කරුමෙට මොකද කරන්නේ?

කාර්මික විප්ලවයෙන් පසු මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ නූතන යුගය පටන් ගත්තේය. ඒ නූතන යුගය තුළ දූෂණය වූ ගෝලීය පරිසරය යම් තරමකින් හෝ ශුද්ධ කර ගැනීමට එළැඹුණු එකම අවස්ථාව 2019 දී ලෝකයට උදාවූ කොවිඞ් 19 වසංගත කාලයයි. වසංගතය පටන් ගත් සැනින් ලෝකයේ කාර්මික රටවල් සියල්ල ද ඉතිරි රටවල්වලින් 90 % ක්ද ලොක්ඩවුන් කරන ලදී. ඒ ලොක්ඩවුන් එක තුළ ගතවූ මුල් මාස හයේදී පෘථිවි ගෝලය වටා ඇති ඕසෝන් ස්ථරය විශාල වශයෙන් සුවපත් විය. යමක් සුවපත් වීමට නම් එය රෝගීව තිබිය යුතුය. අධික කාබන් විමෝචනය නිසා ඕසෝන් ස්ථරයේ තැන තැන හිල් හැදී තිබූ අතර ඒවා තුළින් පිළිකා කාරක විකිරණ වර්ග පෘථිවිය වෙත ගලා ආවේය. ඕසෝන් ස්ථරය සුවපත් වීම යනු පිළිකා රෝගීන් අඩු වීමය. බෙහෙවින් කාර්මීකරණය වූ චීනයේ බෙයිජිං නගරය සාමාන්‍යයෙන් දවසේ පැය 24 පුරාම මීදුමකින් වැසී පවතී. ඇත්තම කතාව නම් මෙය මීදුමක් නොව දූෂණය වූ වායු වර්ගවල එකතුවක් බවය. ඒ නිසා කොවිඞ් පැතිරෙන්නට අවුරුදු 15 කට පමණ පෙර සිටම බෙයිජිං නගරයේ වැසියෝ දිනපතාම මාස්ක් පරිහරණය කළහ. කොවිඞ් ලොක්ඩවුන් එක පිළිබඳ මේ වන විට විද්‍යාත්මක පර්යේෂණ සිය ගණනක් කෙරී ඇත. ඇමරිකාවේ Massachusetts Institute of Technology ආයතනය කළ පර්යේෂණයකදී හෙළිවුණේ කොවිඞ් ලොක්ඩවුන් කාලය තුළ ගෝලීය අකුණු ගැසීම් ප‍්‍රමාණය 8% කින් අඩුවී ඇති බවය. පරිසරය දූෂණය වන විට හෙණ ගහන බව මෙයින් තේරුම් කරදෙනු ලැබේ. එම හෙණ වදින්නේ දූෂිත පරිසරයට ද නොඑසේ නම් පරිසර දූෂණය කරන එකාට ද යන්න හරි හැටි පැහැදිලි නැත.

 ඉහත සඳහන් ෙඡ්දය ඔබේ දැනුම උදෙසාය. පහත සඳහන් ෙඡ්ද ඔබගේ අවධානය උදෙසාය. මේ මොහොතේදී මේ රටේ ඇති දෛනික ප‍්‍රශ්න කිහිපයෙන් එකකි, ලයිට් කැපීම. තවදුරටත් වැසි නොවැටීම, ඒ නිසා විදුලි බලය නිපදවන බලාගාර ආශ‍්‍රිත ජලාශවල ධාරිතාව අඩුවීම, ගල් අඟුරු බලාගාර වැඩ නොකිරීම සහ ඒවා වැඩ කරන්නට පටන් ගත්තත් ගල් අඟුරු ගැනීමට ඩොලර් නොමැති වීම සහ ඞීසල් බලාගාර වැඩ කරවීමට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සඳහා ඩොලර් නොමැතිවීම යන කාරණා නිසා දිනපතා විදුලිය කැපීමේ තැනකට ආණ්ඩුව තල්ලූ විය. නූතන ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි එපාම කරපු දේවල් අතුරින් දෙකක් වන්නේ ලයිට් කැපීම සහ වතුර කැපීමය. මේ වන විට ලෝකය භ‍්‍රමණය වන්නේ විදුලි බලයෙනි. විදුලිය සපයා ගන්නේ තෙල්වලිනි. ෆොසිල ඉන්ධන භාවිතා කරමින් දියුණුව කරා යෑමට මනුෂ්‍ය සංහතිය ගන්නා උත්සාහයට එක තැනකදී කෙළවෙන බවපැරැන්නෝ කීහ. අපේ රටේ විදුලිය කැපීම එසේ කෙළවීමේ එක් අවස්ථාවකි. ජනයාට අපහසුවක් නොවන පරිදි ලයිට් කපන්නැයි ජනාධිපතිතුමා විදුලි බල මණ්ඩලයේ ලොකු අයට දන්වා ඇත. සාමාන්‍ය මිනිසුන් අතරින් පැමිණ සාමාන්‍ය මිනිසකු ලෙස ජනාධිපති වී සාමාන්‍ය මිනිසකු ලෙසම දිගටම ජීවත් වන ගෝඨාභය රාජපක්‍ෂ මේ රටේ ජනතාව ගැන හිතන කාරුණික විදිහ ගැන අප තුළ ගෞරවයක් තිබේ. එහෙත් කොහොම කැපුවත් ලයිට් කැපිල්ල මිනිස්සුන්ට වධයකි. 1970 වන තුරු ලයිට් කැපිල්ල යනු කිසිම ගාණක් නැති වැඩකි. 1970 – 75 කාලයේදී හදිසියේ ලයිට් ගියාට කව්රුත් ගණන් ගත්තේ නැත. ඒ වනවිටත් මේ රටේ

