
බුද්ධිකා ඉඹුලාන – dinamina.lk
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම නිසා ධීවර කර්මාන්තයට බාධා පැමිණ ආදායම් අහිමිවූ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ධීවරයන් ධීවර යාත්‍රා හිමියන් සහ ගැනියන් 12,111ක් වෙනුවෙන් වන්දි ලෙස රුපියල් මිලියන 216.5ක්, අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ධීවර අමාත්‍යංශය වෙතින් ලබා දී ඇත. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියන 150ක්, කොළඹ දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියන 52.67ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියන 13.83ක් වශයෙන් ලබා දී ඇති අතර මෙම වන්දි මුදල් එම ධීවර කාර්මිකයන්ගේ බැංකු ගිණුම් වෙත මේ වන විට බැර කර තිබේ.
ධීවර කටයුතු කිරීමට නොහැකි තහනම් කලාපයක් ලෙස පවතින මුහුදු කලාපයේ ධීවරයන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමේ ප්‍රගතිය පිළිබඳ, එම කමිටුවේ සාමාජිකයන් වන ධීවර අමාත්‍යංශයේ සහ ධීවර දෙපාර්තම්නේතුවේ නිලධාරීන්, කතෝලික සභාවේ පියතුමන්ලා සහ එම ධීවර සංවිධාන නියෝජිතයන් සමඟ ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ සාකච්ඡාවේදී මේ බැව් අනාවරණය කෙරිණි.
හානියට පත් මෙම නෞකාව නිසා පානදුර සිට මීගමුව(මාඔය )දක්වා ධීවර කරයුතු නතර කර තහනම් කලාපයක් ලෙස ප්‍රකාශට පත්විය.
පසුගිය මැයි මස 20 දා මෙම නෞකාව මෙරට මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත්වූ අතර එම ගිනි ගැනීම නිසා සාගර පරිසරයට සිදුවූ හානියට හිමිවන වන්දිමුදලේ අතුරු වන්දියේ පළමු කොටස ලෙස (මැයි20-ජූනි 01)රුපියල් මිලියන 720ක් අදාළ නැව් සමාගමේ රක්ෂණ ආයතනය මගින් ලබාදීමට කටයුතු කර තිබිණි. එම අතුරු වන්දියේ පළමු කොටසින් රුපියල් මිලියන 420ක් සෘජුවම ධීවර කර්මාන්තයට බලපෑම් එල්ලවූ ධීවර කර්මාන්තකරුවන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද උපදෙස් ලබා දී තිබිනි.
මෙම අතුරු වන්දියේ පළමු අදියරෙහි පළමු වන්දි මුදල ගම්පහ, කොළඹ කළුතර දිස්ත්‍රික්කයන්හි, ක්ෂේත්‍ර 27ක ධීවර කාර්මිකයන් වෙත ලබා දෙනු ලබයි.
මෙම වන්දි ලබාදීමේ ඊළඟ අදියර, අදාළ මුහුදු කලාපය තහනම් කිරීම නිසා වක්‍රව අදායම් අහිමි වූ ධීවර කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ට වන්දි ලබා දීමේ කටයුතු සඳහා ක්‍රියාත්මක වේ. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම් අවසන් කර ඇති අතර ඉතාම ඉක්මනින් එම වන්දි මුදල් ද ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැකෙරෙන බව රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.