
dinamimna.lk
වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුව ඇති අලාභය වෙනුවෙන් අන්තර් හිමිකම් මුදලක් ලෙස රුපියල් මිලියන 720 ක මුදලක් ලැබී ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කෙළේය.
ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කෙළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සිදූ වූ අලාභය සඳහා වන ඉතිරි මුදල ලබාගැනීම සඳහා අවශ්‍ය ලේඛන රක්ෂණ සමාගමේ නීතිඥවරුන් වෙත යොමු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදු කෙරෙමින් පවතින අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් ද පරික්ෂණයක් සිදු කරනවා.
මෙම සිදුවීමට වරායට අදාළ සේවකයින්ගේ කිසිදු වරදක් නැහැ.
ප්‍රශ්නයෙහි දක්වා ඇති හානි තක්සේරු කිරීම සඳහා අධිකරණ අමාත්‍යතුමා ඇතුළු ඇමතිවරු පස්දෙනෙක් යටතේ උප කමිටු පහක් කටයුතු කරමින් පවතිනවා. ඒවා නම් නීති, පරිසර, ධීවර, ආරක්ෂක සහ අන්තර් හිමිකම් යන කමිටුයි. එමෙන්ම විශේෂඥයින් හතළිස් එක් දෙනකුගෙන් යුතු කමිටුවක් මඟින් Thematic areas දහයක් යටතේ කටයුතු සිදු සිදු කරමින් පවතින අත් අතර, ඒ සඳහා මාස තුනක කාලයක් ලබා දී ඇත. එහිදී (TOR) යොමුකිරීමේ නිර්දේශ අනුව හානිය පිළිබඳ දළ තක්සේරුවක් ලබාදීමට නියමිතයි.
මෙම කරුණ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සම්බන්ධීකරණය සිදු කරනු ලබයි. 2021.07.07 දින වනජීවි දෙපාර්තමේන්තුව අවසන් වරට ලබාදුන් වාර්තාව අනුව කැස්බෑවුන් 176, තල්මසුන් හතරක් සහ ඩොල්ෆින් 20 මරණයට පත් වී තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව මෙම මරණවලට හේතුව රජයේ රස පරීක්ෂක සහ Veterinary Research Institute සමඟ කටයුතු කරනු ලබන අතර, මරණයට හේතුව සොයා වාර්තා කරනවා.
මෙම හානිය සිදු වීමෙන් පසුව ප්‍රතිස්ථාපනය සහ හානිය ගණනය කිරීම් සඳහා වැදගත් උපාය මාර්ග අනුව හානිය ගණනය කිරීමත් ඒ අනුව පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමත් දේශීය සහ විදේශීය විශේෂඥ දැනුම් ලබා ගනිමින් කටයුතු කිරීමට සාකච්ඡා මට්ටමේ පවතින අතර ඉදිරියේදී මෙම කටයුතු සිදු කරනු ලබනවා.
එමෙන්ම ධීවර කටයුතු අහිමි වූ ධීවර පවුල් වෙත රජය මඟින් පහත පරිදි රු.5000/- බැගින් ධීවර පවුල් සදහා ලබා දී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1470ක් සඳහා රුපියල් මිලියන 7.35ක් ද ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 9863ක් සඳහා රුපියල් මිලියන 49.315 ද කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 195කට රුපියල් මිලියන 0.975ක්ද වශයෙනි.
මෙම අනතුර නිසා සිදුවූ වියදම් වෙනුවෙන් අතුරු ගෙවීම් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ඉල්ලා ඇති අතර, එයින් මිලියන 3.6 ක් එනම් රුපියල් මිලියන 720 ක් අදාළ රක්ෂණ සමාගම විසින් ලබා දී තිබෙනවා. එම ලැබුණු මුදල් ධීවර අංශය සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 420ක් ධීවර අංශය සඳහා ද රුපියල් මිලියන 200ක් සමුද්‍රීය පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ද රුපියල් මිලියන 100ක් අනෙකුත් වියදම් සඳහා ද ප්‍රධාන කමිටුව විසින් වෙන් කර තිබෙනවා.