 ජනයාගෙන් 80 % ක් පමණ රාත‍්‍රිය ආලෝකවත් කළේ කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු සහ පෙට්‍රෝමැක්ස් වෙළෙඳ ලකුණ දරන භූමිතෙල් පීඩන ලාම්පුවලිනි. එහෙත් අද තත්ත්වය වෙනස්ය. අද ලයිට් නැත්තේ යාල කැලේ මැද්දටත් සිංහරාජ කැලේ මැද්දටත් පමණි. ඇඹිලිපිටියේ වන මැද ඇති ගංජා හේන්වලට පවා අද ලයිට් ඇත. මේ නිසා අප පෙර කී පරිදි ලයිට් කොහොම කැපුවත් කරදරය.

 විදුලි බල මණ්ඩලය වැඩි වශයෙන්ම යැපෙන්නේ තාප විදුලිය මතය. එනම් ගල් අඟුරු විදුලිය සහ පෙට්‍රෝලියම් විදුලිය මතය. දැනට මේ රටේ විදුලි පරිභෝජනය කොතරම් විශාලද යත් ලංකාවෙන් භාගයක් තරම් විශාල ජලාශයක් ඉදිකොට එයට වතුර පුරවා ජල විදුලිය නිපද වුවද හය මාසයක් යන්නට පෙර එම ජලාශය හිස් වනවා ඇත. ජල විදුලිය හා තාප විදුලිය හැරුණු විට අප සතුව ඇති ඊළඟ විදුලි ප‍්‍රභවය වන්නේ සූර්ය බලයෙන් උපදවන විදුලිය සහ සුළං බලයෙන් නිපදවන විදුලිය පමණි. මෙය රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් 8% කි. සුළං විදුලිය සහ සූර්ය විදුලිය ගොඩදමා ගත හැකි නම් මේ රටට සෑහෙන තරම් බලශක්ති ගේමක් ගසා ගත හැක. ආණ්ඩුව ලයිට් කැපීම කෙරෙහි විශාල උනන්දුවක් පෙන්වන්නේ නැත. හෙට සිට දවසකට පැය දෙකහමාරක් විදුලිය කපනවා යැයි කියන නමුත් ඒ හෙට පෙරේදා සිට තවමත් හරියාකාරව උදාවී නැත. රටේ තැන තැන ?ට-?ට විනාඩි 45 බැගින් විදුලිය කපනු ලැබේ. විදුලි බලය කප්පාදු කිරීමෙන් හටගැනීමට ඉඩ ඇති දේශපාලනික විභවය ගැන ආණ්ඩුවට යම් කිසි දැනුමක් තිබිය යුතුය.

 මේ රටේ විදුලි බල නිෂ්පාදනය තුළ සිටින ලොකුම කරදරකාරයා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයයි. මේ මඟුල නොකැඩෙන දවසක් නැත. මෙය සිසිලනය කෙරෙන්නේ මුහුදු වතුරෙනි. ඒ නිසා සෑම මාස තුන හතරකට සැරයක්ම මේ ටර්බයින තුළ මුහුදු බෙල්ලන් සිරවෙන නිසා යන්ත‍්‍රය නවතී. එවිට එය පිරිසිදු කර නැවත ක‍්‍රියාත්මක කිරීම සඳහා සති කිහිපයක් ගතවේ. නොරොච්චෝලේ නැවතුණු විට ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 300 ක විදුලි බලයක් අහිමි වෙයි. මේ දවස්වල මාවුස්සාකැලේ විදුලි බලාගාරයේ ජලය ගෙන යන උමග අලූත්වැඩියා කළ යුතු ද නැත්ද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ. මෙය කාලයෙන් කාලයට සිදුකෙරෙන අත්‍යවශ්‍ය පරීක්ෂණයකි. මෙවිට එම විදුලි බලාගාරය වසන අතර එමගින් මෙගා වොට් 60 ක විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙයි. මේ දෙකටම අමතරව ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 270 ක් සපයන වෙස්ට් කෝස්ට් පවර් ප්ලාන්ට් නමැති බලාගාරයක් තිබේ. මෙහි ඇති අඩුපාඩු නිසා මෙගා වොට් 130 ට වඩා සැපයිය නොහැක. මේ සියල්ලට අමතරව ජී ටී 7 නමින් හැඳින්වෙන මෙගා වොට් 115 ක ධාරිතාවක් ඇති විදුලි බලාගාරය එහෙම්පිටින්ම නැවතී ඇත. මේ ටික කරකවා ගත්තොත් රටට විශාල විදුලි හිඟයක් ඇති වන්නේ නැත. එහෙත් මේ ටික කරකවා ගන්නට ආණ්ඩුවට බැරිය. හැකි නම් ඒ ටික කරකවා ජනතාවට විදුලිය දීමෙන් ලැබෙන වාසිය ආණ්ඩුව ස්ථිර වශයෙන් ම භුක්ති විඳිනවා ඇත. ඒත් ඉතිං කරුමෙට මොකද කරන්නේ?

මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

හක්කපටස් කෑ අලි පැටියකු දවස් දෙකක් දුක් විඳ මිය ගිහින්

Read Next

මුතුරාජවෙළ මායිම් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිපතිට නියෝග

Leave a Reply

Your email address will not be published.

Translate »