Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇප මත නිදහස් කිරීමට හේතුවූයේ කුමක්ද ?

bbc.com

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (ජුනි 14) නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳුදා (ජූනි 14) අත්අඩංගුවට ගනු ලැබූ අදාළ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ටියුට්කාලෝ විටැලි නමැත්තා මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු පරීක්ෂා කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අදාළ සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පුද්ගලික බැඳුම්කරයක් මත මුදාහැරීමට නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.

එම නියෝගය දිවයිනේ සියලුම ගුවන්තොටුපළ හා වරාය මෙන්ම ආගමන විගමන පාලකවරයා වෙත ද දැනුම් දිය යුතු යැයි නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා කපිතාන්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට ද නියෝග කළේය.

යම් හෙයකින් පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද සැකකරුට අවවාද කෙරිණි.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් තිබෙන බව දනිමින් එය වසන් කොට කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙරට ජල තීරය තුළට පිවිස ඇතැයි චෝදනා කළේය.

ගින්න නිසා මෙරටට ගණනය කළ නොහැකි පාරිසරික මෙන්ම ආර්ථික පාඩුවක් සිදු වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ගින්න හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා සමුද්‍රීය දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලද බවද පැවසීය.

එම විශේෂඥයින් නිකුත් කළ අතුරු වාර්තාවකට අනුව අදාළ ගින්න හේතුවෙන් ඇතිවූ පාරිසරික හානිය නිසා සමුද්‍ර ජීවීන්ට දිගු කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන බලපෑම් ඇතිවිය හැකි බව කරුණු දක්වා ඇතැයි පැවසීය.

මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශය හරහා වෙනත් නෞකාවකට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙරටට බොරතෙල් රැගෙන එන නෞකාවන්ට මුහුදේ සිට ගොඩබිමට එම තෙල් පොම්ප කිරීමට තිබෙන අවකාශය ඇහිරී ගොස් ඇතැයි ද පෙන්වා දුණි.

සියලු කරුණු පිරික්සීමේදී මෙම කපිතාන්වරයා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අදාළ නෞකාව තුළ ගින්නක් පවතින බව තම සේවාදායකයා විසින් හාබර් මාස්ටර්වරයා දැනුවත් කරන ලද බවත් ඉකුත් මැයි මස 20 වෙනිදා සවස 4.30 ට පමණ හාබර් මාස්ටර්වරයාගේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාවට ගොඩ වී පැය එකහමාරක් පමණ එහි රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ ඔවුන් ගින්න නිරීක්ෂණය කොට ඇති බවත් පැවසීය.

එහෙත් එම නිලධාරීන් ගින්න නිවීමට අවශ්‍ය පියවර කිසිවක් නොගත් බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම නිලධාරීන් ගින්න වැවීමට ඉඩ හැරියේ අදාළ නෞකාවෙන් වන්දියක් ලබා ගැනීමේ චේතනාවෙන් යැයිද චෝදනා කළේය.

සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක බැඳුම්කරයක් මත මුදා හළ අතර පැමිණිල්ල නැවත ජූලි මස 01 කැඳවීමට ද නියම කළේය.

තොරතුරු මූලාශ්‍රය

https://www.bbc.com/sinhala/sri-lanka-57465493

Chandana Sesath Jayakody

Read Previous

Germany bans male chick culling from 2022

Read Next

Cabinet nods to construction of wind power plant in Mannar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!