එමෙන්ම ධීවර අමාත්‍යාංය මඟින් දැල් ආම්පන්න අහිමිවූවන් වෙනුවෙන් රු.මි.2.1 ක මුදලක් වෙන්කර හදිසි අවශ්‍යතා සඳහා උපකරණ ලබා දී තිබෙනවා. Economics Development Unit-වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ පුවත්පත් දැන්වීමක් පළ කරලා ධීවර, පාරිසරික හා සංචාරක නොවන වෙනත් පාර්ශ්වයකට හානි සිදු වී තිබෙනවා නම් පුවත්පත් දැන්වීම මඟින් ඒ අයට සාක්ෂි සහිතව ඉදිරිපත්වීම මඟින් වන්දි ලබා ගැනිමේ හැකියාව තියෙනවා.
එමෙන්ම දැනට විෂ රසායන සමුද්‍ර කලාපයට එක් වූ බවට තහවුරු කරන ලද සාක්ෂි නැහැ. කෙසේ වුවද ලබාගත් සියලු සාම්පල යොමු කර ඇති අතර, ආසන්න වශයෙන් Pellets සියල්ල බොහෝදුරට ඉවත් කර ඇත. දැනට කරන ලද මුළු ප්‍රමාණය 2020M.T වේ. මේවා බැහැර කිරීම් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සවිස්තර කසළ ද්‍රව්‍ය බැහැර කිරීමේ රෙගුලාසි අනුව නීතිපතිතුමාගේ උපදෙස් පරිදි පරිසර හිතකාමී ලෙස ඉදිරියේදී බැහැර කරනු ලබනවා.
අධිකරණ ඇමැතිතුමාගේ අධිකරණ කටයුතුවලට අවශ්‍ය දෑ තිබේ නම් ඒවා වෙනම ගබඩා කර තැබීමට අපි කටයුතු කරනවා. මේ වන විට වන්දි මුදල සමස්ත හානිය සඳහා ගණනය කරමින් පවතිනවා.කෙසේ වෙතත් පළවන අන්තර් හිමිකම් පෑම ලෙස ඩොලර් මිලියන හතළිහක් ඉල්ලුම් කළ අතර ඉන් රුපියල් මිලියන 720ක් රජයට ලැබුණා.ඉතිරි මුදල ලබාගැනීම සඳහා අවශ්‍යම ලේඛන රක්ෂණ සමාගමේ නීතිඥවරුන් වෙත යොමු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. රජය මඟින් ද මේ කටයුතු සඳහා විවිධ රටවල අන්තර්ජාතික නීතිඥවරුන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා තානාපති කාර්යාල හරහා අන්තර්ජාතික නීති විශේෂඥයින්ගේ සමාගමක සහයෝගය ලබාගැනීමට කටයුතු කරනවා.
දැනට ශ්‍රී ලංකා මුහුදු තීරයේ වෙළෙඳ කටයුතුවල නිරතව සිටින සියලු වරායවල්වල නෞකාවලින් භාණ්ඩ පැටවීම හෝ බෑම වෙනුවෙන් එවැනි සිකියුරිටි ඩිපොසිට් එකක් තබා ගැනීමක් සිදුකරන්නේ නැහැ .
එහෙත් වෙළඳ හා නාවික කටයුතුවල යෙදෙන නෞකා විසින් පහත දැක්වෙන රක්ෂණ ආවරණ ලබා ගැනීමෙන් නියමිත වන්දි ලබා ගත හැකියි. පී ඇන්ඩ් ඒ රක්ෂණ වාරණය, ඔයිපල් පොලියුෂන් ඩැමේජ් රක්ෂණ වාරණය,හල් ඇන්ඩ් මෙෂනරි රක්ෂණ වාරණය දක්වන්න පුළුවන්.
සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීමේ පනත 2008 අංක 35 සංශෝධනය සිදු කිරීමෙන් සිටින අතර, අලුතෙන් අඩංගු විය යුතු සංශෝධන හඳුනාගෙන ඇත. මෙහිදී අඩංගු කළ යුතු අන්තර්ජාතික ප්‍රතිපත්ති සහ ප්‍රොටෝකෝල් හඳුනාගෙන ඇති අතර සංශෝධන අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් පවතිනවා.
මෙම සිද්ධියත් සමඟ අධිකරණ ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා එතුමා අපිට දුන් සහයෝගය පිළිබඳව .
හැම සතියකට වතාවක්ම වරාය හා නාවික අමාත්‍යාශය, පරිසර අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රියා කරන සියලු රාජ්‍ය ආයතන, නීතිපතිතුමා ඇතුලු සියලු දෙනා එක්ව මේ පිළිබඳ ඉතිරි කටයුතු සිදු කරනවා.
මේ පිළිබඳ ජනාධිපතිතුමා සමඟ පැවැත්වූ රැස්වීමේදී දැනුම් දුන් පරිදි Marine disaster management Centre එකක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා විදේශ කටයුතු, වරාය නාවික කටයුතු, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය,/සමුද්‍රීය පරිසර ආරක්ෂණ සහ අදාළ ආයතන Donor agencies සැලසුම් කරමින් පවතිනවා.
ඉදිරියේදී මෙවැනි අනතුරක් සිදු නොවීම සඳහා වරාය හා නාවික අමාත්‍යාංශයේ වෙනම ආයතනයක් පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපි මේ වන විට අපි ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය International maritime organization එකේ සහයෝගය ඉල්ලා තිබෙනවා. විශේෂයෙන්ම ගිනි නිවීමේ විශේෂ ඒකකයක් පිහිටුවීම සඳහා General cargo oil, Chemical gas bulk ආදී නෞකාවල සිදුවිය හැකි හදිසි ගින්නක් මැඬපැවැත්වීම සඳහා නවීන උපකරණවලින් සමන්විත ගිනි නිවීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා විශේෂඥ දැනුම සහිත නිලධාරීන් පුහුණු කිරීමට මෙමඟින් බලාපොරොත්තු වෙනවා. ඇතුළත වරාය සහ පිටත වරාය අපේ වරායට ඇතුළත් නොවන අපේ නැව් මාර්ගයේ ගමන් කරන ඕනෑම නෞකාවකට ආපදාවක් සිද්ධ වෙන විට ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට අවශ්‍යම කරන වැඩපිළිවෙළ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා නැව්වල යන නාවිකයන්ට රෝගාබාධ වැලඳෙන්න පුළුවන්. විශේෂයෙන් විශාල නැව් අපේ නැව් මාර්ගයේ යනවා.ඒ වගේම නැව් 300ක 400ක ප්‍රමාණයක් අපේ වරායට එනවා. ඒ වගේ අවස්ථාවල අපි බලාපොරොත්තු වෙනවා නාවිකයන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත Health center එකක් ඉදිරි කාලය තුළ ස්ථාපනය කරන්න. ඒ වගේම Maritime Resource Organization එකක්. මෙය දැනට නාවික හමුදාව මඟින් සිදු කර ගෙන යන අතර, ඉදිරියේදී ඒ සම්බන්ධ සියලු ආයතන එක් කරමින් උප මධ්‍යස්ථානයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි Safety system ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදවලට අනුකූලව ඉදිරියේදී මෙම මධ්‍යස්ථාන පිහිටුවීමට අවශ්‍ය කටයුතු සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම Vessel traffic information center විශේෂයෙන් ශ්‍රී ලංකාව ආශ්‍රීතව නෞකා බහුලව ගැවසෙමින් පවතිනවා. කොළඹ වරාය, ගාල්ල වරාය, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමළ වරාය, කන්කසන්තුර වරාය බල ආශ්‍රීතව නෞකා ගමනාගමනය විධිමත් කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා. එසේම රජයක් හැටියට මෙම ආපදාව සිදු වූ අවස්ථාවේ සිට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මහින්ද රාජපක්ෂ අගමැති තුමාගේ උපදෙස් පරිදි වගකීමෙන් යුතුව මේ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා.
