොස්පේට් නිධියෙන් අවශ්‍ය පොහොර නිෂ්පාදනය කර ගත හැකිය. මෙම පොහොර වලින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට විදේශ තාක්‍ෂණය උපයෝගි කර ගැනීමට පසුගිය ආණ්ඩු උත්සාහ ගන්නා ලද අවස්ථා පැවති අතර අදූරදර්ශී දේශපාලන හස්තයන් නිසා එම ව්‍යාපෘති වැළකි ගොස් තිබේ.

ඉදිරියේ දී රසායනික පොහොර ආනයනය නැවැත්වෙන බැවින් එප්පාවල Tripe super phospate නිෂ්පාදනය වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුත් Sing Super phospate නිෂ්පාදනය සිදු කළ යුතුය. ඒ අනුව රජයට TSP ආනයනය සඳහා වසරකට වැයවන රුපියල් බිලියන 7 ක මුදල ඉතිරි කර ගත හැකිය. එප්පාවල පොහොර නිධියේ නිෂ්පාදන තවදුරටත් පුළුල් කිරීමෙන් වසරකට සාපේක්‍ෂව රුපියල් මිලියන 103 ක පමණ මුදලක් ඉතිර කර ගත හැකි අතර ගුණාත්මක බවින් යුතු පොහොර නිෂ්පාදනය කර ගත හැකි බව පෙනේ.

රසායනික පොහොර භාවිතයේ ප්‍රතිවිපාක
රසායනික පොහොර භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට විශාල ලෙස හානි පමුණුවමින් පවති. රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කිරීමේ ප්‍රධාන හේතුවක් ද වී ඇත්තේ මෙය බව පැහැදිලිය. දිගින් දිගටම රසායනික පොහොර භාවිතයෙන් විෂ ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් කුස තුළ වැඩෙන කාලයේ සිට ඉපදෙන දරුවා දක්වා බලපෑම් කර තිබේ. පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව ඉහළ යමින් පවති. 2020 වර්ෂයේ දී පිළිකා රෝගයට ගොදුරු වූ ගණන 29,604ක් ලෙස හඳුනාගෙන ඇති අතර 2020 වර්ෂයේ දී පිළිකා රෝගය නිසා මරණ 16,691ක් සිදුවී තිබේ. අනෙක් අතට වගා බිම් වලින් පිරිසුදු ජලයට නිකුත් වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වකුගඩු රෝගීන් ද දිනෙන් දින ඉහළ යමින් පවති. රටේ ශ්‍රම බලකාය රෝගාබාධවලට ගොඳුරු වීම අනාගතයේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. ඒ තුළින් රටේ ආර්ථික හා සමාජීය ගැටලු ගණනාවක් නිර්මාණය කිරීමට බලපෑම් එල්ල කරනු ලබයි.

ආනාගත ගැටලු හඳුනාගැනීම
රසායනික පොහොර භාවිතය නතර කිරීම සාර්ථක වැඩපිළිවෙළක් හා අනාගත දරු පරපුර ආරක්‍ෂා කරන වැඩ පිළිවෙළක් වන බව පැහැදිලිය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති නොවේ යැයි සිතිය නොහැක. ඒ අනුව ඇති විය හැකි ප්‍රධාන ගැටලු මොනවාද යන්න පිළිබඳව හඳුනාගත යුතුය. ප්‍රධාන ගැටලුවක් ලෙස මෙහිදී දැකිය හැක්කේ මෙම ක්‍රියාවලිය සඳහා ගොවීන් හුරු කිරීම හා දැනුවත් කිරීමයි. දැනටමත් කාබනික පොහොර භාවිතය පිළිබඳ ගොවීන් දැනුවත් වුවද පෙහොර මිලදි ගැනීම හා භාවිතය පිළිබඳ ගොවීන් දැනුවත් විය යුතුය. ඒ සඳහා සාධාරණ කාලයක් ගත වනු ඇත. අනෙක් අතට කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු වීමට ද කාලයක් ගත වේ. සෑම විටම රසායනික පොහොර භාවිත කළ ගොවීන් එකවිටම කාබනික පොහොර භාවිතයට හුරුවේ යැයි සීතීම සැක සහිතය. දෙවනුව කාබනික පොහොර භාවිතයෙන් ගොවීන්ගේ අස්වැන්න අඩුවුවහොත් සිදු වන මූල්‍යමය පාඩුව හා ඒතුළින් මිල ගණන්වලට සිදුවන බලපෑම පිළිබඳව ද ඉදිරියේ දී අවධානය යොමුවිය යුතුය. දැනටමත් රජය මේ සම්න්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර අස්වැන්න අඩුවුවහොත් ඒ සඳහා රජය සාධාරණ වන්දියක් ගෙවීමට සූදානම් බව සඳහන් කර ඇත. කෙටිකාලීන වශයෙන් මෙය යහපත් අදහසක් වුවද දීර්ඝ කාලීන වශයෙන් කාබනික පොහොරවලින් ඵලදායිතාව ඉහළ නැංවිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සලකා බැලිය යුතුය. අනෙක් අතට සමහර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දිගින් දිගටම එකම පොහොර භාවිත කිරීමෙන් පසේ අසමතුලිතතාවක් ඇති විය හැකි බවයි. ඒ අනුව භෝග වගාවලට හා අස්වැන්නට බලපෑම් ඇති විය හැකි බවයි.

