Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

‘ඔයගොල්ලෝ පොහොර නැව ගේන්න, ඉතුරු හරිය අපි බලාගන්නම්’ (යහපත් මිනිසුන්ගේ පව්කාර නිහැඬියාව)

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ආචාර්යවරයකු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකින් මේ කතු වැකිය අරඹනු ලැබේ. ”ශ‍්‍රී ලංකාව බෙහෙවින් දුක්විඳී. ඒ, නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්ධතාව නිසාය” ඒ ආචාර්යවරයා කවරෙක් දැයි අපි නොදනිමු. එහෙත් ඔහුගේ කතාවට සුවිශාල විභවයක් තිබේ. යහපත් මිනිසුන් කට වසාගෙන සිටි තරමට බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර නැව් මේ රටට පැමිණෙනවා ඇත. ශ‍්‍රී ලංකාව විසින් අවස්ථා කිහිපයකදීම ප‍්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර පටවා ගත් චීන නැවක් කොළඹ වරායට කිට්ටුවීමට ඔන්න මෙන්න කියා තිබියදී මේ කතුවැකිය ලියනු ලැබේ. හාබර් මාස්ටර් විසින් වරාය ඇතුළට පැමිණීම තහනම් කරන ලද නිසා මේ නැව මේ වනවිට Out Harbor තත්ත්වයේ තිබෙනවා වන්නට පුළුවන. මේ පොහොර නැවේ තිබෙන පොහොර තොගයට මුදල් ගෙවීම අත්හිටුවමින් ලංකා පොහොර සමාගම නමැති රාජ්‍ය ආයතනය විසින් පසුගිය සති අන්තයේදී කොළඹ වාණිජ අධිකරණයෙන් වාරණ නියෝගයක් ගන්නා ලදී. ඒ බව දැන දැනත් චීන කාබනික පොහොර නැව ශ‍්‍රී ලංකාව බලා අඛණ්ඩ ගමනක යෙදෙමින් සිටියේය.

මහ කන්නය සඳහා වී වගා කරන ගොවීන්ගේ ප‍්‍රයෝජනය පිණිස ඩොලර් මිලියන 63 ක් වටිනා කාබනික පොහොර තොගයක් ශ‍්‍රී ලංකාවට ගෙන්විය යුතු බව මෙයට දෙමසකට පමණ පෙර රජය විසින් තීරණය කරන ලදී. මේ සඳහා ටෙන්ඩරයක් කැඳවන ලදුව චීනයේ QINGDAO CEAWIN BIOTECH සමාගම ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට අනුමැතිය ලැබිණ. එය ඩොලර් හයකෝටි තිස් ලක්ෂයක ටෙන්ඩරයකි. චීන සමාගම විසින් මෙරටට එවීමට නියමිත කාබනික පොහොරවල සාම්පල් කිහිපයක් ශ‍්‍රී ලංකා පැලෑටි නිරෝධායන ආයතනයේදීත් තවත් පර්යේෂණාගාර එකක හෝ දෙකකදීත් පරීක්ෂාවට ලක්කෙරුණු අතර එම පොහොර සාම්පලවල Erwinia නමැති බැක්ටීරියාව ඇති බව හෙළිවිය. එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල දී ඇමෙරිකානු විද්‍යාඥයකු වූ අර්වින් ෆ‍්‍රින්ක් ස්මිත් විසින් මුල්වරට සොයාගන්නා ලද මෙම බැක්ටීරියාව කිසිදු කාබනික පොහොර වර්ගයක අඩංගු වන්නේ නම් එය වගා කටයුතු සඳහා යොදාගැනීම සුදුසු වන්නේ නැත.

මෙය ආහාර ජීර්ණ පද්ධතිය තුළට ගියහොත් මරු කැඳවන බැක්ටීරියාවකි. කාබනික පොහොර තුළ මෙම බැක්ටීරියාව හටගැනීමට හේතු ගණනාවක් බලපායි. සමහරවිට කාබනික පොහොර නිසි උෂ්ණත්වයක් යටතේ ගබඩා නොකළොත් මෙම බැක්ටීරියාව හටගැනීමට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාවට කාබනික පොහොර සැපයීමේ ඩොලර් මිලියන 63 නේ වාසනාවන්ත ටෙන්ඩරයේ හිමිකරුවා වූ ක්වින්ඩා ඕ සමාගම මුල සිටම කියා සිටියේ තම පොහොර තුළ අර්විනියා බැක්ටීරියාව නැති බවය. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ ද විටෙක කකුල් දෙකෙන් හිටගෙන ද තවත් විටෙක ඔළුවෙන් හිටගෙන ද චීන කාබනික පොහොර වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් වැඬේ දුර දිග යනවිට පොහොර සිද්ධිය පිළිබඳව කතන්දරය පාර්ලිමේන්තුවේදී ඇදුනු බැවිනුත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී විජිත හේරත් වෙනමත්, සමගි ජන බලවේගය වෙනමත්, රට පුරා ගොවි සංවිධාන වෙනමත් චීන කාබනික පොහොරවලට එරෙහිව බෝම්බ ගසන්නට පටන්ගත් බැවිනුත් එම කාබනික පොහොර තොගය ලංකාවට නොගෙන්වීමට තීරණය විය.