කින්නියා කුරිංජන්කේනී පාලම මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නෑ
එහෙත් එහි වැඩ නොවැම්බර් මාසය වන විට අවසන් කරනවා
මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා කුරිංජන්කේනී පාලම මාර්ග සංවර්ධන අධිකාරිය යටතට අයත් නොවන පාලමක් වුවද එහි වැඩකටයුතු මෙම වසරේ නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කෙළේය.
ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
එම පාලම මාර්ග සංවර්ධන අධිකාරිය යටතට අයත් වන්නේ නැහැ. කින්නියා නගර සභාව යටතේ තමයි පවතින්නේ.
මෙම පාලම කොටස් තුනකින් යුක්ත වන අතර අංක 01 සහ 03 පාලම්වල ඉදිකිරීම් කටයුතු සඳහා 2020 නොවැම්බර් මස කැඳවන ලද ටෙන්ඩරය මඟින් වී. වී. කරුණාරත්න කොන්ත්‍රාත් සමාගම තේරී පත්ව තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් මත ඉදිකරන කින්නියා කුරුංජාන්කේනී පාලම ජාතික වශයෙන් කතා කළ යුතු කාරණයක්. එම පාලමේ වැඩ කටයුතු සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා න් මුල්ගල තබා තැබුවා. එහි වැඩකටයුතු සිදුකරන සමාගම පිළිබඳවත්, එහි කටයුතු අවසන් කිරීම සිදු කරන ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා විමසා සිටියේය.
එයට පිළිතුරු දුන් අැමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.
අංක 01 පාලමේ ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලි. 226.66 ක්. අංක 03 පාලමේ ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලි 228.53ක්, අංක 01 පාලමේ කටයුතු දැනට සිදු කරගෙන යනු ලබනවා. අංක 03 පාලමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ලිපිය 2021.06.28 දින නිකුත් කර තිබෙනවා. එදින සිට දින දාහතරක් ඇතුළත වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අංක දෙක කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා එම ස්ථානයට ළඟාවීමට අංක එක හෝ අංක තුන කොටසේ වැඩ අවසන් වෙන්න ඕනෑ. ඒ වගේම අංක එක පාලමේ වැඩ කටයුතු 2021.11.12 දින වන විට නිම කිරීමට අපේක්ෂා කරනවා. අංක 03 පාලමේ වැඩකටයුතු 2022 පෙබරවාරි මස අවසන් කිරීමට නියමිතයි කියලා සභාව දැන්නුවා. එහිදී පාලමේ වැඩ කටයුතු සමඟ ඊට අදාළ මාර්ගය වැඩ කටයුතු අවසන් කිරීම ඉතාම වැදගත් යැයි මහරුෆ් මහතා සභාවට දන්වන වූ අතර, ඊට පිළිතුරු ලබා දුන් ඇමැතිවරයා ඒ පිළිබඳවද කඩිනමින් අවධානය යොමු කරන බව අවධාරණය කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ පිටරටින් ඉන්ධන ගෙන ඒම නිසායි
ඇමැති උදය ගම්මන්පිල
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ පිටරටින් ඉන්ධන ගෙන ඒම නිසා මිස නිලධාරීන්ගේවත් වෙනත් අයෙකුගේවත් සොරාකෑමක් නිසා නොවන බව ඛනිජ සම්පත් ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ගම්මන්පිල මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.
