
mawubima.lk – සවනි ශේෂාදි
උතුරු-නැගෙනහිර පළාත්වලින් පසුගිය දිනවල වාර්තා වූ සත්ව මරණ අධික සීතල නිසා ඇති වූ කම්පනයෙන් සිදු වූ ඒවා බව විමර්ශන මගින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.
පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල වාර්තාවෙන් මේ බව අනාවරණය වී ඇතැයි එම අමාත්‍යංශය කීය.
මේ සතුන් මියගොස් ඇත්තේ, වසංගත තත්ත්වයක් නිසා නොව හුදෙක් අධික සීතල නිසා බව එම වාර්තාවෙන් සනාථ වී ඇතැයි ද අමාත්‍යංශය සඳහන් කළේ ය.
දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින උතුරු- නැගෙනහිර පළාත්වල සතුන්ට හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් දරා ගැනීමට නොහැකි වී ඇතැයි ද එම අමාත්‍යංශය සඳහන් කළේ ය.
අධික සීතල එම සතුන්ට දරා ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ කම්පනයෙන් මේ මරණ සිදුව ඇතැයි පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල වාර්තාවේ දැක්වෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දුන්නේ ය.
කෘෂිකර්ම අමාත්‍ය අමරවීරගේ නියෝගයෙන් මේ සත්ව මරණ සම්බන්ධයෙන් පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ විධිමත් විමර්ශනයේ වාර්තාව ඊයේ (දෙසැ. 13) අමාත්‍යවරයාට භාරදී ඇත.
උතුරු හා නැගෙනහිර පළාත්වලට පසුගිය දින කිහිපයේදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා එම පළාත්වල එළ ගවයන්, මී ගවයන් හා එළුවන් ආදී සතුන් 1,660ක් පමණ මරණයට පත් වූ බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශයේ සංඛ්‍යා දත්ත මගින් හෙළිවිය.
එමෙන් ම, තවත් සතුන් විශාල සංඛ්‍යාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද එම දත්තවල දැක්විණි.