අනෙක් ගැටලුව වන්නේ කාබනික පොහොර කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කරන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා රජය ප්‍රාදේශීය මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගැනීමට සූදානම් බව අදාළ අංශ පෙන්වා දෙයි. මේ තුළින් ප්‍රාදේශීයව පවතින කසළ ගැටලුවට ද පිළියමක් වන බව පෙනේ.

තවත් අතකින් මෙරටට ආනයනය කරනු ලබන රසායනික පොහොර හා කෘමිනාශකවල ගුණාත්මකභාවය සොයා බලන්නේ ද යන්න පිළිබඳ විශාල ගැටලුවක් පවති. අනිත් අතට රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක නිසි ආකාරයෙන් යෙදවිය යුතු ප්‍රමාණ පිළිබඳව ගොවින්ට ඇත්තේ අඩු දැනුමකි. සමාගම් වලින් යෙදවුම් පිළිබඳව හා ප්‍රමාණ පිළිබඳ ලබාදෙන දැනුම වංචාසහගත වන්නට පුළුවන. ඒ අනුව පසට ඕනෑවට වඩා විෂකාරක එක්වනු පෙනේ.

කාබනික පොහොර භාවිතයේ වාසි
කාබනික පොහොර යෙදීමෙන් පසට සැලකිය යූතු ප්‍රමාණයක ශාක පෝෂක එක් වනු ඇත. තවද, රසායනික පොහොර මගින් සැපැයිය හැකි ශාක පෝෂක වර්ග ප්‍රමාණය සීමා සහිතය. එහෙත් කාබනික පොහොර මගින් ශාක වර්ධනයට අවශ්‍ය මූලික, ද්වීතියික හා අංශුමාත්‍රවලට අවශ්‍ය ශාක පෝෂ්‍ය සියල්ල පසට එක්වීම සිදුවේ. මෙය එකවර සිදු නොවූවත් ක්‍රම ක්‍රමයෙන් සිදුවන ක්‍රියාවලියකි. මේ නිසා කාබනික පොහොරවලට දිගු කාලයක් තුළ සෙමෙන් හා පහසුවෙන් ශාක පෝෂ්‍ය නිදහස් කිරීමේ හැකියාව පවති. එහෙත් රසායනික පොහොර මගින් ඉතා ඉක්මනින් ශාක පෝෂක නිදහස් වීම මගින් පෝෂ්‍ය පදාර්ථ පරිසරයෙන් ඉක්මනින් සෝදායාම සිදුවේ. මේ නිසා කාබනික පොහොර භාවිතය නිසා පසේ වැදගත් රසායනික ලක්‍ෂණයක් වන ශාක පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාව නිසා පොහොර දියවී පසෙන් ඉවත් වී අපතේ යාම අඩුවේ. වාණිජකරණයේ දී කාබනික පොහොර යනු කාබනික ද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීමයි. සරලව කිවහොත් කාබනික ද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීම මගින් වැඩි ඵලදායිතාවක් ලබා ගත හැකිය.

