Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

“ඔක්තෝබර් 20න් පසු ගල් අඟුරු ඉවරයි: දවසට පැය 10ක් කළුවරේ ඉන්න වේවි”

mawbima.lk – මිතුන් ජයවර්ධන

ඔක්තෝබර් 20 වන දා යි න් පසුව පවතින ගල් අඟුරු අවසන් වන බැවින් සැපයුම්කරුවන් ගල් අඟුරු සැපයීම කඩිනමින් සිදු නොකරන්නේ නම් විදුලිය නිෂ්පාදනයේ දැවැන්ත කඩාවැටීමක් සිදුවන බවට ගල් අඟුරු සමාගම අනතුරු අඟවයි.

තම ආයතනයට එ‍ල්ල වී ඇති චෝදනා නීත්‍යනුකූලව නිරාකරණය කරන තෙක් මෙරටට ගල් අඟුරු සැපයීමට නොහැකි බව අවම ලංසුව ඉදිරිපත් කර තිබෙන ඩුබායිහි බ්ලැක් සෑන්ඩ් කොමඩිටීස් සමාගම සඳහන් කර ඇත.

එසේ ම, අදාළ සමාගම ගල් අඟුරු සැපයීම සිදු නොකරන්නේ නම් මෙරට විදුලි උත්පාදනයට විශාල බලපෑමක් එල්ල වනු ඇති බවත් කඩිනමින් ගල් අඟුරු ලබා ගැනීමට අදාළ පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව ත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය.

අවශ්‍ය ගල් අඟුරු ඔක්තෝබර් මාසයට පෙර ආනයනය කරන්නට නොහැකි නම් ඉදිරියේදී පැය 10-12ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවත් පවතින වර්ෂාව අඩු වුවහොත් එය තවත් වැඩි වීමට හැකි බවත් විදුලි ඉන්ජිනේරු වෘත්තීය සමිතියේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පැවසුවේ ය.

පවතින ගල් අඟුරු තොගවලින් විදුලිය උත්පාදනය සිදුකිරීමට හැක්කේ ඔක්තෝබර් 20-25 දක්වා පමණක් බව ත් එවන් අවස්ථාවක් උද්ගත වුවහොත් නොරොච්චෝලේ බලාගාර තුන ම නතර කිරීමට සිදුවන බව ත් ඔහු පැවසීය.

එසේ ම, ගල් අඟුරු සැපයුම්කරුවන්ට එල්ල වී තිබෙන චෝදනාවන් නීත්‍යනුකූලව නිරාකරණය කිරීමට සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවත් විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පැවසීය. ලක් විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු කඩිනමින් ලබා ගැනීමට හා සැපයුම්කරුවන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් හා තෝරාගත් සැපයුම්කරුවන් සමග තමා සාකච්ඡා කළ බවත් හෙතෙම කීය.

එසේ ම, ගල් අඟුරු ප්‍රසම්පාදන ටෙන්ඩරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව විගණකාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත් එම විමර්ශන වාර්තාව සති දෙකකින් නිකුත් කිරීමට විගණකාධිපතිවරයා පොරොන්දු වූ බව ත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

විෂය භාර අමාත්‍යවරයා විසින් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභා‌වෙන් සිදු කරන ලද ඉල්ලීමට අනුව මේ විමර්ශනය ආරම්භ කරන ලද අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවත් එම ට්විටර් පණිවුඩයේ දක්වා තිබේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

අබිරහස් සාගරයක් සඟවාගත් අඳුරු අභ්‍යවකාශය

Read Next

වැලි මැක්කාගෙන් පැතිරෙන මාරාන්තික රෝගයක්: WHO අනතුරු අඟවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!