පිටරටින් ඉන්ධන ගෙන එන විට වැඩි වන ඩොලරයට සාපේක්ෂව ඉන්ධන මිල දී ගැනීමට සිදු වන බවත් සංස්ථාව මඟින් වැඩි පිරිවැයක් දරා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීම නිසා සංස්ථාව පාඩු ලබනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් ලෙස මන්ත්‍රීවරයා හැඳින්වුවත් ඒක එහෙම නොවේ. 2020 වසරේදී රුපියල් බිලියන 39ක මෙහෙයුම් ලාභයකුත් රුපියල් බිලියන 2.2ක ශුද්ධ ලාභයකුත් ලබා තිබෙනවා. 2021 වසරේ පළමු මාස පහේ පමණක් රුපියල් බිලියන 57ක අලාභයක් ලබනවා. ඒ අලාභයත් සමඟ පසුගිය වසරේ ලැබූ ලාභය කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියත් දැනෙන්නේ නැහැ වගේ. මේ ආයතනය පාඩු ලබන ක්‍රම කිහිපයක් තිබෙනවා. තෙල් මිල වැඩි කිරීමෙන් පසුවත් අපි ඩීසල් ලීටරයක් අලෙවි කළේ රුපියල් 14ක් පාඩු වෙද්දි. වැඩි කළේ රුපියල් 7කින් විතරයි. රුපියල් 7ක් පාඩුවට ඩීසල් අලෙවි කළා. විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබාදෙනවා. දැවිතෙල් දෙන්නේ රුපියල් 75කට. අපට රුපියල් 105ක් පිරිවැයක් යනවා. දේශීය නිෂ්පාදනය කළොත් රුපියල් 90ක පිරිවැය වෙනවා. ආනයනය කළොත් රුපියල් 105ක පිරිවැය වෙනවා. වැඩි මිලට ගෙන අඩු පිරිවැයකට දෙන නිසා තමයි අලාභයක් ලබන්නේ. මිලි වැඩි කිරීමට පෙර දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල තිබුණේ ශ්‍රී ලංකාවේ. වැඩි කළ පසුවත් පකිස්තානයට පමණක් අපි දෙවැනි වෙනවා අඩුම මිල සඳහා. ලෝකයේ රටවල් ගත්ත ද අපේ රටේ අඩුම මිලට ඉන්ධන දෙනවා. 1994 සිට අඛණ්ඩව ඉන්ධන මිල අඩුවට විකිණීමේ ප්‍රතිඵලයක් විදියට අපේ අය ඩොලර්වලින් ණය ගෙන තිබෙනවා. දැන් ඩොලර් මිල වැඩි වෙන විට එක අතිකින් පොලිය ගෙවන්න වෙනවා. අනෙක් අතින් රුපියල පිරිහීමේ අගය ගළපන්න වෙනවා. රුපියල පිරිහීම නිසා රුපියල් බිලියන 80ක පමණ පාඩුවක් සිදු වුණා. සොරාකෑම නිසා මේ ආයතනය පාඩු ලබන්නේ නැහැ. එහෙම සාක්ෂි තිබේ නම් මට දෙන්න. තරාතිරම නොබලා මම දඬුවම් දෙනවා. මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් මේ ගැටලුවට පිළිතුරු තිබෙනවා. ආයතනය තුළ ප්‍රශ්නයට වඩා ආනයනය කරන ඩොලර් මත යැපෙන ඉන්ධන මිල ඉහළ යාම නිසා තමයි ප්‍රශ්නය තිබෙන්නේ. 2021 මැයි මාසයේ මිල ගණන් පදනම් කරගෙන මිල වැඩි කිරීම සිදු කළා. පෙට්‍රල් බැරල් එකක මිල පැවතියේ ඩොලර් 76 යි. දැන් ඩොලර් 83 යි. සියයට 10 කින් මිල වැඩි වෙලා. පිටරටින් ඉන්ධන ගෙන එන තාක් ඩොලරයේ වැඩි වීමට ලෝකයේ ඉන්ධන වැඩි වීමට අකැමැත්තෙන් නමුත් මුහුණ දෙන්න වෙනවා.
මට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙන එක් දෙයක් තමයි ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩු වන විට අඩු නොකළ බවට. ඒකට උත්තර දෙන්න ඔබතුමාලා දින දෙකක් ගෙන තිබෙනවා. මට දින දෙකක් වෙන් කර තිබීම ගැන මම ගෞරව කරනවා.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න