පසේ සාරවත් බව වැඩි දියුණු කිරීම සඳහා පසේ භෞතික හා ජීව විද්‍යාත්මක සාධක බලපානු ලබයි. ඒ අතර, පසේ PHඅගය, ජලය රඳවා ගැනීම, පසේ අන්තර්ගත වාත ප්‍රමාණය, පසේ ගැඹුර, වැලි, මැටි, රොන් මඩ වැනි කොටස්වල අනුපාත වැදගත් වේ. පසක මෙවැනි ලක්‍ෂණ වැඩි දියුණු කිරීමට කාබනික පෙහොර වැදගත් වන අතර, ඒ අනුව භෝග වගාවල ඵලදායීතාව වර්ධනය වේ. කාබනික පොහොර භාවිතය නිසා පසේ ජීවත් වන ක්‍ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය ආහාර ශක්තිය පහසූවෙන් ලබා දීම සිදුවේ. අනෙක් අතට කාබනික පොහොර පසට එක්වීමෙන් පසේ සිදූවන ප්‍රතික්‍රියා සඳහ ක්‍ෂුද්‍ර ජීවීන් එයට එක්වීම සිදුවේ. ඒ අනුව කාබනික පොහොර යෙදිම මගින් පසෙහි රසායනික, භෞතික හා ජීව විද්‍යාත්මක ලක්ෂණ වැඩි දියුණු වීමෙන් පස පූර්ණ සාරවත් බවට පරිවර්තනය වීම සිදුවේ. කාබනික පොහොර භාවිතය වැඩි වීම නිසා පසෙහි සාරවත් බව වැඩිදියුණු වන අතර පරිසරය ආරක්ෂා වීම ද සිදුවේ. කෙසේ වෙතත් රසායනික පොහොරවල මෙන් නොව කාබනික පොහොරවල ක්‍රීයාකාරිත්වය දිරිඝ කාලීනව පසේ රදා පැවැත්ම රටකට හිතකර ප්‍රතිඵල ලබා දෙයි.

විදේශීය අත්දැකිම් තුළින් දේශීය මොඩලයක් වෙත ගමන් කිරීම
කාබනික පොහොර සියයට සියයක් භාවිත කරමින් කෘෂිකර්මාන්තය සිදුකරන ප්‍රාන්තයක් ලෙස ඊසාන දිග ඉන්දියාවේ පිහිටි සිකිම් (Sikim Province) හඳුන්වා දිය හැක.

ජාත්‍යන්තර මාධ්‍ය පෙන්නා දෙන්නේ ලෝකයේ සියයට සියයක් කාබනික පොහොර භාවිත කිරීමේ කාබනික රාජ්‍ය වශයෙනි. 2003 වර්ෂයේදී සිකීම් ප්‍රාන්තයේ බලයට පත්වූ පර්වාන් චාමිලිං මහ ඇමතිවරයා සිකිම් ප්‍රාන්තය ඉන්දියාව් ප්‍රථම කාබනික ප්‍රාන්තයක් බවට පත් කිරීමේ ඔහුගේ දැක්ම ඉදිරිපත් කළේය. 2010 වර්ෂයේ දී කාබනික මෙහෙවර Organic Mission යටතේ ක්‍රියාකාරි සැලැස්මක් සකස් කොට ඒ අනුව ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් ඉදිරිපත් කෙරිණි. එම ක්‍රියාකාරි සැලැස්මේ කූඨප්‍රාප්තිය වූයේ සිකීම් ප්‍රාන්තය ලෝකයේ පළමු කාබනික ප්‍රාන්තය ලෙස ප්‍රකාශයට පත් කිරීමයි. මෙම ක්‍රියාදාමය වසර ගණනාවක සිට ක්‍රියාත්මක වි තිබු අතර සියලුම පාර්ශව මෙහි ප්‍රගතිය සඳහා විශාල දායකත්වය සපයා තිබේ.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කිරීම සඳහා ප්‍රාන්ත රජය තරුණ කොටස් සම්බන්ධකර ගැනීම හා දැනුම ලබා දීම සිදුකර තිබේ. කාබනික ගොවිතැන පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම, රැකියා විරහිත තරුණ තරුණියන් කාබනික ගොවිතැන සඳහා යොමු කිරීමට පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම 2016 වර්ෂයේදී කාබනික ගොවිතැන් පර් යේෂණ ආයතනයක් ඇති කිරීම වැනි පුළුල් වෙනස්කම් රාශියක් සිදුකර තිබේ. කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ සිකීම් යනු ඉන්දියාවේ තරුණ තරුණියන් භූමියේ රදා සිටීමට තීරණය කරන ස්ථානයක් බවයි. මෙවැනි පර් යේෂණ ප්‍රතිපත්ති කාරණා ගණනාවක ප්‍රතිඵලයක් ලෙස අද වන විට සිකිම් ප්‍රාන්තය සියයට සියයක් කාබනික ප්‍රාන්තයක් ලෙස පරිවර්තනය වී ඇත.