චීන කාබනික පොහොර බෝම්බය පුපුරන්නේ නරකම වෙලාවකදීය. කොවිඞ් වෛරසයෙන් යාන්තම් ජීවිතය බේරාගෙන කකුල් දෙකෙන් හිටගැනීමට පොහොට්ටු ආණ්ඩුව තැත් කරන මුල් අවස්ථාවේදීම කාබනික පොහොර බෝම්බය පුපුරා යෑමෙන් ලොකු හානියක් සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රගතිශීලී ලෙසත් සමගි ජන බලවේගය ප‍්‍රතිගාමී ලෙසත් මේ බෝම්බය දේශපාලන වශයෙන් පාවිච්චි කළ බව පෙනේ. ශ‍්‍රී ලංකාව තුළ පසුගිය අවුරුදු හැට හැත්තෑව තිස්සේම ගොවිතැන් සඳහා යොදාගන්නා ලද රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදවීමට ආණ්ඩුව තීරණය කරන්නේ පැය 24 ක් තුළය. මේ තීරණය කොතරම් දුරට ප‍්‍රායෝගික ද නැද්ද යන්න අපි නොදනිමු. එහෙත් පළපුරුදු ගොවියන්ගේ අදහසට අනුව රසායනික පොහොර නොයොදන අමු මිරිස් කොච්චි මිරිස් තරමට කුඩාය. රසායනික පොහොර නොයොදන බණ්ඩක්කා අමු මිරිස් තරමට කුඩාය. බෝංචි මුං කරල් තරමට කුඩාය. පතෝල කරල් මුරුංගා කරල් තරමට කුඩාය.

මේ නිසා එක්වරම රසායනික පොහොර වලින් ගැළවී කාබනික පොහොර වලට ගියොත් රටේ ජාතික අස්වැන්න 50% ටත් වැඩි ප‍්‍රමාණයකින් අඩුවිය හැකි බව කෘෂි විශේෂඥයන් විසින් පමණක් නොව ඇතැම් ගොබ්බ දේශපාලනඥයන් විසින්ද තක්සේරු කර තිබිණ. එවැනි ගොබ්බයන්ට පවා තේරුණු දේ සුවිශාල ජන වරමක් ලැබූ ආණ්ඩුවට නොතේරීම පුදුමයකි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පසුගියදා අගේ ඇති ප‍්‍රකාශයක් කළේය. ඔහු කියා සිටියේ රසායනික පොහොර තහනම් කරන ගැසට්ටුව් වැරදීමක් බවය. මෙබඳු වැරදි සෙල්ලම් වැරදි නොවේ. මේවා මිනී මරණ වැරදිය. එම වැරැුද්ද නිසා රට තුළ විශාල කලබැගෑනියක් හටගත් අතර ආණ්ඩුව අනවශ්‍ය අවස්ථාවකදී අප‍්‍රසාදයට ලක්විය. එම කාරණය ගැන පසුව සාකච්ඡා කරනු ලැබේ. අපේ අවදානය දැන් යොමුවන්නේ ක්ෂුද්‍ර ජීවීන් සහිත චීන කාබනික පොහොර නැව ගැනය. රජය විසින් එම පොහොර ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබියදී අදාළ නැව චීනයේ සිට කොළඹ වරායට එන්නේ කාරණා දෙකක් උඩ විය යුතුය. එයින් පළමුවන කාරණාව වන්නේ චීනයේ කලාපීය ගණන්කාරකමය. දෙවැනි කාරණය විය හැක්කෙ “ඕගොල්ලෝ පොහොර නැව ගේන්න, ඉතුරු ටික අපි බලාගන්නම්” යනුවෙන් ලංකාවේ තදයන් විසින් කියනු ලැබීමය. ශ‍්‍රී ලංකාව බෙහෙවින් දුක් විඳිමින් සිටී. එයට හේතුව නරක මිනිසුන්ගේ වැඩ පමණක් නොව හොඳ මිනිසුන් කට වසාගෙන සිටීමය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

කාබනික පොහොර ආනයනය වැළැක්වීමට ගොනු කළ පෙත්සම ගැන දුන් නියෝගය

Read Next

කැබිලිත්ත රක්ෂිතයේ අවසානය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!