ලංකාව තුළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමට නම් ලෝකයේ අනෙකුත් රටවල අත්දැකීම් උපයෝගි කර ගැනීම ඉතා වැදගත්ය. ලංකාව ඉදිරියේදී කාබනික රාජ්‍යක් කරා ගමන් කිරීමේ අභියෝගය ජය ගැනීමට නම් ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය ඉතා වැදගත්ය. එක් විටම ලංකාව තුළ රසායනික පොහොර භාවිතය තහනම්‍ කිරීම ප්‍රායෝගික නොවන බව ප්‍රවිණයන්ගේ අදහසයි.

හොඳම විකල්පයක් හඳුන්වා දිය හැක්කේ ලංකාවේ බහුලව ගොවිතැන් කරන දිස්ත්‍රික්ක හඳුනා ගනිමින් ප්‍රථමයෙන්ම ආදර්ශ මොඩලයක් නිර්මාණය කිරීමය. එම ප්‍රදේශය සම්පූර්ණයෙන් රසායනික පොහොර වලින් තොර කලාපයක් කිරීමට ක්‍රම උපායක් සකස් කළ යුතුය. ඒ අනුව විධිමත් වැඩසටහනක් යටතේ වසර 03 කාලයක් තුළ මෙය සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරීම ඉතා වැදගත් වේ. එහි ප්‍රගතිය වසර 03ක් සමාලෝචනය කිරීමෙන් ලංකාව පුරා මෙම කාබනික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය හැකිය. ගොවින් දැනුවත් කිරීම හා පුහුණු වැඩසටහන් රට පුරා ගොවි සංවිධාන, කෘෂි නියාමකවරුන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකර හැකිය. එමෙන්ම පාසල් විෂය මාලාවට තොරතුරු ඇතුළත් කළ හැකිය. ලංකාව තුළ කාබනික පොහොර මහා පරිමාණයෙන් නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා ආයෝජකයන්ට පහසුකම් සැළසීම ඉදිරි වසර කිහිපය තුළ දී සිදු කිරීම ඉතා වැදගත් වේ. කාබනික වගාවට අලුතෙන් නවීන තාක්ෂණය උපයෝගිකර ගැනීමට ගොවින් උනන්දුකර ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීම හා ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන ඉහළ නැංවීම සිදු කළ හැකිය. මේ නිසා රටක් වශයෙන් රසායනික පොහොර වල සිට කාබනික පොහොර දක්වා ගමන් කිරීමේ දී එක විට එය කිරීමට වඩා ක්‍රම ක්‍රමයෙන් පරිවර්තනය ඇති කිරීම ප්‍රායෝගික වනු ඇත.

තොරතුරු මූලාශ්‍රය

http://www.lankadeepa.lk/features/%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B8%E0%B7%9C%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/2-590779

Admin

Read Previous

ආදිවාසි නායකයාගේ පෙත්සම කල් යයි

Read Next

පොලිතින්, ප්ලාස්ටික් වෙසක් සැරසිලි එපා – පරිසර අමාත්‍යාංශය ඉල්ලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »